89 ජවිපෙ – 98 කොටි මාලිගාවට ගහනකොට දළදාව තිබුණේ රහස් තැනක
* ජවිපෙ මාලිගාව ඇතුළට ගියේ කේක් කවලා
* දියවඩන නිලමේගේ බෙල්ලට පිහියකුත් තියලා
ජාතික හා ශාසනික වගකීම් නොපිරිහෙලා ඉටුකළ සංඝපීතෘවරයකු වූ අස්ගිරි පාර්ශ්වයේ මහානායක පලිපාන ශ්රී චන්දානන්ද නාහිමියෝ 1990 දී දැඩි ලෙස ගිලන් වූයෙන් ලන්ඩනයේදී බරපතළ සැත්කම් කීපයක් කෙරිණි. ඒ සඳහා උන්වහන්සේට උපකාර කළේ එවකට රටේ ජනාධිපතිවරයා වූ රණසිංහ ප්රේමදාසයි. ඒ බව මහා නාහිමියෝද නිතර කෘතවේදීව සිහිපත් කළෝය.
ඉන්පසු දළදා ප්රදර්ශනයක් පැවැති අවස්ථාවක ජනාධිපතිවරයාද මාලිගාවට පැමිණියේය. අස්ගිරි මහා නාහිමිගේ ළඟට කිට්ටු වී කනට කොඳුරා දළදා වහන්සේ තමන්ගේ දෝතට දෙන ලෙස ජනාධිපතිවරයා ඉල්ලීමක් කළේය. තමන් වහන්සේගේ ජීවිතය බේරාගැනීමට උදව් කළ තැනැත්තා වුවත්, රටේ ප්රධානියා වුවත් දළදාව මොහොතකට හෝ අන්සතු කිරීම චාරිත්ර විරෝධී නිසා ජනපතිගේ ඉල්ලීම ප්රතික්ෂේප කළ අස්ගිරි මහා නාහිමියෝ නිහඬ වූහ. ඒ රණසිංහ ප්රේමදාසගේ ඉල්ලීම් කිසිවකු ප්රතික්ෂේප නොකරන සමයකය.
දළදා වහන්සේගේ භාරකාරත්වය දැරූ මහ සඟරුවන, රජවරු, නිලමේවරුන් දළදාව රැකගත්තේ එලෙස දිවි දෙවැනි කොටය.
ලංකාවට වැඩම වූ දා සිට දළදාව රාජ්ය සංකේතය බවට පත්විය. දළදා වහන්සේ හිමි අය රාජ්ය ප්රධානියා හැටියට පිළිගැණිනි. මේ නිසා සෑම රජ කෙනෙක්ම දළදා වහන්සේ සිය පණ මෙන් රැක ගත්තේය.
එම නිසා පරසතුරු උවදුරු ඇතිවන කාලවලදී දළදා වහන්සේ ආරක්ෂිත ස්ථානවලට වැඩමවා රැකවරණ දුන් අවස්ථා කීපයක්ම අසන්නට තිබේ.
රජ සමයෙන් හා ඉංග්රීසි පාලනයෙන් පසු දළදා වහන්සේගේ ආරක්ෂාව උදෙසා ගන්ධ කුටියෙන් පිටතට වැඩමවා ආරක්ෂිත ස්ථානයක තැන්පත් කළ අවස්ථා දෙකක් වේ. ඒ 1989 ජවිපේ කැරැල්ලේදී හා 1998 දී ත්රස්ත ප්රහාරයේදීය.
‘‘දළදා වහන්සේට යම්කිසි උවදුරක් සිදුවෙනවා කියලා දැනගන්න ලැබුණොත් අපේ රජවරු හා මහානායක හාමුදුරුවරු ආරක්ෂාව සඳහා දළදා වහන්සේ වෙනත් රහසිගත තැන්වලට වඩම්වනවා. මගේ යුගයේදී එවැනි අවස්ථා දෙකකට මුහුණ දෙන්න සිදුවුණා. ඒ 1989 තරුණ කැරැල්ලේදී හා 1998 දී මාලිගාවට එල්ටීටීඊය බෝම්බ ගහපු අවස්ථාවලදී. එම අවස්ථා දෙකේදීම දළදා වහන්සේගේ ආරක්ෂාව සඳහා මහා නාහිමිවරුන් දෙනම සමග සාකච්ඡා කරලා අපට යම්කිසි ආරක්ෂාකාරී පියවරක් ගන්න වුණා’’ යැයි එවකට දියවඩන නිලමේ ධුරය දැරූ නෙරංජන් විජේරත්න පවසයි.
දළදා වහන්සේ වැඩ සිටින්නේ කරඬු හතක් තුළය. එම කරඬු විවෘත කර දළදාව පිටතට වැඩමවීමට දියවඩන නිලමේවරයාට හෝ මහා නාහිමිවරුන් දෙනමට වෙන වෙනම කළ නොහැක. එහි කරඬු තුනක යතුරු ඇත්තේ මහා නාහිමිවරු දෙනම හා දියවඩන නිලමේ භාරයේය. ඒ නිසා කුමන අවස්ථාවකදී හෝ කරඬුව විවෘත කිරීමට මහා නාහිමිවරු හා දියවඩන නිලමේවරයා එක්විය යුතුමය.
ජවිපෙ දෙවැනි කැරැල්ල සමයේදී දළදා මාලිගාවට ප්රහාරය එල්ල කර තිබුණේ 1989 පෙබරවාරි 8 වැනිදාය.
‘‘මෙම කණ්ඩායම ඇවිත් තිබුණේ දළදා වහන්සේට පූජාවක් තියන්න ආපු නඩයක් වගෙයි. සුදු ඇඳුම් ඇඳගෙන සාමාන්ය වන්දනා නඩයක් වගේ ඇවිත් මාලිගාවේ පොලිස් මුර පොළවල්වල ඉන්න අයත් එක්කත් හොඳට මිත්රවෙලා තියෙනවා. මේ කණ්ඩායම ඒ පොලිස් මුර පොළවල්වල හිටපු නිලධාරීන්ට හිතවත්කමට කේක් එහෙමත් කන්න දීලා තිබුණා.’’
අස්ගිරි පාර්ශ්වයේ ප්රධාන ලේඛකාධිකාරී මැදගම ධම්මානන්ද නාහිමියෝ එම සිදුවීම විස්තර කළේ එසේය.
මෙම ප්රහාරය එල්ල වනවිට මල්වතු පාර්ශ්වයේ මහානායක ධුරය හෙබවූයේ සිරිමල්වත්තේ ආනන්ද නාහිමියන්ය. අස්ගිරි පාර්ශ්වයේ මහානායක ධුරය හෙබවූයේ පලිපාන ශ්රී චන්දානන්ද නාහිමියෝය. කැරැලිකරුවන් මාලිගාවට ප්රහාරය එල්ල කරන විට තේවාව භාරව වැඩ සිටියේ පලිපාන සිරිනිවාස නාහිමියන්ය.
වන්දනා නඩයක මුවාවෙන් ප්රහාරයට ආ මෙම කණ්ඩායම තේවාව භාර පලිපාන සිරිනිවාස නාහිමියන් හමුවී මුලින්ම දැහැත් වට්ටි පිළිගන්වා පූජාවට අවසරද ගෙන තිබේ.
‘‘ප්රේමදාස මහත්තයා ජනාධිපතිවරණය තිබ්බේ 88 දෙසැම්බර් මාසයේදී. ඉන්පසු ඔහු මාලිගාවේදී දිවුරුම් දෙනවා කියලා ප්රකාශ කළා. ජනාධිපතිට දිවුරුම් දෙන්න ඉඩ දුන්නොත් අපව මරා දමනවා කියලා මටයි, මහානායක හාමුදුරුවෝ දෙනමටයි කැරැලිකාරයෝ නිතර තර්ජනය කළා. දවසක් මාලිගාවට ආපු අපි නොදන්න හාමුදුරු කෙනෙක් මගේ බෙල්ලට පිහියක් තියලත් තර්ජනය කළා. තේවාවේ නාමිහිටත් ඒ හාමුදුරුවෝ තර්ජනය කළා.’’
මේ තත්ත්වය එන්න එන්නම දරුණු වුණා. ඒ නිසා අස්ගිරි පාර්ශ්වයේ මහානායක පලිපාන චන්දානන්ද නායක හාමුදුරුවෝම යෝජනා කළා ‘නිලමේ මේ වැඩේ හරියන්නේ නැහැ, දළදා වහන්සේගේ ආරක්ෂාවට ඉක්මන් පියවරක් ගමු’ කියලා. ඒ වෙනකොට අපිට සැක හිතුණා දළදා වහන්සේ පැහැර ගැනීමකට හා කරඬුවේ ආභරණ කොල්ලයකට සැලසුමක් ඇතියි කියලා. ඒ නිසා සිරිමල්වත්තේ ආනන්ද මල්වතු මහානාහිමියි, පලිපාන සිරිනිවාස අස්ගිරි මහානාහිමියි රහසිගතව කතාවෙලා වෙන කිසිවකුටවත් නොදැනෙන්න දළදා වහන්සේ වෙනත් ආරක්ෂිත තැනකට වැඩම්වූවා. මාලිගාවේ කිසිවකු ඒ ගැන දන්නේ නැහැ.”
“අපේ සැකේ හරියටම හරි. 89 ජනවාරි මාසේ අපි දළදා වහන්සේට ආරක්ෂිත පියවර අරන් මාසයක් ගියේ නැහැ පෙබරවාරියේදී මාලිගාවට ගැහැව්වා.”
“අපිට ලැබුණු ආරංචිය වගේම ඒ කැරැලිකරුවන්ගේ අරමුණ වෙලා තිබුණෙත් දළදා වහන්සේ පැහැර ගැනීමත්, රන් ආභරණ කොල්ලකෑමත්, මුර කුටිවල ආයුධ පැහැර ගැනීමත් තමයි. නමුත් ඒ අයගේ එදා ඉලක්කය වැරදුණා. ඒ අය හිතාගෙන ආපු විදියට ගන්ධකුටියට පනින්න බැරි වුණා’’ යැයි නෙරංජන් විජේරත්න හිටපු දියවඩන නිලමේවරයා විස්තර කළේය.
මෙම ප්රහාරයට කණ්ඩායම් පහක කැරැලිකරුවක් හතළිස් තුන් දෙනෙක් පැමිණ තිබිණ. මෙයින් දොළොස් දෙනෙක් කාන්තාවන්ය. මාලිගාවේ මුර පොළවල් පහකට කැරැලිකරුවන් පහර දී තිබිණ. එයින් ඔවුන් ගිනි අවි දාහතක් පැහැරගෙන තිබිණ.
‘‘කැරැලිකරැවන්ට දළදා වහන්සේ වැඩ සිටිය කුටියට පනින්න බැරිවුණේ ඒ අයට වෙලාව වැරදුණු නිසයි. සාමාන්යයෙන් හවස තේවාව පටන් ගන්නේ 6.30 ට. නමුත් ඊට පෙර 6.15 ට පමණ තේවා හේවිසිය පටන් ගන්නවා. නමුත් තේවාවේ නාහිමිවරු පැමිණ වැඩ සිටින මාලිගාවේ දොරවල් විවෘත කරලා පූජාව අරඹන්නේ හවස 6.30 ට. මේ කැරැලිකාරයෝ හිතුවා හේවිසි ගහන්නේ තේවාවට දොර ඇරලා කියලා. ඒ නිසා හේවිසි අරඹන කොටම තමයි ඒ අය වෙඩි තියන්න පටන් ගත්තේ. ඒකෙන් ඒ අයගේ ඉලක්කය වෙනස් වුණා.’’
නෙරංජන් විජේරත්න හිටපු දියවඩන නිලමේවරයා පවසන පරිදි කැරැලිකරුවන් මුලින්ම මාලිගාවේ මුළුතැන්ගේ ළඟ සිටි ආරක්ෂක නිලධාරියකුට පිහියෙන් ඇන ඇත. පසුව ආරක්ෂක මුර පොළවල් පහකට පහරදී ආයුධ පැහැරගෙන ගොස් තිබිණ. එසේම මාලිගාව අසල ධර්මපාලතුමාගේ පිළිරුව අසල රඳවා තිබූ ආයුධද ඔවුන් පැහැරගෙන තිබිණ. ඒ වනවිට මාලිගාවේ පොලිස් ස්ථානාධිපති ධුරය දැරුවේ පහත්කුඹුරය.
මෙම ප්රහාරය වනවිට දියවඩන නිලමේ නෙරංජන් විජේරත්න සිටියේ නිල නිවසේය. කැරැලිකරුවෝ අවටට වෙඩි තබමින් දිව යනවිට දියවඩන නිලමේගේ නිල නිවසටද වෙඩි තැබුවේය.
‘‘ඒ වෙලේ මගේ ජීවිතය බේරුණේ අනූනවයෙන්. වෙඩි පහර වදින විට මම කානුවකට බැහැලා බේරුණා’’ ඔහු පවසයි.
එදා කැරැලිකරුවන් තැබූ වෙඩිල්ලක් මාලිගාවේ හේවිසි මණ්ඩපය අසල ගල් කණුවකට වැදුණි. ඉන් එම ගල් කණුවේ පතුරක් ගැලවී ගියේය. අදත් ඒ වෙඩිල්ලෙන් පතුරු ගැලවුණු ගල් කණුව දැගගත හැකිය.
එසේම කැරැලිකරුවන් ගෙනා පිස්තෝලයක් මල් ආසනයක සඟවා තිබී පසුව සොයාගත් බවත් දැනගන්න ලැබුණා යැයි අස්ගිරි පාර්ශ්වයේ ප්රධාන ලේඛකාධිකාරී මැදගම ධම්මානන්ද නාහිමි පවසයි.
89 කැරැල්ලේදී වෙනත් ආරක්ෂිත ස්ථානයක තැන්පත් කළ දළදා වහන්සේ යළිත් නියමිත ස්ථානයේ හෙවත් ගඳකිළියේ තැන්පත් කළේ 1990 දීය. එම කාලය තුළත් දළදා පූජාව නිසි පිරිදි පැවැත්විණි.
මේ අතරේ කොටිකාවත්තේ සද්ධාතිස්ස නාහිමියන් වැනි සම්භාවනීය නාහිමිවරුන් කීපනමක් කැරැලිකරුවන් අතින් ඝාතනයට ලක්වූ අතර කොටිකාවත්තේ නාහිමිගේ ඝාතනයට සමගාමීව මල්වතු පාර්ශ්වයේ මහානායක සිරිමල්වත්තේ ආනන්ද නාහිමියන්ටද කැරැලිකරුවන්ගෙන් තර්ජන එල්ලවූ බව එවකට දැනගන්නට ලැබිණ. උන්වහන්සේ මාලිගාවට ප්රහාරය එල්ල වූ 1989 වසරේදීම අපවත් වූහ.
මේ අතරේ බ්රිතාන්යයේ චාල්ස් කුමරුගේ ප්රධානත්වයෙන් ලංකාවේ 50 වැනි නිදහස් උළෙල මහනුවරදී පැවැත්වීමට 1998 වසරේදී සූදානම් කර තිබිණ. ඒ වෙනුවෙන් ස්කොට්ලන්ත පොලිසිය පවා දළදා මාලිගාවට පැමිණ එහි ආරක්ෂාව පිළිබඳව සොයා බලා තිබිණ. ඒ අතරේ එල්ටීටීඊයෙන් දියවඩන නිලමේට හා නාහිමිවරුන්ට තර්ජන එල්ල වූයේ කිසි ලෙසකින්වත් මහනුවරදී නිදහස් උළෙල පැවැත්වීමට ඉඩ නොදෙන බව කියමිනි.
මේ නිසා දළදා වහන්සේට යම්කිසි අනතුරක් සිදුවිය හැකි යැයි අනුමාන කළ එවකට මල්වතු පාර්ශ්වයේ මහානායක රඹුක්වැල්ලේ විපස්සි නාහිමි හා අස්ගිරි පාර්ශ්වයේ මහානායක පලිපාන චන්දානන්ද නාහිමි හා දියවඩන නිලමේ නෙරංජන් විජේරත්න එක්ව දළදා වහන්සේ ආරක්ෂිත ස්ථානයකට වැඩම කරවීය.
ඒ අතරේ 1998 ජනවාරි 25 වැනිදා කොටි ත්රස්තවාදීන්ගෙන් මාලිගාවට ප්රහාරයක් එල්ල විය. ප්රහාරය එල්ල වූයේ උදේ 6.30 ට පමණ වුවත් ඒ කාලය වනවිට චන්ද්රිකා රජය වේලාව පැයකින් ඉදිරියට ගෙන තිබිණ. ඒ අනුව පෙර පරිදි උදේ 5.30 ට තේවාව අරඹා ඇති වේලාවේදී මෙම ත්රස්ත ප්රහාරය එල්ල වී තිබිණ.
‘‘ත්රස්ත ප්රහාරය අවස්ථාවේදී තේවාව පවත්වමින් හිටියේ අම්පිටියේ චන්ද්රජෝති හාමුදුරුවො. ඒ වනවිට තේවාව භාරව තිබුණේ මල්වතු විහාරයට. ප්රහාරය වෙලා මාලිගාවේ මහා කලබලයක් තිබුණත් හාමුදුරුවෝ තේවාව දිගටම කරගෙන ගියා. පල්ලේමාලේ විහාරයේ තේවාව කරමින් සිටි විමලරතන හාමුදුරුවන්ට නම් තුවාල වෙලා රෝහල් ගත කළා.
ප්රහාරය සමගම මුළු මාලිගාවේම ලයිට් ගියා. ඒත් වැඩ සිටින මාලිගාවේ ලයිට් එක විතරක් පත්තුවෙලා තිබුණා. සද්දේ අහෙනවත් එක්කම මම දුවගෙන මාලිගාවට ආවා. මම ඒ වෙනකොට හිටියේ නිල නිවසේ. කඩා බිඳ වැටුණු බිත්ති, ලී දඬු උඩින් පැන පැන තමයි මම ආවේ. නමුත් මගේ හිතට බයක් දැනුණේ නැහැ අපි දළදා වහන්සේ කලින්ම වෙනත් ආරක්ෂිත ස්ථානයක තැන්පත් කරපු නිසා.
ප්රහාරය සමග ආපු ගින්න මාලිගාව ඇතුළට ආවේ නැහැ. මාලිගාවේ දිය අගලෙන් මෙහාට ගින්න ඇතුළු වුණේ නැහැ. එහෙම ගින්න ආවානම් මාලිගාවට ඊට වඩා විශාල විනාශයක් වෙන්න තිබුණා. නමුත් ගින්න ගියේ නාථ දේවාලේ පැත්තට.’’
එදා මුහුණ දුන් බිහිසුණු සිදුවීම හිටපු දියවඩන නිලමේවරයා සිහිපත් කළේ මහත් සංවේගයකිනි.
එදා එල්ටීටීඊ ප්රහාරය නිසා දාහත් දෙනෙක් මියගිය අතර විසිපස් දෙනකුට වැඩි පිරිසකට තුවාල සිදුවිය. ප්රහාරය නිසා මාලිගාවේ වහලයට, ඉදිරිපසට, බරපතළ හානි සිදුවී තිබිණ. මාලිගාවේ පත්තිරුප්පුව, මහ වාහල්කඩ, රාජකීය මාලිගාව හා කැටයම් නිර්මාණ ආදියට හානි සිදුවී තිබිණ.
මේ සිදුවීම පිළිබඳව එදින දියවඩන නිලමේවරයා ජාතියට ප්රකාශයක් කළේ හැඬූ කඳුළෙනි. මේ සිද්ධිය සමග නියෝජ්ය ආරක්ෂක ඇමැති ජෙනරාල් අනුරුද්ධ රත්වත්තේ සිය ධුරයෙන් අස්විය. පසුව නිදහස් උළෙල කොළඹදී පැවැති අතර එහි ප්රධාන ආරාධිතයා වූ චාල්ස් කුමරුද ප්රහාරය හෙළා දකිමින් කතා කළේය.
‘‘ඒ වගේම 88-89 කාලයේදී අපිට දළදා පෙරහර පැවැත්වීමටවත් කැරැලිකාරයෝ ඉඩ දුන්නේ නැහැ. ඒත් දළදා වහන්සේ උදෙසා කරන චාරිත්ර අපිට නතර කරන්න බැහැනේ. බොහෝම අසීරුවෙන් ඒ චාරිත්ර ඉටු කළා. ඉතා දරුණු ප්රහාර දෙකකදී දළදා වහන්සේ දිවි දෙවැනි කොට රැකගන්න ලැබීම ගැන මම අද පුදුම සතුටක් ලබනවා. මම ඉන් මහා පිනක් ලැබුවා’’ යැයිද නෙරංජන් විජේරත්න හිටපු දියවඩන නිලමේවරයා කියන්නේය.
ත්රස්ත ප්රහාරයට පෙර දළදා වහන්සේ ගන්ධකුටියෙන් වෙනත් ආරක්ෂිත ස්ථානයකට වැඩමවන විට වැඩ සිටි පලිපාන ශ්රී චන්දානන්ද අස්ගිරි මහ නාහිමියෝ 1999 දී අපවත් වූහ. ඒ අනුව එම ධුරයට පත්වූයේ උඩුගම බුද්ධරක්ඛිත මහා නාහිමියන්ය. පසුව රඹුක්වැල්ලේ විපස්සි මල්වතු මහානාහිමි හා දියවඩන නිලමේ නෙරංජන් විජේරත්න අභිනව අස්ගිරි මහානාහිමි සමග සාකච්ජා කර යළිත් දළදා වහන්සේ ගන්ධකුටියට වැඩමවා කරඬු හත තුළ තැන්පත් කෙරිණ. නමුත් ඒ වනවිටවත් අභිනව අස්ගිරි මහා නාහිමියෝ දළදා වහන්සේ වෙනත් ආරක්ෂිත තැනක තැන්පත් කර ඇති බව දැන සිටියේ නැත.
ධර්ම ශ්රී තිලකවර්ධන
සතිඅග අරුණ
2021.08.08