Monday, December 23, 2024

අවසන් කැමැත්තෙන් රජයට පැවරූ ජයතිලක මැදුර

Must Read

බ්‍රිතාන්‍ය යටත් විජිත පාලනයෙන් ලක්දිව නිදහස් කර ගැනීමට වෙහෙස වූවන් අතර සර් ඩී. බී. ජයතිලක මහතාට හිමි වන්නේ ප්‍රමුඛස්ථානයකි. ඔහු ලක්දිව නිදහස ‍උදෙසා සටන් කළ ජාතික වීරයකු, අධ්‍යාපනඥයකු සහ දේශපාලනඥයකු මෙන්ම දානපතියෙක්, සමාජ හිතකාමීයෙක් ලෙසද ජනතාවගේ නොමඳ ආදරයට පාත්‍ර විය. ඩී.බී. ජයතිලක මහතා වාසය කළ පෞද්ගලික නිවස තර්බර්න් හවුස් නම් විය. එම නිවස සාදවා, නිවසට එම නාමය ලබා දුන්නේද ඔහු විසිනි. සර් ඩී.බී. ජයතිලක මහතා ස්ව කැමැත්තෙන්ම තර්බර්න් නිවස ඇතුළු තමන් සතු දේපළ රාශියක් සිය අවසන් කැමැත්තෙන් රජයට පවරනු ලැබූයේ සිය මානූෂවාදී ජනතා හිතකාමීත්වයේ තරම ලොවටම පසක් කර දෙමිනි. 1933 වසරේ ජනවාරි 04 වැනිදා ඩී.බී. ජයතිලක මහතා සිය අත්සනින් තමන් සතු දේපළ සියල්ලක්ම රජයේ මහා භාරකාර දෙපාර්තමේන්තුවට පවරා දුන්නේය. ඩී.බී. ජයතිලක මහතා සිය දේපළ පවරා දීමෙන් අනතුරුව කියා සිටියේ මහා භාරකාර දෙපාර්ත‍මේන්තු කාර්යාලය රට තුළ ක්‍රියාත්මක වන තුරු මාගෙ නිවසෙහි පවත්වා‍ගෙන යෑම සිය අවසන් කැමැත්ත වන බවයි. ඒ අනුව එතැන් පටන් අද දක්වා එම කාර්යාලය කොළඹ 7 බුලර්ස් පාරේ පිහිටි ඩී.බී. ජයතිලක මහතා වාසය කළ තර්බර්න් නිවසේ සිට ක්‍රියාත්මක වෙයි. අද වන විට එහි 100කට ආසන්න කාර්ය මණ්ඩලයක් සේවය කරති. එසේම දහසකට වැඩි මිනිසුන් ප්‍රමාණයක් එහි ප්‍රතිලාභ භුක්ති විඳිති. ආගමික ආයතන, අධ්‍යාපනික ආයතන, වෛද්‍ය ආයතන රාශියක් සඳහා පරිත්‍යාග එයින් සිදු කෙරෙයි.

ශ්‍රීමත් ඩී.බී. ජයතිලක මහතා මෙම තර්බර්න් නිවෙස ඉදි කරවා ඇත්තේ වර්ෂ 1928 – 1930ත් අතර කාලයේදීය. කොළඹ හතේ පර් චස් 30.5ක වපසරියක් සහිත ඉතා වටිනා බිම්කඩක මෙම නිවස්නය ඉදි කෙරුණි. මීට වසර කිහිපයකට පෙරාතුව තර්බර්න් නිවස ඉදිරිපස සර් ඩී. බී. ජයතිලක මහතාගේ ප්‍රතිමාවක් නිරාවණය කරනු ලැබීය. 2018 වසරේ ශ්‍රීමත් ඩී.බී. ජයතිලක මහතාගේ 150 වන ඡන්ම දින සැමරුම් උලෙළ වෙනුවෙන් එම ප්‍රතිමාව නිරාවරණය කෙරුණි. 2019 වසරේ යෙදුණු එතුමාගේ 75 වන ගුණ සමරු උලෙළට සමගාමීව තර්බර්න් නිවස්නය ඉදිරිපස ඩී.බී. ජයතිලක මහතා‍ගේ රුව සහිත සමරු ඵලකයක් නිරාවරණය කරන්නටද කටයුතු ‍කෙරුණේය.

තර්බර්න් නිවස මහල් දෙකකින් සමන්විත ගොඩනැඟිල්ලකි. බටහිර ගෘහ නිර්මාණ ශිල්පයේ ආභාසයෙන් ඉදි කෙරුණු මෙම නිවස්නය ඉතා මනරම් ආරුක්කු, බීරලු වැටවල්, කුලුනු ආදී ඉපැරණි ගෘහ නිර්මාණ අංග රාශියකින් සුසැදි වෙයි. තර්බර් න් නිවස ගොඩනැගීම සඳහා අවශ්‍ය ගඩොල් සපයා ගෙන තිබුණේ කැලණිය ප්‍රදේශයේ ඩී.බී. ජයතිලක මහතාගේ පවුලටම අයත් ගඩොල් පෝරණුවකින් බව ඉපැරණි වාර්තාවල සඳහන් වෙයි. ඩී.බී. ජයතිලක මහතා එකල තර්බර්න් නිවසේ ඉහළ මහලේ ආලින්දනයට වී ඉදිරිපස පිහිටි තුරඟ තරග පිටියේ තුරඟ තරග දෙස බලා සිටිමින් විවේකීව කල් ගත කිරීම පුරුද්දක් ‍ලෙස සිදු කර තිබේ. මෙම නිවස්නය තර්බර්න් යනුවෙන් නම් කිරීම සම්බන්ධයෙන්ද කතා පුවතක් පවතී. ඒ අනුව බ්‍රිතාන්‍යයේ ඔක්ස්ෆර් ඩ් විශ්වවිද්‍යාල සංගීත ශාලාවේ වාදක මණ්ඩලයේ ප්‍රධාන වයලීන වාදකයා වූ තෝමස් ඩබ්ලිව් තර් බර්න්ගේ නමින් මෙම නිවස්නය නම් කළ බවට මතයක් පවතී. වසර සියයකට ආසන්න ඉතිහාසයකට උරුමකම් කියන මෙම තර්බර්න් නිවස්න ගොඩනැගිල්ල විටින් විට ප්‍රතිසංස්කරණය කර ඇති නමුත් එම කටයුතු එහි පෞරාණිකත්වය ආරක්ෂා කර ගනිමින් සිදු කර තිබීම පැසසිය යුතු කරුණකි.

~ පසිඳු මිහිරාන් රැටියල

- Advertisement -
- Advertisement -

Latest News

සීගිරි ලියෝ කවරහු ද?

කලාකාමී කාශ්‍යප නිරිඳුන් විසින් ගොඩනංවන ලද සීගිරි පර්වත බලකොටුවෙහි හෙවත් කලාගාරයෙහි අද අපට දැකගැනීමට හැකි වටිනා ම කලාකෘති නම්...
- Advertisement -

More Articles Like This

- Advertisement -spot_img