Sunday, December 22, 2024

වැරදුණු අතුරුපසෙන් හැදුණු ‘‘ග්ලුකෝ රස’’

Must Read

උස්වත්ත ලියනගේ පැට්‍රික් ජෝශප් ක්‍රිස්ටෝපර් හෙවත් ක්‍රිස්ටි පෙරේරා පණහෙ දශකයේ මැද භාගයේදී විතර සේවය කරමින් සිටියේ කොළඹ සමාගමක ගබඩා පාලකයකු හැටියටය. මේ වන විට ඔහු විවාහ දිවියටද ඇතුළත්ව සිටියේය. සේවය කළ සමාගමේ ඇති වූ ප්‍රශ්නයක් නිසා ක්‍රිස්ටි පෙරේරා හට තාවකාලිකව සේවයන් ඉවත් වීමට සිදුවිණි. එවිට ජීවනෝපාය සඳහා ඔහු මගක් සොයමින් සිටියේය.

මේ අතරවාරයේදී විවාහයෙන් පසුව ක්‍රිස්ටිගේ උපන්දිනය සැමරීම වෙනුවෙන් ආදරණීය බිරිඳ උත්සුක වූවාය. අගහිඟකම් තිබුණද පැමිණි දුක් පැණි රසයෙන් පිළිගැනීමේ පුරුද්දක් මේ යුවළ හට තිබිණි. විවාහයෙන් පසු සැමරූ ප්‍රථම උපන් දින සාදය පිළියෙල වූ අතර ආරාධනා ලැබ සිටි අමුත්තන් වෙනුවෙන් බිරිඳ අතුරුපසක් ද පිළියෙල කළාය.
ඇයට ඕනෑ වී තිබුණේ කවුරුත් ආසා කරන ‘ටර්කිෂ් ඩිලයිට්‘ අතුරුපස පිළියෙල කිරීමටය. එහෙත් එය හරි හැටි පිළියෙල කර ගැනීමට ඇය හට නොහැකි විණි. ටර්කිෂ් ඩිලයිට් වෙනුවට හැදුණේ තලපයක් වැනි අතුරු පසකි.

‘‘හරිම රසයි මේ ඩෙසර්ට් එක’’ බිරිඳගේ වැරදුණු අතුරුපසට, පැමිණ සිටි අමුත්තන්ගෙන් ලැබුණේ එවැනි ප්‍රතිචාරයකි.

‘‘මේක හදලා විකිණුවොත් හොඳ නැද්ද?’’

එදා පැමිණ සිටි හිතවතුන් වෙතින් නිකමෙට වගේ කියැවිණි.

‘‘ඔව්, ඉතින් දැන් රස්සාවත් නැති එකේ ඒ වැඩේ නම් මරු’’ යැයි ක්‍රිස්ටි හිමිහිට මුමුණුවේය.

මෙම අලුත් වැඩය ගැන බිරිඳ සමග කතා කළ ක්‍රිස්ටි ගෘහස්ථ කටයුත්තක් ලෙස මෙය ආරම්භ කළේය. ඊට නම් තැබුවේ ‘‘ග්ලුකෝරස’’ යනුවෙනි.

‘‘සියයට 60ක් මේ පැණි රස කෑම සඳහා ඇතුළත් වන්නේ ග්ලුකෝස් අනෙක් සියයට 40 සීනි හෙවත් පැණි රස. මේ නිසා ග්ලුකෝරස කියන නම තාත්තා යොදාගෙන.
ඊට පස්සේ ඒවා මොරටුව පැත්තෙ අලෙවි කරන්න පටන් ගෙන. මිනිස්සු අතර මේ ජුජුබ්ස් ඒ කාලයේ හරි ජනප්‍රිය වෙලා’’

අද පැට්‍රික් ජෝෂප් ක්‍රිස්​ෙටා්පර් හෙවත් ක්‍රිස්ටි පෙ​ෙර්රා ජීවතුන් අතර නැත. එදා ස්වකීය ජීවනෝපාය වෙනුවෙන් ක්‍රිස්ටි ගෘහස්ථව ආරම්භ කළ පුංචි ව්‍යාපාරය, පසු කලෙක ලංකාවම දන්නා ව්‍යාපාරයක් බවට පත් කළේ ඔහුගේ පුතු උස්වත්ත ලියනගේ සුනිල් ක්වින්ටස් පෙරේරාය.

එදා 1956 දී පියා මෙම ව්‍යාපාරය සුළුවෙන් අරඹන විට මේ ක්වින්ටස් පෙරේරා මෙලොව එළිය ලබා නොසිටියේය. එහෙත් පසු කලෙක පවුලෙන් පටන් ගත්ත පුංචි ව්‍යාපාරයට සැබෑ අරුතක් ගෙන දුන් චරිතය ඔහුම වෙයි. ඔහු ග්ලුකෝරස සමග පමණක් බද්ධ වී ​නොසිටි අතර අලුත් රස ආහාර වර්ග කීපයක්ම ග්ලුකෝරස නිවසින් හඳුන්වාදීමට නව සංකල්ප දැරූ ව්‍යවසාකයෙකි. එදා තාත්තා නැවතූ තැනින් ඔහු පටන් ගත්තේ කෙසේද?

‘‘එදා තාත්තා රැකියාව කළ තැනින් තාත්තාට නැවත එන්න කියලා කතා කරලා. එයාලගෙ අතින් සිදුවූ අත්වැරැද්දකට තමයි තාත්තාට තාවකාලිකව රස්සාව අහිමි වුණේ. ඒත් තාත්තා ආයෙත් ගිහින් නැහැ. මම ව්‍යාපාරයක් පටන් ගත්තා. ඒක ටිකක් හොඳයි. ඒ නිසා මට ඒක රස්සාව එපා කියලා. ඒ පාර, එයාලා වෙච්ච වැරැද්ද වහගන්න තාත්තාට ණයට අමුද්‍රව්‍ය දෙන්නම් කියලා. පැණි රස කෑම හදන අමුද්‍රව්‍ය ගෙන්වූ සමාගමක් එය.

ඉතින් කොහොම හරි ඒ සමාගම ඒ විදියට දුන් සහනය නිසා තාත්තා ටිකෙන් – ටික ගොඩනැගෙන්න පටන් ගත්තා. එදා තාත්තා මුලින්ම මේ රස කෑම බෙදා හැර තිබෙන්​ෙන් බෑග්වලට අතින් අහුරලා. ඒ දිනවල යන්ත්‍ර කිසිවක් තිබිලා නැහැ.

තාත්තා එදා මේ ව්‍යාපාරය ආරම්භ කරලා තියෙන්නෙ එයාට දෑවැද්දට හම්බ වෙච්ච රුපියල් තුන් දහස සහ එයාගෙ අයියා දුන්න රුපියල් 3000ක මුදලක් එක්ක වූ රුපියල් 6000 ක මුදලකින්. එයා තාත්තාගෙ දෙවැනි අයියා. එයාගෙ නම ප්‍රැන්සිස් පීටර් පෙරේරා. ඒත් එයාට කිව්වෙ ඇන්ටන් පෙරේරා කියලයි.

ඒ වෙනින් කවුරුවත් නොවෙයි. ජීප්සීස් සුනිල් – පියල් ඇතුළු දරුවන්ගෙ පියා. මගේ බාප්පා. තාත්තාට තවත් අයිය කෙනෙක් හිටියා. එයාගෙ නම නෝබට් පෙරේරා. එයා ව්‍යාපාරයට සම්බන්ධ නැහැ. ඒත් එදා එයා තමයි මේ නිෂ්පාදන බෙදාහැරීම සිදුකරලා තියෙන්නෙ. ඔන්න ඔය විදියට සහෝදරයින් තුන්දෙනාගෙ දායකත්වය ඇතිව මුල්ම කාලයේදී පත්වාගෙන ගිහින්’’

ග්ලුකෝරස නිවසේ මුල්ම කාලයේ හැඩය, පැහැය ගැන එලෙසින් මතකය ගෙනහැර පාන ක්වින්ටස් පෙරේරා යනු ග්ලුකෝරස නිෂ්පාදන ආයතනයේ නිර්මාතෘ ක්‍රිස්ටි පෙරේරාගේ 5 වැනි දරුවාය. ක්‍රිස්ටි පෙරේරා හට දරුවන් 8 දෙනෙකි. පිරිමි දරුවන් තිදෙනෙක් සහ ගැහැනු දරුවන් 5 දෙනෙක් ඒ පිරිසට අයත් වූහ.

එදා ග්ලුකෝරස නිෂ්පාදන පටන් ගත් මුල්ම කාලයේදී මේ කටයුතු කරගෙන ගියේ ගෙදර සේවයට සිටි ගැහැනු කෙනෙකු මෙන්ම තවත් පිරිමි සේවකයකු සහ ක්‍රිස්ටි පෙරේරා යුවළ සහ ඇන්ටන් පෙරේරාගේ බිරිඳ යන කීප දෙනාගේ දායකත්වයෙන් බව ක්වින්ටස් සඳහන් කරයි.

මුල්ම කාලයේදී මැෂින් නොතිබූ නිසා ජුජුබ්ස් කෑලි වලට කපා ඇත්තේ කතුරකිනි. මේ විදියට ටිකෙන් ටික හිස ඔසවමින් සිටි උස්වත්ත ග්ලුකෝරස නිෂ්පාදන ආයතනයට ප්‍රශ්නවලට මුහුණ දෙන්නට සිදුවූයේ 1971 දී සිට බව ක්වින්ටස් සඳහන් කරයි.

‘61 න් පසුව තාත්තා ජුජුබිස් වලට අමතරව තව තව නිෂ්පාදන පටන්ගෙන තිබුණා. ටොෆි නිෂ්පාදනයටත් ඇවිත් හිටියෙ. මේ විදියට දියුණු වෙමින් 71 වන විට සේවකයින් 300 ක් පමණ සේවය කරන තරමට දියුණුව ලබා තිබුණෙ.

71න් පසුව රටේ ඇති වූ දේශපාලනික වෙනස එක්ක ආනයනික දේ ගෙන ඒම සීමා කළා. ඒ නිසා අපට අපේ නිෂ්පාදන වලට වැඩියෙන්ම යොදා ගත් ග්ලුකෝස් ගෙන ඒමට නොහැකිවීම නිසා දිනෙන් දින නිෂ්පාදන ප්‍රමාණය අවම වුණා. 300ක් පමණ සිටි සේවක පිරිස අන්තිමට නතර වුණේ 7 කට පහළ බැහැලා. ඒ දිනවල උපාලි ආයතනය ඇතුළු ඉතා සුළු ආයතන කීපයකට විතරයි ආනයනික දේ ගෙන්වීමේ අවසර තිබුණේ.

අපි එදා ග්ලුකෝරස සඳහා ග්ලුකෝස් ගත්තෙ උපාලි එකෙන්. ඒත් එය අපේ නිෂ්පාදන සඳහා ප්‍රමාණවත් වුණේ නැහැ. මේ නිසා එදා අපි මුහුණ දුන්න බැරෑරුම් ප්‍රශ්නය වුණේ අමුද්‍රව්‍ය ගෙන ඒමට නොහැකිවීමේ බාධකයයි.

ඒ විදියට දුෂ්කරව ආ උස්වත්ත කන්ෆැක්ෂනරිස්, ජයග්‍රාහී මාවතකට පිවිසුණේ කවදාද? ක්වින්ටස්ගේ කතාව අතරේ අපි විමසීමු.

‘‘77 දී වූ ආණ්ඩු වෙනස එක්ක ඇතිවුණේ විවෘත ආර්ථික ක්‍රමයක්. මේ අතරවාරයේදී ජර්මනියේ පැවැත් වූ ඉන්ටර්පැක් ප්‍රදර්ශනයට තාත්තා ගිහින් හිටියේ. ටිපි-ටිප් සංකල්පයට අදහස ඇවිත් තියෙන්නෙ එතැනින්.

‘‘පුතා මෙහි ප්‍රදර්ශනයට මැෂිමක් තියෙනවා. ඒක හරි අපූරුයි’’ කියලා තාත්තා ජර්මනියේ සිට කතා කරලා මට කිව්වා. හැබැයි දින දෙකක් ඇතුළතදී එය අරගන්නට ඕනෑ. එවිට මිලෙන් බාගෙට – බාගයක්ම අඩුයි කියලත් කිව්වා. ලෝකයම ඒ වන විට ස්වභාවික නිෂ්පාදන ක්‍රියාවලියකට අවතීර්ණ වෙමින් සිටියෙ.

‘ටිපි – ටිප්’ කියන්නෙ ස්වභාවික ආහාර නිෂ්පාදනයක්. ඒවා නිපදවන යන්ත්‍රය ගැන තමයි තාත්තා මට කිව්වෙ. මේ වෙලාවේ මට මගේ යාළුවෙක් මතක් වුණා. එයා දිනෙක මට හමුවුණේ නුවරඑළියෙදී.

‘‘ඇයි ඔයාලා DFCC බැංකුවට නොඑන්නෙ? එන්නකො අපි උදව් කරන්නම් කියලා එයා කිව්වා’’.

මට මේ වෙලාවේ මේක මතකයට ආවා. මම වහාම එදා හවසම කිංස්ලි ප්‍රනාන්දු කියන ඒ මහතා හමුවන්න ගියා. හවස බැංකු කටයුතු අවසන් කරන වෙලාව. ඒත් එතුමා සාකච්ඡාවක් පවත්වලා මට එළියට ඇවිත් කිව්වා, හරි අපි ණය මුදල ලබා දෙන්නම් කියලා. මිලියන 5ක ණය මුදලක් DFCC එකෙන් එදා ලබා ගෙන තමයි අපි ඒ මැෂින් එක ලංකාවට ගෙනාවේ.

78 දී මම කම්පැනි එකට සම්බන්ධ වුණේ මැෂින් ඔපරේටර් කෙනෙකු ලෙසයි. විශේෂයෙන්ම ඒ අලුතින් ගෙනා මැෂිම ගැන සොයා බලා කටයුතු කළේ මම. ඒ විදියට ටිකෙන් – ටික ඉදිරියට ඇවිත් 1980 දී අධ්‍යක්ෂ මණ්ඩලයට පත්වීම් ලැබුවා.

‘‘එතකොට ජිප්සීස් සුනිල්ලා – පියල්ලා එක්ක, සංගීත කටයුතුවලට ගියේ නැද්ද?’’ ග්ලුකෝරස මැවූ රසවත් කතාව අතරේ ක්වින්ටස් ගෙන් අපි විමසීමු’’

ඒ කාලයේදී මහප්පාගෙ නිවස (ජීප්සීස් සුනිල්ගෙ පියා ඇන්ටන් පෙරේරා) සහ අපේ නිවස රත්මලානෙ කම්පැනිය පිටුපස තිබුණෙ. ඉස්කෝලෙ ගිහින් ඇවිත් අපි හවසට ක්‍රිකට් ගැහුවා. සමහර දාට මම රෑ කෑම කෑවේ මහප්පලාගෙ ගෙදරින්. ඒ දිනවල රාත්‍රි 9 චිත්‍රපට ෂෝ එක බලන්න අපි කට්ටියම ගියා. ඒක ඇත්තටම හරි ජොලි කාලයක්.
ඒත් මම ජිප්සීස්ලා එක්ක සංගීතය කළේ නැහැ. මගේ අයියා නෙවිල් පෙරේරා. ජිප්සීස්ලාට එකතු වී සිටියා. එයා තමයි මුලින්ම ඩ්‍රම්ස් ගැහුවේ. එයාලගෙ මුල්ම ගීතයක් වූ,
‘‘අම්මා, අම්මා මේ මට… කියන්න ලැජ්ජයි තාත්තට….’’

ගීතය ගයන්නත් නෙවිල් අයියා එක් වී සිටියා. ජිප්සීස්ලාට ඒ දිනවල ග්ලුකෝරස ආයතනය දිගටම ප්‍රසංගවලදී අනුග්‍රහයක් දැක්වූවා.

පසු කලෙක මේ ව්‍යාපාරයට මහප්පාගෙ පවුලේ පුතුන් වූ නිහාල් තාත්තා වෙනුවට සම්බන්ධ වුණා. මහප්පාගේ පුතු පියල් සහ දියණියන් දෙදෙනෙක් මෙහි කොටස් හිමිකාරිත්වය දරනවා. ඒත් ව්‍යාපාරයට ජීප්සීස්ලා සම්බන්ධ වුණේ නැහැ.

‘‘මේ විදියට ආ ගම​ෙන්දී උස්වත්ත කන්ෆැක්ෂනරීස් නැගලා ගියේ මොකක් නිසාද?‘’

ඒ දිනවල අගමැති වූ ආර්. ප්‍රේමදාස මැතිඳුන්ගේ පුතු සජිත් ප්‍රේමදාස මහතා සංගීතයට හරි ළැදියි. ජිප්සීස්ලාගේ යාළුවෙක්. ප්‍රේමදාස මහතා ඒ දිනවල බුත්තල ගම් උදාවට ලක ලැහැස්ති වෙමින් සිටියේ. සජිත් මහතාගේ හිතවත්කම් මත ජීප්සීස්ලාට පණිවුඩයක් එවා තිබුණා, අපේ කුටියත් බුත්තල ප්‍රදර්ශනයට ගේන්න කියලා. ඉතින් ඒක අහක දාන්නෙ කොහොමද? අපි මැෂිම බුත්තලට ගෙනගියා.

හැබැයි එය ක්‍රියාත්මක කරවන්න ත්‍රීෆේස් (තෙකලා) විදුලිය තිබුණේ නැහැ. ප්‍රදර්ශනය ආරම්භයට දිනකට පෙර ප්‍රේමදාස මැතිඳුන් සියල්ල අධීක්ෂණය කරනවා.
‘‘සර් මේක ක්‍රියාත්මක කරවන්න විදුලිය නැහැ’’ කියලා අපි කිව්වා.

‘‘මම මේ භූමියෙන් යන්න පැය දෙකකට පෙර මෙතැනට විදුලිය ලබා දෙන්න කියලා’ ප්‍රේමදාස මැතිඳුන් නිලධාරීන්ට කිව්වා.

ඔන්න ඒ පාර විදුලියත් ලැබුණා.

බුත්තලට ආ මහ සෙනඟට අපි ටිපි – ටිප් නිෂ්පාදන නොමිලේම ලබා දුන්නා. මුළු රටම ඊට පසුව ටිපි – ටිප් ගැන (Tipitip) කතා කරන්න පටන් ගත්තා. එය අපට ලැබුණු ලොකු ජනප්‍රියත්වයක් කිව්වොත් හරි.

එලෙසින් උස්වත්ත කන්පැක්ෂනරීස් ආ ගමනේදී නැවතත් වෙනසකට මුල පිරුවේ එහි නිර්මාතෘවරයා වූ ක්‍රිස්ටි පෙරේරා මහතාගේ අභාවයෙන් පසුව බව ක්වින්ටස් සඳහන් කරයි.
අපේ ආදරණීය පියාණන් අභාවප්‍රාප්ත වුණේ 1998 අගෝස්තු 30 වැනිදා. කම්පැණිය ඒ දක්වා දිගු ගමනක් ආවේ තාත්තාගෙ දැක්ම අනුවයි. ඉන්පසුව ඥාති පාර්ශ්වයේ සහ මගේ පවුලේ කීප දෙනෙකුත් මීට සම්බන්ධව සිටියට එයාලා මේ නිෂ්පාදන ක්‍රියාවලිය එක්ක ප්‍රායෝගික වුණේ නැහැ. මම තාත්තා ළඟින්ම සිටි නිසා ලැබූ දැනුම බොහෝමයි.
යන්ත්‍ර සූත්‍ර ගැන සහජයෙන්ම උරුම වූ හැකියාවක් මට තිබෙන්නෙ. මේ සියලු දේ එක්ක වඩා ප්‍රායෝගික වුණේ මම. වතාවක අලුත්ම සංකල්පයකට ‘‘පැණි මෝල්ට්’’ කියන රස නිෂ්පාදනය හඳුන්වා දී එහි අලෙවිකරණය පවා කළේ මගේ අධීක්ෂණයෙන්. එය එ​ෙතක් කළ නිෂ්පාදන අතරින් ඉහළම වාර්තා තැබූ නිෂ්පාදනයක්.

මේ ආ ගමන පැණි රස වූවා මිසෙක තිත්ත වුණේ නැද්ද? අපි අහන්නෙ පියාගෙ අභාවයෙන් පසුව ප්‍රශ්න ආවේ නැද්ද? අපි ඇසූ ඒ පැණයට ක්වින්ටස් පිළිතුරු දුන්නේ මෙලෙසිනි.
‘‘තාත්තාගේ අභාවයෙන් ටික දවසකට පසුව හතර පස් දෙනෙක් කටයුතු මෙහෙයවන්න පටන් ගත්තා. අපි කතාවට කියනවනෙ කෝකියෝ වැඩි වුණාම සුප් එක වරදිනවා වගේ වැඩක් වුණේ. මේ නිසා කම්පැනි එක හරි මාවතකට ගියේ නැහැ. දිනෙන් දින ඉදිරියකට යාම වෙනුවට ආපස්සට ගමන් කළේ. 2001 වෙද්දී සෑහෙන ප්‍රශ්න වලට මුහුණ දුන්නා.
2005 වෙද්දි බැංකු ණය ගත්ත ඒවාට වගේම ආදායම් බදු කලට නොගෙවීම නිසා සෑහෙන ප්‍රශ්නවලට මුහුණ දුන්නා. 2007 වෙද්දී සේවකයින් සේරම එකතු වෙලා සර් ඔයාට පළපුරුද්ද තියෙනවනෙ. ඒ නිසා සර් මේකෙ සුක්කානම අතට අරගෙන මෙහෙයවන්න කීවා. ඇයි මේක වැටෙන්න දෙන්නෙ කියලා.

කොටස් හිමි අයත් මට කිව්වෙ ඔයා අරගෙන කරන්න කියලයි. ඒ අනුව 2007 දී ප්‍රධාන විධායක ලෙස පත්වී පවුල් දෙක අතර තිබූ කොටස්වලින් කැමති අය එයාලගෙ කොටස් විකුණන්න කියා මා ඉල්ලීමක් කළා. සමහරු තමන්ගේ කොටස් ඉන්දීය සමාගමකට විකුණා තිබුණා.

ඒ අතරවාරයේදී හිමිකම් වෙනුවෙන් අධ්‍යක්ෂ මණ්ඩලයේ ප්‍රශ්න ආවා. ඉන්දීය ජාතිකයා ඒ වෙලාවෙ එයාගෙ කොටස් විකුණුවා. මම ඒවා මිලදී ගත්තා. 55% ක කොටස් හිමි වූ නිසා පරිපාලනය බාරගෙන මම ධෛර්යවන්තව කටයුතු කරගෙන ගියා.

රත්මලානෙ ගොඩනැගිල්ලක් නිකං තියාගෙන ​ඉඳලා වැඩක් නැති නිසා ​​ෙටා​ෙයා්ටා එකට ඒක විකුණලා. යන්ත්‍ර සියල්ල පිළියන්දල භූමියකට ගෙන ගියා. ඒ එක්කම බණ්ඩාරගම භූමියක් අරගෙන නිෂ්පාදන කම්හල ස්ථාපිත කළා. බැංකු සමග මගේ තිබුණෙ ලොකු පැහැදීමක්.

බැංකු මට උදව් කළා. 2013 දී අපි බණ්ඩාරගමට ගියේ. 2015 දී එය විවෘත කෙළේ අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතින්. සමාගමට 60 වසරක් සපිරෙන මොහොතේදී තමයි විවෘත කළේ.

ක්වින්ටස් පෙරේරා එක හුස්මට තමාගේ පදාර්ථයේ කතාව කියාගෙන ගියේ එලෙසිනි. දැන් මෙම සමාගමෙහි සභාපති සහ කළමනාකාර අධ්‍යක්ෂ ලෙස ඔහු කටයුතු කරන අතර පුතුන් දෙදෙනා සහ දියණිය අධ්‍යක්ෂ තනතුරු දරති. ක්වින්ටස්ගෙ වැඩිමහල් සොයුරු නෙවිල් පෙරේරා අධ්‍යක්ෂ තනතුරක් දරයි. අද උස්වත්ත ආයතනය නිෂ්පාදනය කරන රස කෑම නිෂ්පාදන දිවයිනේ වෙළෙඳ සල් 1,40,000කට පමණ බෙදා හැරෙන බව ඔහු පවසයි.

අද ලොරි සහ වෑන් රථ 240ක් මේ සමාගම සතුය. වැටෙන්නට නොදී නැත්තටම නැති වෙන්නට නොදී ක්වින්ටස් හට එදා තාත්තා හැදූ සමාගම රැක ගැනීමට හැකිවූයේ කුමක් නිසාද?

‘‘අවුරුදු 12 ඉඳලම මගේ ජීවිතය ගෙවුණේ මේ වටපිටාවේ. එදා ඉඳලම මගේ අරමුණ වුණේ මෙම අංශයෙන්ම මිසක වෙනත් අංශයකින් යාමට නොවෙයි. මම මේකට ආදරය කළා. හදවතින්ම කැපවුණා. පවුලේ සහෝදරයින්ට තවම කොටස් තියෙනවා.

අාපස්සට බලද්දී එදා ඒ තීරණය මම ගත්තෙ එඩිතරව නිර්භයවයි.

බොහෝ දෙනා කිව්වෙ මේක දැන් කරන්න බැහැ වැටේවි කියලයි. ඒත් මගේ අධිෂ්ඨානය වුණේ මෙය කළ හැකියි කියලයි. මම දෙවියන්ට හරි ලැදියි. රෝමානු කතෝලික. නිතරම දේව ලැබීම තිබුණු බව කියන්න පුළුවනි. නව ෆැක්ටරිය විවෘත කළේ අහවල් දවසට විවෘත කරන්න කියලා ​දේව වචනය ලැබී තිබුණු නිසයි. 2015 අගෝස්තු 15 විවෘත කළේය.
ඊට මාස 3කට පෙරදී ජනාධිපතිතුමා මට පන්සලක උත්සවයකදී හමුවූ දිනෙක මා එතුමාට ආරාධනා කළා. එතුමා බොහෝම ගෞරවයෙන් ඒ ආරාධනාව බාරගත්තා. එළැඹෙන මැතිවරණයක උණුසුම තිබියදී සියල්ල ලස්සනට සිදුවුණා. අද ලංකාවේ රසකැවිලි නිෂ්පාදන අතින් අපි අංක එක කිව්වොත් හරි.

අංක එකට ආ ග්ලුකෝරස ජනප්‍රිය වෙන්න එදා ජීප්සීස්ලා ගයපු ‘‘ග්ලුකෝරස මාමේ, ටිපි – ටිප් ඇතුළු’’ වෙ​ෙළඳ ගීත ජනප්‍රිය වුණා නේද?

මුලින්ම 60 දශකයේදී අපේ දැන්වීම් සඳහා ගී ගැසුවේ ක්‍රිස්ටෝෆර් පෝල් ගායන ශිල්පියා. පසුව ජිප්සීස්ලා.

මෙනයින් අද අභියෝග ජයගෙන නැගී සිටින ක්වින්ටස් පෙරේරා කවුද? මොන වගේද? සටහන අවසන් කිරීමට පෙර අපි ඔහුගෙන් ඔහු ගැන විමසීමු.

මම ඉගෙන ගත්තෙ බම්බලපිටිය ශාන්ත පීතර විද්‍යාලයෙන්. පසුව ව්‍යාපාරයට සම්බන්ධ වන අතරේ උපාධියකට ඉගෙන ගත්තා. එංගලන්තයට ගිහින් තමයි MBA එකට ඉගෙන ගත්තෙ. මගේ ජීවිතය මේ විදියට ව්‍යාපාරය ගොඩනැගීමට කැප කළා. ඊළඟට ගෙදරට සීමා කළා. නයිට් ක්ලබ් යන සිගරට් – අරක්කු බොන චරිතයක් නෙවෙයි. ගෙදර තමයි මගේ ජීවිතය. බිරිඳ සහ දරුවෝ එක්ක තමයි ජීවිතය ගෙවෙන්නේ. ජීවිතයට අරුතක් දුන්නාය කියලා හිතනවා. වචනයක් කිව්වොත් කිව්වාම තමයි. විශේෂයෙන්ම බැංකු මෙන්ම ව්‍යාපාර ගනුදෙනු කරද්දී වචනය හරි වැදගත්. ඒ වගේම ඉලක්කයක් තිබිය යුතුමයි.

 

The Glucorasa story

 

සටහන සඳුන් ගමගේ

 

- Advertisement -
- Advertisement -

Latest News

සීගිරි ලියෝ කවරහු ද?

කලාකාමී කාශ්‍යප නිරිඳුන් විසින් ගොඩනංවන ලද සීගිරි පර්වත බලකොටුවෙහි හෙවත් කලාගාරයෙහි අද අපට දැකගැනීමට හැකි වටිනා ම කලාකෘති නම්...
- Advertisement -

More Articles Like This

- Advertisement -spot_img