නලින් ද සිල්වා කලිසම ඔළුවෙන් ගැලවූවෙකි. ඔළුවෙන් ගැලවිය හැක්කේ සරොමය. එහෙත් කලිසම ඔළුවෙන් ගැලව්වාය කීමෙන් හැඟෙන්නේ කලිසම හා බැඳුණු දැනුම් පද්ධතියත්, සංස්කෘතික ඇබ්බැහිකමත් එයට තියෙන ලැදිකමත්, හිතෙන් ඉවත් කළාය යන අදහසය.
කලිසම ඔළුවෙන් ගැලවූ නලින් ද සිල්වා ක්‍රිස්තු පූර්ව තුන්වන සියවසේ අම්බස්තලයේ පොසොන් පෝදා කළ දෙබසක් තුළින් පෙරදිග දැනුම් පද්ධතියක් වෙත චින්තකයන්ගේ අවධානය යොමු කරවූයේය. මිහිඳු හාමුදුරුවෝ දේවානම් පියතිස්ස මහ රජතුමාගෙන් මේ ගස කුමක්ද? මේ ගස හැරෙන්නට තවත් අඹ ගස් තිබේද, මේ අඹ ගසත් ඒ අඹ ගසත් හැර තවත් ගස් තිබේද? ඒ වෙනත් ගසුත් වෙනත් අඹ ගසුත් හැර තවත් ගසක් තිබේද කියන ප්‍රශ්න හතර ඇහුවා. ඒ එකම කාරණයකට කෙරවලවල් හතරක් තියෙන බව කියන චතුස්කෝටිකය.
‘‘බටහිර චින්තනයට තියෙන්නේ කෙළවරවල් දෙකයි. ඇත. නැත. පෙරදිග චින්තනයට කෙරවලවල් හතරයි. ඇත, නැත, ඇත්තේද නැත, නැත්තේද නැත අපි චතුස්කෝටික චින්තනයක් සහිත ජාතියක්.’’
මිහිඳු හිමියන්ගෙන් බණ අසා දේවානම්පියතිස්ස මහ රජු, පව්කාරකම් අතහැරියේ යම් සේද, නලින් ද සිල්වා ද කලිසම ඔළුවෙන් ගලවා අනුකාරක බුද්ධිමතුන්ගේද ඒ සමාජයෙන් ද කැඩී වෙන් වූයේය. එසේ කැඩී වෙන් වීම එක්තරා ආකාරයකට ගිහිගෙය හැරදා යාමකට සමානය. කෙනකු දෙස් විදෙස් උසස් අධ්‍යාපනය ලබා උගතෙකු වියතකුව සිතන්නේ යම් තරමක හෝ කාම සුඛල්ලිකානුයෝගී ජීවිතයක් ලබා ගැනීමටය. එය ලබා ගැනීමට ඒ පුරුදු කරන දැණුම් පද්ධතියට අනුව වෘත්තියක යෙදී එහි ඉහළට යා යුතුය. එහෙත් කොළඹ විශ්වවිදයාලයෙන් නෙරපූ නලින් බසයේ, දුම්රියේ බොහෝ දෙනකුට හමුව ඇත්තේය. බිරිඳගේ පඩියෙන් ජීවත් වෙමින් දුර බැහැර දේශනාවකට ගියවිට ශ්‍රාවකයන් එකතු කර දෙන මුදලින් ගමන් වියදම් දරා ගනිමින් ජීවත් වූයේය. එහෙත් මගේ ලෝකය ලියූ නලින් ද සිල්වාගේ ලෝකයට සුව පහසු ජීවිතයක් නොමැතිකම ප්‍රශ්නයක් වූයේ නැත. කාර්බාර්, ගේදොරවලින් හෝ නම මුලට තිබෙන උපාධියෙන් හෝ දරා තිබෙන තානාන්තරවලින් මනින්නට බැරි තරම් ලොකු මිනිහෙක් වීම නලින් ජීවිතයේ ලද ජයග්‍රයණයයි.
එක්දහස් නවසිය අසූ ගණන්වල අපේ රටේ තිබුණේ ‘ප්‍රබුද්ධ – අප්‍රබුද්ධ’ වශයෙන් හඳුන්වා ගත් සමාජ බෙදීමකි. කලාවේද, දේශපාලනයේද මේ බෙදීම හොඳින් කැපී පෙණින.
දේශපාලනයේදී ප්‍රබුද්ධ යැයි කීවේ කොටි ත්‍රස්තවාදය යුද්ධයෙන් පැරදවිය නොහැකිය යන මතය දරන්නාවුන් කොටි සමග සාකච්ඡා කර සාමයෙන්ම විසඳුමක් සෙවිය යුතු යැයි සිතන අයය. කොටි ත්‍රස්තවාදයට උත්තරය යුද්ධය බව සියොළඟටම වැටහුණත් එදා බුද්ධිමතුන් ඒ බව ප්‍රසිද්ධියේ නොකීවේ ප්‍රබුද්ධයන්ගේ ගොඩෙන් ඔවුන් නෙරපා හැරෙන බැවිනි. ප්‍රබුද්ධ යැයි කියා ගන්නා අය අතර කොන් වෙතැයි බිය තිබෙන නිසාය.
‘‘ප්‍රබුද්ධ ගොඩට ඇතුළු වෙන්න ඕනෑ නම් මොනවත් කරන්න ඕනෑ නෑ. කිසිම දෙයක් ගැන හැදෑරීමක් කරන්න ඕනෙත් නෑ. කරන්න තියෙන්නේ ප්‍රබුද්ධයෝ කියන දේ තමනුත් කියාගෙන ඉන්න එකයි. එතකොට එයා නිකංම ප්‍රබුද්ධයෙක් වෙනවා.’’ නලින් තමන් ප්‍රබුද්ධයෙක් නොවන බව කියමින් කීවේය.
නලින් ද සිල්වා ඇතුළු වීමට වඩා පිටවීම නිරන්තරයෙන් අගය කළේ ය. ‘‘මම උගතෙක් නෙවෙයි. මම නම් බුද්ධිමතෙකුත් නෙවෙයි. මම පඬියෙක් නෙවෙයි.පඬිනැට්ටෙකුත් නෙවෙයි’ යැයි නලින් ද සිල්වා නිතර නිතර කීවේය.
රට ජාතිය වෙනුවෙන් කතා කරන්නා ඒ වෙනුවෙන් සටන් කරන්නා බොහෝ විට ආවේගශීලී වන බව ඉතිහාසගත චරිත අපට පෙන්වා දේ. ධර්මපාලතුමා අනුකාරකයන්ට කතා කළේ මී හරකා, ගොං තඩියා, වසලයා ආදී භාෂාවෙනි. පොඩ්ට වැරදුණොත් සැරමිටිය එසවීමටද මේ මහෝත්තමයා පසුබට වී නැත.
නලින් ද සිල්වාගෙන්ද බැණුම ඇසූ උන් අප්‍රමාණය. එසේම නලින් ද සිල්වා ඇසූ බැණුම් ද අප්‍රමාණයය. මේ දෙකෙන් වැඩි කොයි දේ දැයි ගණනය කරන්නට නලින් වැනි ගණිතඥයකුට මිස සාමාන්‍ය කෙනකුට බැරිය. නලින් ද සිල්වා මගේ ලෝකය, විද්‍යා කයි කතන්දර ආදී ග්‍රන්ථයන්හිලාද, විවිධ ලිපි ලේඛන 1500 ලියමින්ද මතු කළ පෙරදිග දර්ශනයේ ප්‍රබලකම අපේ දැනුම් පද්ධතියේ ස්වරූපය ගැන වැඩි දෙනකු තර්ක කරන්න ආවේ නැත. එහෙත් ඕනෑම ගොනෙකුට මේ රටේ දේශපාලන වාදවලට ලිහා දමන නිසා අන්තවාදියකු ගැන කියන්නට ඕනෑ වූ විට අත දිගු කර පෙන්වූයේ නලින් ද සිල්වාය. එහෙත් අන්තවාදියකු යැයි අත දිගු කර පෙන්වන උන්ට වඩා නලින් හැදෑරීමේ දී නම්‍යශීලීය.
අරුණ පුවත්පත දොරට වැඩිදා ආරාධිතයකු වූ නලින් ද සිල්වා මහාචාර්යතුමාගෙන් අනුරාධපුරයේ පැවැති මහා විහාරයේ ගණිතය බඳු විෂයයන් උගන්වන්නට ඇති බවත්, ගෝලාකාර චෛත්‍ය හදන්නටද අසමසම ජලාශ හදන්නට ද ඇත්තේ මහා විහාරයේ ඉගැන්වූ ගණිතයෙන් විය යුතු නේදැයි ප්‍රශ්න කෙරිණ.
‘‘නෑ… අපි ගණන්කාරයෝ නෙවෙයි. අපි වැඩ කළේ හුරුවෙන්. කරනවා බලාගෙන ඉඳලා වැඩ කළා මිසක් අපි ගණන් ඉගැන්නුවේ නෑ.’’ නලින් ද සිල්වා මෙසේ කීවේ 2018 දීය. එහෙත් 2020 වන විට ඔහුගේ ඊමේල් ලිපි ශීර්ෂය මෙරට අනුරාධපුර යුගයේ භාවිත වූ සිංහල ඉලක්කම්වලින් සරසා තිබිණ.
මෙරට උගතුන් ජනවාර්ගික අර්බුදයක් සඳහා විසඳුම් යෝජනා කරන්නන්ගෙන් නලින් ද සිල්වා තීරණාත්මක ප්‍රශ්නයක් ඇසුවේය.
උතුරේ දෙමළ ජනතාව දෙමළ වූ නිසාම මුහුණ දෙන ප්‍රශ්නය කුමක්ද?
අප දන්නා තරමින් දශක ගණනාවකට පෙර නලින් ඇසූ මේ පැනයට තවමත් කිසිවෙක් නිශ්චිත උත්තරයක් දී නැත. එයට දී තිබුණේ වටෙන් යන උත්තරය. මේ ප්‍රශ්නයට උත්තර නැති තැන කුමාර් පොන්නම්බලම් දෙමළ ජනතාවට විශේෂ ප්‍රශ්නයක් නෑ. දෙමළ ජනතාවට තියෙන්නේ අභිලාෂයක්. වෙනම රාජ්‍යයක ජීවත් වීමේ අභිලාෂයක්.’’
ජාතිවාදියා, යන ආකෝෂ පරිභවයන්ට මුහුණ දෙමින් බළලා මල්ලෙන් එළියට පනිනතුරුම නලින් ප්‍රශ්න ඇසුවේය.
එසේ කළ හැකි වන්නේ ගිහිගෙය හැරදා යා හැකි තරම් ශක්තියක් තිබෙන මනුෂ්‍යයකුට පමණි. අදීන චින්තකයකුට පමණි. මේ සියලු බාධා ආකෝෂ පරිභව, දුක්පීඩා නලින් ද සිල්වා කලිසම ඔළුවෙන් ගැලවූ නිසා සිදු වූ ඒවාය. එහෙත් ඒ ගැන තැවෙන්නේ නැතිව ශෝක නොකර ගිහිගෙය හැර ගිය නලින් ද සිල්වා චින්තකයාණන්ට නිවන ළඟය.