මෙරට විද්‍යා, ගණිත, සමාජ, ශාස්ත්‍ර හා සාහිත්‍ය ක්ෂේත්‍රයේ ප්‍රබල විද්වතකු වූ මහාචාර්ය නලින් ද සිල්වා පසුගියදා අභාවප්‍රාප්ත විය. පොතපතින්ද පුවත්පත් හා සමාජ මාධ්‍ය මගින්ද ප්‍රසිද්ධ සම්මන්ත්‍රණ හා දේශන මගින්ද සිය කතිකාව දියත් කළ ඔහු වඩාත් සමීපව ඇසුරු කළ සාහිත්‍ය හා දේශපාලන චරිතය නම් ආචාර්ය ගුණදාස අමරසේකරය. මීට සති කිහිපයකට පෙර ඔහු අමරසේකර මහතා වෙනුවෙන් උපහාර උළෙලක්ද සංවිධානය කළේය. මේ, මහාචාර්ය නලින් ද සිල්වා පිළිබඳව ආචාර්ය ගුණදාස අමරසේකර දක්වන අදහස්ය.
● ඔබ මහාචාර්ය නලින් දකින්නේ කෙලෙසකද?
නලින් ද සිල්වා කියන්නේ මම දකින විධියට පුරුෂ සිංහයෙක්. කාලෙකින් පහළ වන යුග පුරුෂයෙක්. මොකද එතුමා පසුගිය කාලය තුළ මෙරට ජන විඥානය වෙනස් කිරීමට ප්‍රබලව කටයුතු කළා. මේ අපි ගෙවන කාලය ඔහු අපට අවශ්‍යම මොහොතක්. මොකද එතුමායි අපියි ගෙනගිය ජාතික ව්‍යාපාරය මේ වන විට අඩපණ වී තිබෙනවා. විදේශික බලවේග අපගේ ව්‍යාපාරය අඩපණ කරලා රට ඔවුන්ගේ යටත් විජිතයක් බවට පත් කරන්න උත්සුක වන කාලයක ඔහු වැනි යුග පුරුෂයෙක් අහිමි වීම විශාල පාඩුවක්.
● ඔබ ඔහු මුලින්ම හඳුනා ගන්නේ කෙසේද?
මම ඔහු මුලින්ම දැන හඳුනාගන්නේ මීට බොහොම ඉස්සර කාලයක කිසියම් සඟරාවකට ඔහු ලියූ ලිපියකින්. ඔහු ඒ ලිපිය ලියා තිබුණේ සම සමාජ පක්ෂයෙන් වෙන් වුණු තිදෙනෙක් හදපු පක්ෂයේ සාමාජිකයකු වශයෙන්. ඒ තිදෙනා තමයි කුමාර් ඩේවිඩ්, වික්‍රමබාහු සහ නලින් ද සිල්වා. ඒ පිලට කිව්වෙ ‘ත්‍රී ඩොක්ටර්ස් පාර්ටි’ කියල. ඔවුන් තිදෙනා පළ කළ සඟරාවට තමයි නලින් ඒ ලිපිය ලියලා තිබුණෙ. ලිපියෙන් ඔහු මගේ ‘අනගාරික ධර්මපාල මාක්ස්වාදීද?’ නම් කෘතියට දැඩි ලෙස පහර දෙනවා. ඔහු එය ඉතාම සාහසික ලෙස විවේචනය කරනවා. අන්න ඒ ලිපිය කියවලා තමයි මම නලින් ද සිල්වා නම් පුද්ගලයා ගැන මුලින්ම දැනගත්තෙ.
ඔහුගේ ලිපිය කියෙව්වාම මට තේරුම් ගියා මං ලියපු පොත එතුමාට තදටම වැදිලා කියල. ඒ වගේම මගේ පොත ඔහු දැරූ සමාජ දේශපාලන දාර්ශනික පදනමට විශාල අභියෝගයක් බවත් මට තේරුම් ගියා. මට දැනුණා ඔහුගේ දාර්ශනික පදනම දැනටම හෙල්ලී ඇති බවත් ඒ හෙල්ලීමට මගේ ලිපිය විශාල වශයෙන් බලපා ඇති බවත්. මට එතනදි හිතුණා ඔහු තමන් දැරූ මාක්ස්වාදී අදහස් අත්හැරලා ළඟදීම ජාතිකවාදී දේශපාලන චින්තනයකට එන බවත්. ඉතින් ඒක ඇත්ත වශයෙන් සිදු වුණා. මං හිතන්නේ මේ සිද්ධිය වුණේ 1970 ගණන්වල.
● ඔහු ජාතික ව්‍යාපාරය පිළිගත් පසු ඒ ස්ථාවරය ආපසු වෙනස් කළේ නැහැ?
ඔහු අවංකව දේශපාලනයේ නියැලුණු කෙනෙක්. ඔහු කවදාවත් දේශපාලනඥයන්ගේ එහෙයියෙක් වුණේ නෑ. ඔහුට මේ රටේ පවත්නා දේශපාලනය ගැනත් දේශපාලනඥයන් ගැනත් තිබුණෙ පිළිකුලක්. එතුමා තමන් දරන මතය නිර්භයව ඉදිරිපත් කරන්න පැකිලුණේ නෑ. කොයි තරම් විරුද්ධවාදියෝ හිටියත් කොයි තරම් සතුරු බලවේග තිබුණත් ඔහු ඒවා තඹ දොයිතුවකටවත් ගණන් ගත්තේ නැහැ. ඒවගේම තමන් දරන මතයක් සංශෝධනය කරගන්න ඕන වුණා නම් ඔහු ඒකටත් පැකිලුණේ නැහැ.
මං දකින විධියට එතුමා ඉතා ඥානවන්තයෙක්. එතුමා ගැන ඒ දවස්වල කතාවක් ගියා ඔහු විශ්වවිද්‍යාල උපාධිය ලබා ගනිද්දී අන්තිම විභාගය පැයකින් ඉවර කරලා කලින්ම විභාග ශාලාවෙන් එළියට ආවාය, ප්‍රතිඵල ආවාම පළවෙනි පන්තියේ සාමාර්ථයක් තිබුණාය කියල. ඒ වගේම සසෙක්ස් යුනිවර්සිටියට ඔහු පී.එච්.ඩී. උපාධිය කරන්න ගියාම ඔහු අවුරුද්දකින් උපාධිය අවසන් කළ බවත් සඳහන් වෙනවා. ඔහු ක්වොන්ටම් භෞතික විද්‍යාව ගැනත් ආසියාවේ ලොකුම බුද්ධිමතෙක්.
● ජාතික චින්තන දේශපාලනය සමාජගත කිරීමේදී ඔහු ඔබ හා අත්වැල් බැඳගත්තා?
මට මතකයි ජාතික චින්තන දේශපාලනය අපි මුලින්ම එළිදැක්වූයේ රත්නපුරයේ නගර ශාලාවේදී. මම එහිදී වැඩිදුර කථා කළේ නෑ. ඒත් නලින් ද සිල්වා ඒ ගැන දීර්ඝ ලෙස කථා කරමින් ඊට දාර්ශනික පදනමක් දුන්නා. ඔහු ඒ දාර්ශනික පදනම ගොඩනැඟුවේ බටහිර දාර්ශනික පදනමට අභියෝගයක් වශයෙන්. එතුමා ඇත්ත වශයෙන් බටහිර දාර්ශනික පදනම සම්පූර්ණයෙන් ප්‍රතික්ෂේප කළා. බටහිර විද්‍යාවත් පට්ටපල් බොරුවක් කියල ඔහු කියන්න වුණා. ඔහු ඒ බව පෙන්වා දෙන්න ‘මගේ ලෝකය’ කියල පොතක් ලිව්වා. ඒත් බටහිර දාර්ශනික පදනම සම්පූර්ණයෙන් ප්‍රතික්ෂේප කිරීම මම අනුමත කරන්නේ නැහැ. ඒත් ඒ ඇසුරින් අලුත් දර්ශනයක් හඳුන්වා දීම පුරෝගාමී කාර්යයක් විධියට සලකන්න පුළුවන්. මොකද අපට හැම විටම පුරුදු කරලා තියෙන්නෙ බටහිරින් එන ඥානය සර්වසම්පූර්ණයි ඒක පිළිගන්න ඕනයි කියල. එතුමා ඒ බටහිර දර්ශනය ප්‍රතික්ෂේප කළා විතරක් නෙවෙයි, මේ රට තුළින්, අපේ අතීතය තුළින් අපට අවශ්‍ය ඥානය සොයාගන්න පුළුවන් කියලත් පෙන්වා දුන්නා.
මට හිතෙනවා එතුමාගේ කාර්යභාරය ගැන මෙහෙම කථා කරලා හරියන්නෙ නෑ. ඒ ගැන පොතක්ම ලියන්න ඕන. මොකද අද ඉන්න තරුණ පරම්පරාව ඔහු ගැනවත් ඔහු වැනි අය ගැනවත් කිසිවක් දන්නෙ නැහැ. ‘77න් පස්සෙ ආපු ජේ.ආර්.ගේ සමාජ ආර්ථික ප්‍රතිපත්ති තමයි ඔවුන් පිළිගන්නෙ.
● නලින් ද සිල්වා ජාතිවාදියකු හැටියටත් ඇතැම් පාර්ශ්ව හුවා දක්වනවා?
සිංහල ජාතිය ගැන කථා කරන ඕනම කෙනකු අද හඳුන්වන්නේ ඔය විධියටනෙ. ඒත් දෙමළ ජාතිය ගැන කථා කරන කිසිවකු ඒ විධියට හඳුන්වන්නේ නැහැ. එතුමාම මේ බව අවබෝධ කරගෙන සිංහලෙනුත් ඉංග්‍රීසියෙනුත් ලිපි ලිව්වා. මට හිතෙනවා මේ වගේ බුද්ධිමතෙක් තව කාලාන්තරයකට අපට පහළ වෙන්නෙ නැහැ කියල.
● ඔබ දෙදෙනාම ජාතික චින්තන දේශපාලනය ඇදහූවත් ඔබත් ඔහුත් අතර පරස්පර විරෝධයනුත් තිබුණා.
ඔව්, සමහර වෙලාවල අපි අතර නොගැළපීම් තිබුණා. මං කලින් කිව්වා වගේ ඔහු බටහිර විද්‍යාව මුළුමනින් ප්‍රතික්ෂේප කළා. ඒත් මං එය පිළිත්තෙ නැහැ. මං කිව්වෙ බටහිර විද්‍යාවෙත් අපට ගත හැකි, ගත යුතු දේවල් තිබුණා කියල. නලින් ද සිල්වා කියන්නෙ දැඩි මතධාරියෙක්. ඒ වගේම ඔහු කවදාවත් දේශපාලන වරප්‍රසාද, වරදාන භාරගත්තෙ නැහැ. භාරගත්තා නම් භාරගත්තෙ බුරුම තානාපති ධුරය විතරයි. ඒකත් මං හිතන්නෙ ඔහු වැඩි කලක් දැරුවේ නැහැ.
● ඔහු ඔබේ හොඳ සාහිත්‍ය රසිකයෙක්?
රසිකයෙක් කියන්නෙ ඔහුට යම්කිසි දෙයක් ගැඹුරින් විශ්ලේෂණය කිරීමේ හැකියාවක් වගේම හොඳ නිර්මාණාත්මක ඥානයකුත් තිබුණා. ඒක මට වැටහුණේ ඒ දවස්වල මගේ ‘අසත්‍ය කතාවක්’ නවකතාව ගැන කොළඹ විශ්වවිද්‍යාලයේ පැවැත්වුණු සම්මන්ත්‍රණයක් අතරතුරයි. මට මතකයි එහිදී දයාන් ජයතිලක වගේ අය කථා කළා. එහිදී තනිකර පොත ගැන කථා කළේ ආචාර්ය නලින් සිල්වායි. එහිදී ඔහු කී දේවල් ඇහුවාම මට පුදුම හිතුණා. ගැඹුරින් වගේම නිර්මාණාත්මක පරිකල්පනය පාවිච්චි කරමින් ඔහු එය විශ්ලේෂණය කළේ. ඔහුට පැහැදිලිවම ප්‍රතිභාවක් තිබුණා. මට මතකයි එදා සම්මන්ත්‍රණයේදී මං කිව්වා ඔබතුමා දේශපාලනය ගැන කථා කරන්න නෙවෙයි වටින්නෙ, සාහිත්‍යය ගැන කථා කරන්නයි කියල. මොකද එතුමාට විශ්ලේෂණ ඥානයක් වගේම නිර්මාණාත්මක ඥානයකුත් තියෙනවා මට පෙනුණා. ඇත්ත වශයෙන් අපට විශ්ලේෂණ ඥානයක් ඇති අය හුඟක් සිටියත් නිර්මාණාත්මක ඥානයක් ඇති අය ඇත්තේ නැහැ.
● ඔබ කියන්නෙ ඔහුට කතාන්දර ගෙතීමේ හැකියාවක් තිබුණු බවද?
ඔව්, ඔහුට නිර්මාණ ශක්තියක් තිබුණා. එවැන්නක් බුද්ධිමතකුට පිහිටන්නේ කලාතුරකින්. අද සාහිත්‍යය, කලාව විචාර කරන අයගෙන් කාටවත් නිර්මාණ ශක්තියක් තියෙනවා මං දකින්නෙ නැහැ.
● වරක් දේශපාලන හේතු මත ඔහුගේ විශ්වවිද්‍යාල කථිකාචාර්ය ධුරය අහෝසි කර දැමෙනවා.
ඔව්. ඒත් ඔහු නෙවෙයි එය තඹ දොයිතුවකට මායිම් කළේ. මට මතකයි ඔහු දිනේශ් ගුණවර්ධනගේ ජාතික ව්‍යාපාරය සමග එකතු වෙලා ඡන්දෙත් ඉල්ලුවා.
● ඔහු අභාවප්‍රාප්ත වන්නේ ඇමෙරිකා එක්සත් ජනපදයේයි. ඔහුගේ දරුදැරියන් ඇමෙරිකාවේ පදිංචිව සිටියා, එම නිසා ඔහුටත් එහි යෑමට සිදු වෙනවා. ඔහු ඔබට උපහාර උළෙලක් පවත්වනවා?
ඔව්. ඒ අවස්ථාවේ ඔහු ලංකාවට ඇවිත් ආපහු ඇමෙරිකාවට යන්න කලින් දවසේ මම ඔහු හමු වෙන්න ගියා. මං එහිදී ඔහු හමුවේ කිව්වා “ඔබ තුමා ඊළඟ පාර එද්දි මං නොහිටින්න පුළුවන්” කියල. ඒක අහලා නලින් කිව්වා “එකෙ අනික් පැත්තත් වෙන්න පුළුවන්” කියල. ඒක හරි පුදුම දෙයක් කියල මට හිතෙනවා.
මෙරට පරිසරය ගැනත් ඔහු සංවාදගත වුණා. ‘80 ගණන්වල අග භාගයේ හා ‘90 ගණන්වල මුල ‘විදුසර’ පුවත්පත හරහා ඔහු උද්යෝගිමත් සංවාදයක නියුතු වුණා. ආචාර්ය අලවත්තාගොඩ පේමදාස, සපුමල් සේනානායක නමින් ලියූ චම්පික රණවකත් ඒ සංවාදයට සහභාගි වෙනවා?
බටහිර ඥානය අතරින් ඔහුගේ සැලකිල්ලට යොමු වූ තව පැත්තක් තමයි පරිසර විද්‍යාව. ඔහු එමගින් දේශීය පරිසර ඥානයක් ගේන්න උත්සුක වුණා.
මට මතකයි 13 වෙනි සංශෝධනය ඇති කරන්නයි කොටි එක්ක සාම සාකච්ඡා පවත්වන්නයි චන්ද්‍රිකා ආණ්ඩුව සූදානම් වෙද්දි මාත් නලිනුත් එස්. එල්. ගුණසේකරත් බෙංගමුවේ නාලක හාමුදුරුවොත් පියසේන දිසානායක වැනි අයත් එකතු වෙලා රට පුරා රැස්වීම් පවත්වමින් සංචාරයේ නියුතු වුණා. එහිදී එක රැස්වීමක් පැවැත්වුණේ අනුරාධපුරයේ. එදා වේදිකාවේ හත් අට දෙනෙක් සිටියා. හැබැයි ප්‍රේක්ෂකාගාරයේ සිටියේ ඊට වඩා අඩු ගණනක්. ඒත් ප්‍රේක්ෂකයෝ අඩු වුණා කියල නලින් බිංදුවක්වත් අධෛර්ය වුණේ නැහැ. ප්‍රේක්ෂකයෝ දාහකට අමතනවා වගේ කථා කළා. ඔය වගේ සිද්ධි මට මතකයි.
● එස්. එල්. ගුණසේකරත් නලින් ද සිල්වා වැනිම දැඩි මතධාරියෙක්. ඔවුන්ගේ අඩුව ජාතික ව්‍යාපාරයේ ඉදිරියට කෙසේ බලපා යැයි ඔබ හිතනවාද?
ඇත්ත වශයෙන් එය බරපතළ පාඩුවක්. අධිනීතිඥ එස්.එල්. ගුණසේකරත් නලින් ද සිල්වා වැනිම ජාතික ව්‍යාපාරයේ ප්‍රබල ක්‍රියාකාරිකයෙක්. ඔවුන්ගේ හිඩැස කොහොමටවත් මකන්න බැහැ. හෙට අනිද්දා මාත් නැති වුණාම ජාතික ව්‍යාපාරය කොහොම ඉස්සරහට යයිද කියල මං දන්නෙ නැහැ. මොකද අද ජාතිකත්වය ගැන කථා කරන කිසිවෙක් නැහැ. ඒ වගේම මටත් දැන් වැඩ කරන්න අමාරුයි. දැන් මං පොතක් ලියාගෙන යනවා සභ්‍යත්ව රාජ්‍යය ගොඩනගන්නෙ කොහොමද කියල. ඒකත් ලියන්න දැන් මට අමාරුයි. මැරෙන්න කලින් ඒක ලියන්න ඕන කියල විතරයි මං ලියන්නෙ.
● ඔබ කිව්වා මහාචාර්ය නලින් දිනේශ් ගුණවර්ධනගේ ජාතික ව්‍යාපාරයෙන් ඡන්දෙට ඉදිරිපත් වුණා කියල. ඒත් රාජපක්ෂ පාලන සමයේ ඔහුට ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට යෑමේ අවස්ථාවක් තිබුණා?
ඔව්. ඊට ඔහුට අවස්ථාවක් තිබුණා. ඒත් ඒ වෙද්දි ඔහුට මෙරට දේශපාලන පක්ෂ ගැනත් දේශපාලනඥයන් ගැනත් හොඳටම කලකිරී තිබුණා. ඔහු අන්තිම කාලයේ බැසිල් රාජපක්ෂව දැඩිව විවේචනය කළා. ඔහු බැසිල්ව හැඳින්වූයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විනාශ කරපු පුද්ගලයෙක් හැටියට.
● නලින් ද සිල්වා කෙතරම් දැඩි මතධාරියකු වුවත් මනුෂ්‍යත්වය ඉහළින් තිබූ අයකු බවත් පැවසෙනවා?
ඒක ඇත්ත. මං හොඳටම දන්නවා ඔහු දන්නා හඳුනන කවුරු මැරුණත් ඔහු අනිවාර්යෙන් ඒ මළගෙදරට සහභාගි වුණා. අනෙක් අතට මං වෙනුවෙන් ඔහු මැදිහත් වෙලා උපහාර උත්සවයක් පැවැත්වූයේ ඔහු වෙනුවෙන් කිසිවක් කරන්න කවුරුවත් ඉදිරිපත් නොවූ තැනක ඉඳගෙන. ඔහුට මං කරපු කියපු දේ තුළ යම් වැදගත්කමක් පේන්න ඇති. ඔහු මමත්වය නැති කරගෙන මං වෙනුවෙන් පෙනී සිටියා.
● ඔබේ නවකතා, කෙටිකතා විචාරයේදී ඔහු මූලික මිනුම් දඬුව කරගත්තේ ඉන් කථා කරන දේශපාලනයයි. ප්‍රබන්ධ කතාවක් විචාරයට එහි දේශපාලනය යෝග්‍ය මිනුමක් යැයි ඔබ හිතනවාද?
ඔව්. නවකතාව කියන්නෙ සමාජ දේශපාලනයේ උත්තර සංවාදයයි.
● රස නිෂ්පත්තිය, චමත්කාර ජනනය එහිදී නොසැලකිය යුතු අංගද?
ඒවා සාහිත්‍ය කලාවේ කොටස්නෙ. ප්‍රබන්ධ කතාවක එවැනි කතා කලා අංග තියෙන්න ඕන. ඒත් එහි ප්‍රධාන දේ කෘතියෙන් දෙන පණිවුඩයයි. අනෙක කතාකරුවා දෙන පණිවුඩයත් අනිවාර්යෙන් දේශපාලන පණිවුඩයක් විය යුතුයි. නැත්නම් කෘතියේ ඇති හරයක් නැහැ. ඒ වගේම එහිදී දෙන පණිවුඩය මොකක්ද කියල සෙවීමත් අප කළ යුතුයි. දැන් පියදාස සිරිසේන නවකතා කලාව දැනගෙන සිටියේ නැහැ. ඒත් ඔහු නවකතාවලින් දෙන දර්ශනය ඉතා වැදගත්. ජාතියක් නැඟිටවීම සඳහා ඔහු ඉදිරිපත් කළ දර්ශනය ඉතා වැදගත්. මේ දේ සරච්චන්ද්‍රට වැටහුණේ නැහැ. ඔහු පියදාස සිරිසේන නොවැදගත් නවකතාකාරයෙක් කියල හැඳින්වූවාට ඔහු ඉතා වැදගත් නවකතාකරුවෙක්. මේ දේ නලින් ද සිල්වාත් පෙන්වා දීලා තියෙනවා.
නලින් ද සිල්වා පියදාස සිරිසේනගේ චරිතත් මාර්ටින් වික්‍රමසිංහගේ ‘ගම්පෙරළියේ’ චරිතත් අරගෙන සංයුක්ත හා වියුක්ත වශයෙන් චරිත බෙදීමක් කරනවා. ඒ තුළ ඔහු පියදාස සිරිසේනගේ ප්‍රබන්ධ වික්‍රමසිංහගේ ප්‍රබන්ධවලට වඩා ඉහළින් තබනවා.
මං කියන්නෙ ඕනම විචාරකයකු අතින් යම් යම් අඩුපාඩු වෙන්න පුළුවන්. ඒත් වැදගත් වෙන්නෙ ඔහු සමාජය හමුවේ තැබූ දේයි. ඒ අතිනුයි නලින් ද සිල්වා යුගයක් වෙනස් කරන්න කටයුතු කළ යුග පුරුෂයෙක් වෙන්නෙ.
● මහාචාර්ය නලින් හා එක්ස් කණ්ඩායම අතරත් වාද විවාද පැවැත්වුණා. එක්ස් කණ්ඩායම පශ්චාත් නූතනවාදය ගැන යම් යම් මතවාද ඉදිරිපත් කරද්දි නලින් ඊට ප්‍රතිචාර පෑවේ ඊට අදාළ සියලු පොත්පත් කියවායි. ඔහු එක්ස් කණ්ඩායම උපුටා දැක්වූ ෂාක් ඩෙරීඩාගේ කෘති පවා කියවා ඇති බව ඔහු ලියූ දෑ කියවන විට පේනවා?
ඔහු යමක් ලිව්වේ ඒ ගැන හොඳට කියවා හදාරලයි. ඔහුට ඉංග්‍රීසි භාෂාවේ හසලත්වයකුත් තිබුණා. ඒත් ඔහු තමාගේ පාණ්ඩිත්‍යයවත් මහාචාර්යකමවත් ආභරණයක් කරගත්තෙ නැහැ.
● ඔහු ‘දිවයින’ පුවත්පතටත් ‘අයිලන්ඩ්’ පුවත්පතටත් අවුරුදු විස්සකට වැඩි කාලයක් තීරු ලිපි ලියනවා. එතරම් කාලයක් තීරු ලිපියක් ලිවීම ඉතා දුෂ්කර කාර්යයක්?
ඇත්ත වශයෙන් එය අමාරු කාර්යයක්. අනෙක් අතට ඔහු පසුගිය කාලයේ ඇමෙරිකාවේ සිටියත් සමාජ මාධ්‍ය ඔස්සේ සතිපතා තීරු ලිපි සහ වෙනත් විශ්ලේෂණ ලිපි ලිව්වා. ඔහු ගතින් එතෙර සිටියත් මනසින් සිටියේ මෙතෙරයි කියල මට හිතෙනවා.
● ජාතික දහරාවේ වියතුන් ගැන ඇතැමුන් නඟන චෝදනාවක් තමයි ඔවුන් රට, ජාතිය ගැන උද්වේගකරව කථා කළත් ඔවුන් ඉගෙනගෙන ඇත්තේත් ඔවුන්ගේ දරුදැරියන් ඉගෙන ගන්නේත් පිටරට බව. ඒ ගැන ඔබේ අදහස කුමක්ද?
ඒක වෙන්න පුළුවන්. ඒත් ඒකෙ වරද මොකක්ද? අපි දරන දේශපාලනයට අපේ ළමයි කැප කරන්න ඕනද? මට මතකයි හරිශ්චන්ද්‍ර විජේතුංග භූමි පුත්‍ර සංවිධානය හදලා කොටින්ට විරුද්ධව කථා කරද්දි මිනිස්සු කිව්වා “කෝ තමුන්නාන්සේගේ පුතා? එයාට කියන්න යුද්දෙට බැහැලා සටන් කරන්න කියල.” එහෙම චෝදනාවක් ආවේ ඔහුගේ පුතාත් ඒ විධියට පිටරට අධ්‍යාපනය ලබමින් සිටිද්දි. ඒ වෙලාවේ හරිශ්චන්ද්‍ර විජේතුංග කිව්වෙ “පුතා මොකටද? මං ඉන්නවා සටන් කරන්න” කියල. මටත් කියන්න තියෙන්නෙ ඒක.
සාකච්ඡා කළේ: