තාත්තා සංගීත සාජ්ජවල තබ්ලා වාදනය කරනු පුංචි පුතා බලා සිටියේ විශ්මයෙනි.
පොඩි අප්පුහාමිගේ අත් දෙක බලන් ඉන්න ආසයි. හරියට මැෂින් එකක් වගෙයි කවුදෝ තව කෙනකුගේ කනට කියනු පුංචි පුතාට ඇසුණි. පුංචි පුතාට ලොකු ආඩම්බරයක් සිතුණි. &මම කොහොමහරි තබ්ලාව ඉගෙනගෙන තාත්තා වගේ මැෂින් එකක් වෙනවා* ඔහුගේ පුංචි සිතට නැගුණේය
ගෙදරට එන රෑපසිංහ, එඩී, ගවුස්, සාදිරිස් ආදී සංගීත මාස්ටර්ලාගේ ආශිර්වාදය පුංචි පුතාට ලැබුණේ හත් හැවිරිදි මේ දරුවා තම පියාගේ තබ්ලාවෙන් තාල අල්ලනවා දැකීමෙනි. ඒ ආශිර්වාදයෙන් දක්ෂ තබ්ලා වාදකයෙක් වගේම දක්ෂ සම්මානනීය ගායකයකු ලෙස ඔහු දස්කම් පාන විට ඔහුගේ පියා වූ පොඩි අප්පුහාමි ජීවතුන් අතර නොසිටියේය
මේ ගායකයා ජේ. ඒ. මිල්ටන් පෙරේරාය.
1936 මැයි 04 වැනිදා කොළඹ කොටහේනේ නිල් වීදියේ උපන් ජයසිංහ ආරච්චිගේ මිල්ටන් පෙරේරාගේ දෙමාපියන් වූයේ ජේ. ඒ. එඩ්වින් පෙරේරා (ඔහු කලා ලෝකය හඳුනන්නේ තබ්ලා පොඩි අප්පුහාමි මාස්ටර් නමිනි) හා ප්‍රේමා වික්‍රමාරච්චිය.
මේ ලියුම්කරුට %සරසවිය^ පුවත්පතේ සේවය කරන කාලයේ එනම් 1969 වසරේ මිල්ටන් හඳුනාගන්නට ලැබෙන්නේ කොටහේනේ සිනමාස් සමාගමේ චිත්‍රපට සඟරාව වූ %කලා^හි සංස්කාරක ආරියරත්න කහවිටගේ මාර්ගයෙනි. මිල්ටන් හා මාද කොටහේනේ සමීපව උපන් අය නිසා අපේ මිත්‍රත්වය දැඩි විය. ඔහු සමඟ කළ බොහෝ කතාබහෙන් තම අතීත සිද්ධි වරින්වර දැනගන්නට ලැබිණි.
මම සංගීතයට විශේෂයෙන් තබ්ලා වාදනයට ඇල්මක් තිබෙන බව දැකගත් රෑපසිංහ මාස්ටර් මට සංගීතයේ මුල් පාඩම කියා දුන්නා. හැබැයි එක පොරොන්දුවක් පිට.
පුතා සංගීතය නිසා ඉස්කෝලෙ වැඩ අතපසු කරන්නේ නෑ කියලා මට පොරොන්දු වෙන්න. නැත්නම් පොඩි අප්පුහාමිගෙන් මට වගපල අහන්න වෙයි. මම පොරොන්දු වුණා. රෑපසිංහ මාස්ටර් මාතර ඉඳලා කොළඹ ආවම නවතින්නේ අපේ ගෙදර.
කොටහේනේ මධ්‍ය මහා විද්‍යාලය (එදා නිල් වීදියේ විද්‍යාලය) මූලික අධ්‍යාපනය ලැබූ මිල්ටන් වයස අවුරුදු 10දී ගායකයකු ලෙස පාසලේ කැපී පෙනුණේය. ඔහු වයස අවුරුදු 13දී ගුවන් විදුලියේ ළමා පිටිය වැඩසටහනේ තබ්ලා වාදනය කොට ඇත.
පුතාගේ සංගීත පිස්සුව සුව කළ හැකි එකක් නොවන බව දුටු පියා ඔහුගේ සිත වෙනස් කිරීමට ගම්පහ ලෝරන්ස් විද්‍යාලයට මිල්ටන් ඇතුළත් කළත් ඔහුට තිබුණ සංගීත පිස්සුව සුව කිරීමට බැරිවිය. ඉන්පසු අන්තිම උත්සාහයත් ගෙන දෙමාපියෝ ඔහු මහනුවර පාසලකට යැවූහ. එය පනින රිලවුන්ට ඉනිමං බැඳීමක් විය. මහනුවර ගිය මිල්ටන්ගේ සිත ගියේ නුවර වේස්පාක්හි පැවැත්වූ පුංචි සංගීත සංදර්ශන වෙතය. මේ ප්‍රසංගවල පුංචි ගායකයාට තැනක් ලැබිණි. මිල්ටන් නුවර කොළු කෙල්ලන් අතර ඉතා ඉක්මනින් ජනප්‍රිය විය.
මගේ ප්‍රියතම හින්දි ගායකයා තලාද් මොහොමුද්. මගේ දෛවය කියන්නේ 1954දී රාජ් කපූර්, නර්ගීස් තලාද ඇතුළු නළු නිළි කණ්ඩායම ලංකාවට ආ වෙලේ ඒ අයගේ නැටුම්වලටත් තාලාද් මොහොමුද්ගේ ගායනවලටත් මම තබ්ලාව වාදනය කිරීමට ලැබුණා. එතකොට මගේ වයස අවුරුදු 14ක් විතර ඇති. තලාද් ගීත ගයලා වේදිකාවෙන් බහිනවිට මගේ ඔළුව අත ගෑවා. ඒ කාලේ කොළඹ පුභූන්ගේ මගුල් ගෙවල්වල, විශේෂ උත්සවවල පැවැත්වෙන බජන්වල මමත් ඩොල්කි වාදනය කළා. එදා සර්පිනාව වාදනය කළේ මොහොමද් සාලි. ක්ලැරිනට් වාදනය කළේ ටී. ඇෆ්. ලතීෆ්. ඉංග්‍රීසි මැන්ඩලීනය වාදනය කළේ ගුණදාස වේරගොඩ හා ඇන්තනී සාමි. වයලීන් වාදකයා එම්. කේ. රොක්සාමි. ගිටාර් වාදකයා පැට්රික් දෙණිපිටිය. තබ්ලා වාදකයා ඇම්. ආරියදාස. ඩොල්කි වාදනය කළේ ජීර් මොහොමඩ් හා මම.* මිල්ටන් අතීතය මතක් කළේය.
ඩොලැක් වාදකයකු ලෙස මිල්ටන්ට පුංචි ප්‍රසිද්ධියක් තිබුණි. දිනක් ප්‍රසංගයක ගීත ගැයීමට පැමිණි ගායක එච්. ආර්. ජෝතිපාල මිල්ටන්ට මෙසේ කීය.
මචං උඹ හැමදාම ඩොලැක් ගහලා හරියන්නේ නැහැ. උඹට හොඳ හඬක් තියෙනවා. උඹ සින්දු කියපන්
මිල්ටන් හා ජෝති හොඳ මිතුරන් වූයේ මේ අතරේය. එදා සිට ජෝතිපාල මියයන තෙක්ම එය පැවතිණි.
දිනක් මිල්ටන් තලාද් මොහොමඩ්ගේ ගීතයක් ගයනු අසා සිටි පියා කීවේ පුතා උඹ ඒ සින්දුවට ආසනම් ඒකට සිංහල වචන දාලා කියමු* කියාය. මේ වනවිට මිල්ටන් ගුවන් විදුලියේ සරල ගී පරීක්ෂණයෙන් ඒ ශ්‍රේණියෙන් සමත් වී තිබුණි. තමාගේ මුල්ම සරල ගී වැඩසටහනෙන් එය ගැයීමට සිතා හිතවතකු වූ ගීත රචක ඇලෝයි ගුණවර්ධන සොයා ගියේය.
ඇලෝයි, තලාද් කියන මේ සින්දුවට වචන දාමුද? හැබැයි පිය ගුණ ගීතයක් ඕනෑ. තාත්තා මේ සින්දුව රේඩියෝ එකෙන් ඇහුවොත් හුඟක් සතුටු වෙයි. ලබන සතියේ රේඩියෝ සිලෝන් එකේ සරල ගීවලින් මම කියන්න ඉන්නේ.
ඇලෝයි ඉතා සතුටින් ගීතය ලියා දුන්නේය.
සරල ගී ගුවනින් ප්‍රචාරය වීමට දවස් පහකට පෙර පියා මියයාම මිල්ටන්ට දරාගත නොහැකි සිද්ධියකි. 1956 වෙළෙඳ ගුවන් විදුලියේ සරල ගී පරීක්ෂණයෙන් සමත් වූ පසු ගැයූ මුල්ම ගීතය රචනා කළේ ඇලෝයි ගුණවර්ධන විසිනි. එකල ජනප්‍රිය හින්දි චිත්‍රපටයක් වූ නායදෝර්හි ඕ. පී. නයියාර්ගේ සංගීතයට මොහොමඩ් රාෆි ගැයූ ගීතයේ තනුවට ඇලොයි රචනා කළ මේ ගීතය එදා මෙන්ම අදත් ජනප්‍රියය.
ආලෙහි වැදී ජීවිත
අඳුරෙහි ගැලේවී
හැමදාම ලොවේ නෑ සැප
සෝකේම සදා දේ
මේ කාලයේ මිල්ටන් ගැයූ ගීත අතර සැමදාම ලොවේ නෑ සැප සෝකේම සදා වී අහන්න මගෙ හොඳ පුංචි පුතේ නෙලන්න බැරි මල් අතු අග මොටද පිපෙන්නේ බැලුවේ නෑනේ මගේ දිහා අත් වැල කැඩුණට පස්සේ කැපී පෙනුණි.
මිල්ටන් චිත්‍රපට පසුබිම් ගායකයකු ලෙස දොරට වැඩියේ කුරුලු බැද්ද චිත්‍රපටයෙනි. මේ චිත්‍රපටයේ සංගීත අධ්‍යක්ෂක ආර්. මුත්තුසාමිට අලුත් කටහඬක් හඳුන්වා දීමට අවශ්‍ය විය. ඔහුගේ සිතට එකවරම ආවේ වෙළෙඳ සේවයේ ජනප්‍රිය නැගී එන ගායකයකු වූ මිල්ටන්ගේ හඬය. කරුණාරත්න අබේසේකර රචනා කළ මේ ගීතය මිල්ටන්ගේ හැරවුම් ලක්ෂය විය.
අරුණ උදයේ පිපෙන මල සේ
විවිධ මැලිකම් දුරුරලා
මුහුණ දොවලා මිදුල පිසදා
දෙගුරු කුල දෙවි නැමදලා
ජෝතිපාල සහ මිල්ටන් අතර තිබුණේ එක කුස උපන් සහෝදරයන් වැනි මිත්‍රත්වයකි. 1959 මේ දෙදෙනා ගුවන් විදුලියේ වෙළෙඳ සේවයෙන් ගීතයෙන් කළ %අනංගවාදය^ එදා අතිශය ජනප්‍රිය විය. මාතෘකාව %අනංගයා^ය. ජෝතිපාල ගීත රචක කරුණාරත්න අබේසේකර හමුවීමට ඔහුගේ නිවසට ගියේය. කරු ගෙදර නොසිටියේය. ඔහුගේ සොහොයුරු ගුණරත්න අබේසේකර ළඟට ගිය ජෝතිපාල ගීතයක් ලියන්නැයි කියාල හින්දි ගීතයක් මිමිණුවේය. ගුණරත්න ඒ තාලයට මේ වචන ලීවේය.
අනංගයා මං අනංගයා
ආදරේ ප්‍රේමයේ
සුරලොව තනතුරු දැරී අනංගයා
ජෝතිපාල එළියට බසිත්ම කරුගේ රිය පැමිණියේය. ගුණරත්න ලියූ සින්දුව ජෝතිපාල කරුට පෙන්වන විට මිල්ටන් ද එහි පැමිණියේය.
ගුරු මම ආවේ අලුත් සින්දුවක් ලියාගන්නට. මිල්ටන් ගුරු යැයි අමතන කරුට කීය.
මේ වනවිට ජෝතිපාල කරුගෙන් සමුගෙන ගොස්ය.
මිල්ටන් අපේ ගුණරත්න මල්ලී අනංගයාව වර්ණනා කරලා ජෝතිට සින්දුවක් ලියලා. අපි ඕකට උත්තරයක් ලියමු. කරු කීවේය.
ගුරු.. මරු අදහස
මිල්ටන්ව අසුනක හිඳවා කරු මේ ගීතයට මිල්ටන්ට පිළිතුරු ගීයක් ලියා දුන්නේය.
සුපෙම් ලොවේ සුපුන් සරා මල්සරා
ඔය අනංගයා තමයි මහා පෙම් හොරා
මේ ගීතයත් ජනප්‍රිය වූ අතර ගුණරත්න විසින් ජෝතිපාලට පිළිතුරක් ලියා දුන්නේය.
පෙම්වතුන්ට සරණේ අනංගයා මමනේ
පෙම් සටනින් පැරදී දොස් නැගීම වැරදී
අනංගවාදය උණුසුම් විය. කරු තවත් පිළිතුරක් ජෝතිපාලට ලියා දුන්නේය.
අනංගයා සරණේ
පෙම්වතුන්ගේ මරණේ
තරුණ තරුණියන්ට නොමැත
දෙවියනේ රුකවරණේ
ජෝතිපාලගේ ඒ පිළිතුර නිසා සුවහසක් ගුවන් විදුලි ශ්‍රාවකයන් සිතුවේ තම කැමතිම ජනප්‍රිය ගායකයන් දෙදෙනා ඇත්තටම තරහා වී ඇති බවකි. සමහරු හිතුවේ කරුණාරත්න හා ගුණරත්න ඇත්තටම තරහා වී ඇති බවය. පාඨක උණුසුම හා අධික තැපැල්පත්වලින් කියවුණේ අනංගවාදය නතර කරන ලෙසය.
අන්තිමේදී ගුණරත්න ලියූ මේ අවසාන ගීතය ජෝතිපාල හා මිල්ටන් ගැයූ පසු රසිකයෝ සැනසුම් සුසුම් හෙළු බව තැපැල්වලින් පැහැදිලි විය. මේ ඒ ගීතයයි.
මිල්ටන් – අපි සන්තෝසෙන් ඉන්නේ
දුක සෝකය නෑ දන්නේ
අයියා මල්ලී වාගේ අයියා මල්ලී…
ජෝතිපාල – එක හැලියේ බත් කන්නේ
එක සෙවණේ නිදියන්නේ
අයියා මල්ලී වාගේ අයියා මල්ලී
මේ ගීතය කොතරම් ජනප්‍රිය වූයේද යත් එදා පිටකොටුවේ එළවළු මාර්කට් එක අසළ පැවැත්වූ සංගීත සංදර්ශනයකදී මිල්ටන්ට හා ජෝතිපාලට ඒ යුග ගීය ගයන්නැයි මහ ජන ගංඟාව කළබල කර ඇත. මේ ගීතයම ඇසීමට පැමිණි ජන ගංඟාව උතුරා ගොස් වහළ උඩට වී බලනවිට වහළ බිමට කඩා වැටී බොහෝ දෙනකුට තුවාල වූ බව එකල කලා, ලංකා චලන චිත්‍ර^ සඟරාවල පළ වී තිබුණි.
එකල මිල්ටන් සමඟ යුග ගී ගැයූ ලතා දිසානායකගේ මේ ගීතය ගුවන් විදුලියෙන් අතිශයින් ජනප්‍රිය වී ඇත.
සඳ කිරණ පැලට ඔබේ එළිය වැටෙනවා
මේ ගීතය මෙන්ම මිල්ටන් ගැයූ කොමළ ළඳේ ටිකිරි ලියා, බුදු සාදු දෙසූ, පුංචි කාලෙදි එක ගමේ, මම පියඹලා අහසේ (සුජාතා පෙරේරා අත්තනායක) සමඟ ගැයූ %සුදු නෙළුම් මලක්^ වැනි ගීත රචනා කර ඇත්තේ විමලදාස පෙරේරා විසිනි.
විමලදාස පෙරේරාට මිල්ටන් වරක් හමුවී ඇත්තේ තිඹිරිගස්යායේ ජානකී හෝටලයේ විවාහ උළෙලකදී බවත් තමා එහි ගියේ කරාටේ උපදේශක ජී. ඒ. ටී. ලිවේරා සමඟ බවත් පවසා තිබේ. %කඳුළු සලා නංගී^ ගීතය ගයා විමලදාස සිටින තැනට ආ විට ලිවේරා කියා ඇත්තේ &මට ආසයි මිල්ටන්ගේ ලස්සන ගීත දාලා ටෙලිනාට්‍යයක් කරන්න
එබසට මිල්ටන් සිනාසෙමින් කියා ඇත්තේ කරන්න කරන්න සින්දු කියන්න විතරක් නෙවෙයි කරාටේ සටන් කරන්න වුණත් මම එන්නම් කියාය
මේ සිද්ධිය ආනන්ද පද්මසිරි විසින් %සරසි^ පුවත්පතට (1992) ලියා තිබුණි.
1962 අප්‍රේල් 07 වැනිදා ගුවන් විදුලි සංස්ථාව අසල මාර ගස් සෙවණේ ගීත රචක කරුණාරත්න අබේසේකරගේ ඕපල් වර්ගයේ මෝටර් රථය නතර කර තිබුණි. මිල්ටන් හති දාගෙන දුවවිත් උතුරා යන හදවතින් යුතුව කරුගේ කනට කොඳුරා යමක් කීවේය. තම ආදරණීය බිරිඳට පුතෙකු ලැබුණු බව කී විට ඔහු මිල්ටන් බදාගෙන සුබ පැතුවේය. කරු මිල්ටන් සමඟ සිඟිත්තා බැලීමට ගොස් මේ ගීතය ලියා දුන්නේය.
ප්‍රියංකර පුතේ හිනැහෙන මුහුණ බල බලා
සුරංගනාවෝ ඔබ ළඟ සිටිති තෙරපිලා
ප්‍රියංකර පෙරේරාට නම තැබුවේ කරුය. ගායකයකු හා රංගවේදියකු ලෙස ප්‍රියංකර දිගු ගමනක් යයි. ප්‍රියංකරගේ මව වූයේ මාලා හේමලතාය. මිල්ටන්ට වැඩි ගීත ගණනක් රචනා කර ඇත්තේ කරුය. කරුට ඔහු කතා කළේ %ගුරු^ යන ආදර නාමයෙනි.
මගේ ගුරුට මම හැමදාම ණය ගැතියි.* මිල්ටන් කෘතගුණ පූර්ණව කියා තිබේ.
1966 සරසවි සම්මාන උළෙලේදී පාඨක ඡන්දයෙන් ප්‍රියතම ගායකයා ලෙස මිල්ටන් පෙරේරා සම්මාන දිනූ අතර එම වසරේම පැවති වෝග් ජුවලර්ස් අනුග්‍රහය දක්වූ ගුවන් විදුලියේ වෙළෙඳ අංශය සංවිධානය කළ සවර්ණ සංඛ සම්මාන උළෙලේදී ජනප්‍රිය ගායකයා ලෙස මිල්ටන් සම්මානයෙන් පුද ලැබීය. මුල් සම්මානය හිමි වූයේ සාරවිට චිත්‍රපටයේ සිරිසාර බුලත් විට කාලා බලන් ගීතය සඳහාය. දෙවැනි සම්මානය හිමි වූයේ සිඟිති සුරතල් චිත්‍රපටයේ ඔහු ගැයූ නිදහස් කාහල නාදය රුව් දේ ගීතය සඳහාය. මේ ගීත දෙකේ මුල් පද පේලි මෙසේය.
සිරි සාර බුලත් විට කාලා බලන්
හොඳ නංගී වරෙන් පොඩි මල්ලී වරෙන්
කට සුවඳ කරයි දත් පණුවෝ නොකයි
සිරි සාර බුලත් විට කාලා බලන්
(සාරවිට)
නිදහස් කාහල නාදය රුව්දේ හෙළදිව අඹර පුරා
සිරිලක් රුජිණිය වැජඹෙයි දියුණුවෙ මිණිමුතු කිරුළු දරා^
(සිඟිති සුරතල්)
චිත්‍රපට පසුබිම් ගායකයකු ලෙස මිල්ටන් කැපී පෙනුණේ හැට දශකයේය. අදට වැඩිය හෙට හොඳයි චිත්‍රපටයේ ඔහු මල්ලිකා කහවිට සමඟ ගැයූ,
සඳුන් ගසේ සමන් වැලක් එතෙන්නේ
නදුන් වනේ සිහිල් සුවය සොයන්නේ
මේ ගීතයත් ධීවරයෝ චිත්‍රපටයට ගැයූ
අගාධ සාගරයේ ඈත දියේ බිලි බෑමි
අනන්ත බාධක මැද සුව සේ වෙරළට ආමි
යටගිය දවස^ චිත්‍රපටයට මල්ලිකා කහවිට සමඟ ගැයූ,
විනෝද වෙන්න විනෝද වෙන්න
මේ වගේ තැනක් හම්බවෙන්නෙ නෑනේ
හිතේ තියෙන සන්තෝසය කාටද ඕනේ ඉතා ජනප්‍රිය විය.
මිල්ටන් සතර මහා නිධානය^ චිත්‍රපටයට ගැයූ ගීයකින් බොහෝදෙනා ගව මස් කෑමෙන් වැළකී සිටි බව ඔබ අසා තිබුණාද? කරු ලියූ මේ ගීතය එකල (1965) පන්සල්වල, පින්කම්වල, වෙසක් උත්සවවල අනිවාර්යයෙන්ම වාදනය වූ ජනප්‍රිය ගීයක් ලෙස වාර්තා වේ.
උම්බෑ කිය කියා මරණ බයේ
කිරි ටික මුලදි බොයි
පස්සේ මරා කයි
මිනිසා දරුණු ඇයි
මේ එළදෙන අසයි
අල්ලපු ගෙදර චිත්‍රපටයට ගැයූ මේ පිපාසිත ලෝ තලේ, මහ ඝන වනන්තරේ, සොබා අලංකාරේ මූණේ, සිහින හතක් චිත්‍රපටයට සුජාතා පෙරේරා අත්තනායක සමඟ ගැයූ සුපුන් සඳක් නැගීලා, කිරි බැබලෙන පාරුවේ මිල්ටන් ගැයූ ජනප්‍රිය ගීය. මිල්ටන් හා ජෝතිපාල ගැයූ එකමුතු වී අපි පෙරටම ආවා දුක නැති වේවා ගීතය සමාජේ අපි ඔක්කොම සමානයි චිත්‍රපටයට ගැයූවත් එය ජනප්‍රිය වී නැත. සිකුරුලියා චිත්‍රපටයට මිල්ටන් ගැයූ සිකුරුලියා බොළඳලියා මාව දමා යන්න ගියා ගීතය අදත් අමරණීයව වැජඹෙයි.
ඒ අතර මිල්ටන් ගැයූ සරල ගී රැසක් ගුවන් විදුලියේ වෙළෙඳ සේවයෙන් ජනප්‍රිය විය. සඳුන් ගසක එති සමන් ලතාවක මල් පරවී යනවා, පොඩි කාලේ අපි දෙන්නා සුදු වැලි පාරේ, කල්‍යාණියේ ඔබ නෑසූ කතාවක් කියන්නම්, සිහින දෙව්දුවේ ඔබට තුන් ලොවේ, ජීව වේදනා හදේ නැගෙන මගේ, කල්‍යාණියේ මංගලම් ඒ ගීත අතර සුවිශේෂීය.
මිල්ටන්, ජෝති හා ෂෙල්ටන් පෙරේරා (ගායක) හොඳ මිතුරෝ වූහ. ජෝති මිය යනවිට බලවත් සේ රෝගාතුරව රෝහල් ගතවී සිටි මිල්ටන් වෛද්‍ය උපදෙස් නොතකා බලෙන්ම ටිකට් කපාගෙන ජෝති බැලීමට ගියේය. ඔහු ඉකි ගසමින් අවසන් ගමන් යනතුරු ජෝතිගේ දෙන ළඟ සිටියේය.
ආදරයේ විරහව ගීතයට තුරුළු කළ මිල්ටන් 1991 ඔක්තෝබර් 24 වැනිදා ගීත ලොවිනුත්, ජීවිතයෙනුත් සමුගත්තේය.
ප්‍රියංකර මෙන්ම කල්‍යාණිගේ පුතුන් අතරින් මිල්ටන් මෙන් ගී ගයන්නේ චලක චමුපති පමණි. සිංහල සංගීත ලෝකයේ කඳුළු බිඳුව මිල්ටන්ය. &ඇයි මිල්ටන් අයියේ ඔයතරම් දුක හිතෙන අපේ පපුව පැලෙන සින්දු කියන්නේ* කෙල්ලන් කොල්ලන් කොතෙක් තැපැල්පත් එවා තිබේද? ඒවා තවමත් හිස් අහසේ සැරිසරයි.
(මෙහි එන ගීත මහාචාර්ය සුනිල් ආරියරත්නගේ සිංහල චිත්‍රපට ගීතාවලිය කෘතියෙන් උපුටාගන්නා ලදි.)