“මගේ ශෛලිය! ඔබට එය සටන් නොකර සටන් කිරීමේ කලාව ලෙස හැඳින්විය හැකිය”
වරක් ඔහුගේ සටන් කලා ආර පිළිබඳ විමසූ විට බෲස් ලී ලබා දුන්නේ එවැනි පිළිතුරකි. 1940 නොවැම්බර් 27 ඇමරිකාවේ කැලිෆෝනියා ප්රාන්තයේ සැන් ෆ්රැන්සිස්කෝහි චයිනා ටවුන්හි ඉපදෙන බෲස් ලිී 1973 වයස තිස්තුනේදී පමණ තම ජීවන චාරිකාව නිමකළද ඔහු ලෝකයට කළ බලපෑම ඉතා විශාල එකක් බව අමුතුවෙන් සඳහන් කළ යුතු නැත. ලෝකයේ සතර දිග් භාගයේම ඔහු පිළිබඳ යම් අවධානයක් ඇතිවූයේ කෙටි කලක් ජීවත් වුවද බෲස් ලී වෙනස්ම, එසේම තමන්ට ආවේණික ගමනක් ගිය සටන් කලාව ප්රචලිත කිරීමේ පුරෝගාමියකු වූ හෙයිනි.
ඇමරිකාවේ උපදින ඔහුට තම ගුරුවරයා හමුවන්නේ හොංකොං නුවරදීය. යිප්මෑන් නමින් සඳහන් වන එම ගුරුවරයා යටතේ වයස 17 දී පමණ සටන් කලාව ඉගෙන ගන්නා බෲස් ලී තම මනසේ ඇතිවන කැලඹිලි සහිත බව විසඳා ගැනීමට ගුරුවරයාගෙන් උපදෙස් පතන්නේය. මනස කැලඹෙන විට ශරීරයද ශරීරය කැලඹෙන විට මනසද කැලඹෙන හැටි ඔහු දකින්නේය. ගුරුවරයා දුන් උපදෙස් අනුගමනය කළද ඔහුගේ ගැටලුව විසඳුණේ නැත.
චීන තාඕ දර්ශනය පිළිබඳ යම් දැනුමක් ඔහුට ගුරුවරයාගෙන් ලැබෙයි. ගුරුවරයා ඔහුට සඳහන් කරන්නේ ගැටුමට යාම වෙනුවට අනුවර්තනය වීමට, ඒ මොහොතේ ඇතිවන තත්ත්වයන් සමග ගැළපීමට හුරු විය යුතු බවය. මානසික සහ කායික ව්යාකූලතාවන්ගෙන් මිදීම සඳහා වරක් බෲස් ලී බෝට්ටුවක් දියත් කරමින් මුහුදු යයි. මුහුදේ නැගෙන ප්රචණ්ඩ රළ වේගයන්ට මුහුණ දීමේදී ඔහු තේරුම් ගන්නේ ප්රතිවිරෝධය වෙනුවට තත්ත්වයන් තේරුම්ගෙන අනුවර්තනය වීමට යොමු විය යුතු බවය. ඒ අනුව ඔහු කිසිවක් නොකර ඔහේ සිටී. මෙසේ වසර කිහිපයක් හොංකොංහි සිට සටන් කලාව ප්රගුණ කරන බෲස් ලී යළි ඇමරිකාවට පැමිණ තම අධ්යයන කටයුතු ආරම්භ කරයි. එකී අධ්යයන කටයුතුවලදී පෙරදිග සහ බටහිර විවිධ දර්ශන පිළිබඳ හැදෑරීමට ඔහු යොමුවේ.
මේ කාලය වනවිටද පෙරදිග සහ බටහිර දාර්ශනික වශයෙන් සැලකිය යුතු ආකාරයකට හමුවී තිබුණේ නැත. එනම් බටහිරට පෙරදිග පුළුල් ආකාරයට මුණගැසී තිබුණේ නැත. එහෙත් ජපාන සෙන් ගුරුවරයකු වන ඩී.ටී. සුසුකි, ඇලන් වොට්ස්, හෙලේනා බ්ලැවැට්ස්කි, ස්වාමි විවේකානන්ද, අනගාරික ධර්මපාලතුමාගේ චිකාගෝ දෘෂ්ටි සම්මේලනය ඇමතීම ආදී කරුණු පදනම් කරගෙන පෙරදිග ඉගැන්වීම් පිළිබඳ යම් උනන්දුවක් ඇතිවී තිබිණි. එසේම ජේ. ක්රිෂ්ණ මූර්ති ඇමරිකාවේ ජීවත් වෙමින් ඔහුගේ ඉගැන්වීම් පිළිබඳ සාකච්ඡා සහ දේශන පවත්වමින් සිටියේද මේ කාලයේය. මෙසේ පෙරදිග ඉගැන්වීම් පිළිබඳ පෙරට වඩා යම් අවධානයක් ඇතිවීමට හේතු වූයේ දෙවැනි ලෝක සංග්රාමයෙන් පසු බටහිර සමාජය තුළ ඇති වූ මනුෂ්ය පැවැත්ම පිළිබඳ විවිධාකාර ගැටලුය. එක් පැත්තකින් මනුෂ්ය පැවැත්මේ හිස් බව සහ එහි දුක් සහිත බව පිළිබඳ අදහස තදින් ඉස්මතු වී තිබුණු එකකි. හොංකොං සිට යළි ඇමරිකාවට පැමිණි බෲස් ලී මෙසේ පෙරදිග ඉගැන්වීම් පිළිබඳ ඇතිවෙමින් තිබුණු ප්රබෝධය කෙරෙහි අවධානය යොමු කළේය. විශේෂයෙන් ඔහු ඒ අතරින් සෙන් බුදු සමය සහ ක්රිෂ්ණ මූර්තිගේ ඉගැන්වීම් කෙරෙහි අවධානය යොමු කළ බව පෙනේ. සෙන් බුදු සමය සහ ක්රිෂ්ණ මූර්ති ඉගැන්වූයේ මේ මොහොත පිළිබඳ සිහිය ඇතිකර ගැනීමය. ක්රිෂ්ණ මූර්ති බුදු සමයෙහි සිහිය පිළිබඳ අදහස ඉතා සිත් ගන්නා ආකාරයෙන් පැහැදිලි කළේය.
බුදුසමය සහ ක්රිෂ්ණ මූර්ති පෙන්වා දුන් ස්වයං දැනුම නමැති අදහස කෙරෙහි බෲස් ලීගේ අවධානය බෙහෙවින් යොමුවිය.
“යම් කිසිවකුගෙන්, ඕනෑම පොතකින්, හෝ මනෝ විද්යාවකින්, මනෝ විශ්ලේෂකයකුගෙන් ස්වයං දැනුම ලබාගත නොහැකිය. එය ඔබේ ජීවිතය තුළින්ම සොයාගත යුතුය.”
බෲස් ලී වරෙක සඳහන් කර තිබේ. ඕනෑම බාහිර විෂයක් ඉගෙනීමට පෙර තමන් පිළිබඳ දැනුමක් අවබෝධයක් ලබාගැනීම මූලික වශයෙන් කළ යුත්තක් සේ ඔහු පෙන්වා දෙයි. මෙවැනි අදහසක් ඔහු තුළ ඇති වූයේ ස්වයං අවබෝධය පිළිබඳ බුදු සමය ඇතුළු පෙරදිග ඉගැන්වීම්වල තිබෙන කරුණු පදනම් කරගෙනය. බෲස් ලී ඔහුගේ ගෝලයන්ට නිතරම සඳහන් කළේ මෙම ස්වයං දැනුමෙහි වැදගත්කම පිළිබඳවය.
විවිධ සංකල්ප අදහස් ආදියෙන් මනස පුරවා ගැනීම යමක් පිළිබඳ සජීවී දැනුමක් ලබා ගැනීමට බාධාවක් බවත් ඒ වෙනුවට නිදහස් මනසක් ඇතිකර ගැනීම කළ යුතු දේ බවත් ඔහු උගන්වයි. ඒ පිළිබඳව සඳහන් කිරීමේදී ඔහු නිතරම උතුරා යන තේ කෝප්පය පිළිබඳ සෙන් කතාව නිදර්ශන වශයෙන් දක්වයි. එම කතාවේ සඳහන් වන ආකාරයට වරක් බටහිර ජාතික මහාචාර්යවරයෙක් සෙන් දහම ඉගෙනීම සඳහා ජපානයේ සෙන් ආරාමයකට පැමිණෙයි. එසේ පැමිණෙන මහාචාර්යවරයා තමන්ගේ ඔළුවේ පිරී තිබෙන විවිධ අදහස් පිළිබඳ කතා කරන්නට පටන් ගනියි. සෙන් ආරාමයකට පැමිණෙන ආගන්තුකයකුට තේ පැන්වලින් සංග්රහ කිරීම සෙන් ආරාම සම්ප්රදායකි. එම සම්ප්රදාය අනුව තමන්ගෙන් සෙන් ඉගෙන ගැනීමට පැමිණි මේ බටහිර මහාචාර්යවරයා අත රැඳි විසිතුරු කෝප්පයට ආරාමයේ නායක හාමුදුරුවෝ ඉතා රසවත්ව හැදූ තේ කේතලයකින් තේ වත්කරති. කෝප්පය උතුරා ගියද තේ වත්කිරීම නතර කළේ නැත. මහාචාර්යවරයා විමසන්නේ උතුරා යන කෝප්පයට තවත් තේ වක්කරන්නේ කුමකට දැයි කියාය. සෙන් ස්වාමීන් වහන්සේද මහාචාර්යවරයාට පිළිතුරු දෙන්නේ පිරී ඉතිරී යන කෝප්පයට තවත් තේ වත්කිරීම නිරර්ථක වන්නා සේ විවිධ අදහස්වලින් පිරී ඇති ඔබටද සෙන් ඉගැන්වීම නිරර්ථක බවය. මෙම කතාව උපුටා දක්වමින් බෲස් ලී පෙන්වා දුන්නේද හැම විටම යමක් ඉගෙන ගැනීමේදී විවෘත මනසක් තබා ගැනීමේ වැදගත්කමය.
“යම් සටන් ක්රමයක් ඉගෙන ගත්තොත් ඒ ක්රමයේ සීමාවන්ට අනුව සටන් කරන්න පුළුවන් වේවි. එහෙත් ඇත්ත වශයෙන්ම එය සටන් කිරීමක් නොවේ.”
මෙම අදහස මගින් බෲස් ලී පෙන්වා දෙන්නේ ඕනෑම ක්රමයක් සීමාසහිත බවය. එනිසා කිසිම ක්රමයකට, ශෛලියකට සීමා නොවිය යුතු බවයි ඔහු සඳහන් කරන්නේ. එනිසා ඔහු විවිධ සටන් ක්රම ශෛලීන් තම විවේචනයට ලක් කළේය. එම ක්රමවල තිබෙන සීමාසහිත බව පෙන්වා දුන්නේය. ඔහු හඳුන්වා දුන් ජිට් කුනෙ ඩෝ ශෛලිය මගින් පෙන්වා දෙන්නේ ස්වයං අවබෝධය, දැනුම ඉතාම වැදගත් මූලධර්මය බවය. එම සටන් කලාවෙහි පදනම එය බවද බෲස් ලී පෙන්වා දෙයි. ස්වයං අවබෝධය ඇති වූ විට පුද්ගලයකුට තමන්ගේ සීමාවන් තේරුම් ගැනීමටත් ඒවා ඉක්මවා යාමට හැකි බව ඔහු පෙන්වා දෙයි.
මිතුර! වතුර සේ වෙන්න!
මෙය බෲස් ලී නිතර අවධාරණය කළ මූලධර්මයකි. ඔහු බොහෝ තැන්වලදී මෙය අවධාරණය කළේය. ජපන් සෙන් සම්ප්රදාය සහ චීන තාඕ ඉගැන්වීම් පිළිබඳව ඔහුට තිබුණු ගැඹුරු අවබෝධය එමගින් පැහැදිලි වෙයි. මෙකී මූලධර්මයෙන් ඔහු පෙන්වා දෙන්නේ නිශ්චිත ආකෘතිවලින් මිදී ඒ ඒ මොහොතේ ඇතිවන තත්ත්වයන්ට ගැළපීමට අනුවර්තනය වීමට ඉගෙන ගත යුතු බවය.
1969 වසරේදී බෲස් ලී පුහුණුවීම් අතරතුර කොන්දේ ආබාධයකට ලක් වෙයි. වෛද්යවරුන් උපදෙස් දෙන්නේ පුහුණුවීම් කටයුතු නතර කර යථා තත්ත්වයට පත්වන තෙක් විවේකයෙන් සිටින ලෙසය. එම විවේක කාලය ඔහු යොදවන්නේ පෙරදිග සහ බටහිර දාර්ශනික ඉගැන්වීම් අධ්යයනය කිරීමටත් ඒ පිළිබඳ යම් සටහන් තැබීමටත්ය. තමන්ගේ පොත්ගුලට පිවිසෙන ඔහු සෙන්, තාඕ, ක්රිෂ්ණමූර්ති දර්ශනය පිළිබඳ පමණක් නොව ප්ලේටෝ, රසල් ආදී දාර්ශනිකයන්ගේ පොතපතද ගැඹුරින් කියවීමට යොමුවෙයි. බෲස් ලී මියගිය පසු ඔහුගේ පොත්ගුලට පිවිසෙන දියණිය පුදුමයට පත්වන්නේ ලෝකයේ විවිධ දාර්ශනික ඉගැන්වීම්වලට අදාළ මූලික ග්රන්ථවලින් එම පොත්ගුල පොහොසත් වී තිබෙන අයුරු දැකීමෙනි.
කැපවීමෙන් ඉලක්ක කරා යා යුතු බව ඔහු නිතර පිළිගත් මූලධර්මයකි.
වරක් ඔහු සඳහන් කළේ පහසු ජීවිතයක් සඳහා යාඥා නොකරන ලෙසත් දුෂ්කර ජීවිතයක් විඳ දරා ගැනීමට ශක්තිය ඉල්ලා යාච්ඤා කරන ලෙසත්ය.
මනස ඇතුළත ඇතිවන ප්රඥාව පිළිබඳ සඳහන් කළ ඔහු ඥානවන්ත පිළිතුරකින් මෝඩයකුට ඉගෙන ගත හැකි ප්රමාණයට වඩා ප්රඥාවන්තයකුට මෝඩ ප්රශ්නයකින් බොහෝ දේවල් ඉගෙන ගත හැකි බව පෙන්වා දෙයි.
බොහෝ අය විවිධ පෞරුෂයන් අනුකරණය කිරීමට යොමුවෙති. මෙකී පෞරුෂ අනුකරණය විවේචනයට ලක් කරන බෲස් ලී පෙන්වා දෙන්නේ සැමවිටම ඔබ ඔබම විය යුතු බවය. ඔබේ අදහස් ප්රකාශ කරමින් ඔබ ගැන විශ්වාසය තබාගත යුතු බවත් පිටතට ගොස් ඉහළ පෞරුෂයක් සොයා අනුකරණය කිරීම නතර කළ යුතු බවත්ය.
ඒ පිළිබඳ තම දර්ශනය වරක් බෲස් ලී කෙටියෙන් දක්වා තිබුණේ මෙසේය.
“ප්රයෝජනවත් දේ උරාගන්න. නිෂ්ඵල දේ බැහැර කරන්න. ඔබ ඔබේම දේ එකතු කරගන්න.”
මේ අනුව පෙනෙන්නේ බෲස් ලී හුදෙක් සටන් ශිල්පියකු නොවන බවය. විවිධ දර්ශන හැදෑරීමෙන් ඔහු ඔහුට ආවේණික ජීවන දර්ශනයක් ගොඩනගා ගත් කෙනෙක් විය. සැබවින්ම ඔහු සාර්ථක වූයේ ඔහුට ආවේණික දර්ශනයකින් කටයුතු කිරීම නිසාය. ඔවුන් නිතර අවධාරණය කළ ඉහතද සඳහන් කළ ‘වතුර සේ වෙන්න’ නමැති මූලධර්මය පිළිබඳ ඔහු කළ අගනා පැහැදිලි කිරීමකින් ඔහු ගැන නිසි වැටහීමක් ලබාගත හැක්කේය. ඒ පැහැදිලි කිරීම මෙසේය.
“ඔබේ මනස හිස් කරන්න. එය පිරිසුදු කරන්න, හරියට හැඩයක් නැති වතුර වගේ! ඔබ කෝප්පයකට වතුර දැමුවහොත් එය කෝප්පය බවට පත්වෙයි. ඔබ බෝතලයකට දැමුවහොත් එය බෝතලය බවට පත්වෙයි. ඔබ එය තේ පෝච්චියකට දැමුවහොත් එය තේ පෝච්චිය බවට පත්වෙයි. ජලය සේ ගලා යන්න!’’
වරුණ අබේසේකර
Bruce Lee, who lived for a short time of thirty-three years, has marked an indelible name in the human annals of the twentieth century. According to the popularist reading, he is simply an expert in various martial arts. But above all, he was successful because of his broad philosophical approach. He turned to studying philosophical concepts and Bruce Lee naturally turned to apply that philosophical teaching to his own life practice. This is an article I wrote for the Aruna newspaper last week about his philosophical practice.
Bruce Lee’s philosophical influences