විදේශයක යුද පිටියට ගිය මෙරට කුලී හමුදාව නැවත මෙරටට ගෙන්වා දෙන මෙන් ඉල්ලා ඔවුන්ගේ මව්පියවරුන්, අඹුදරුවන් නෑ හිත මිතුරන් ආදි විශාල පිරිසක් එක් රොක්වී රජයට බල කෙරෙන උද්ඝෝෂණ අවස්ථාවක් පසුගියදා අපට අගනුවර දී දැක ගන්නට ලැබුණි. මේ කාරණය මතු කරමින් දිවයින පුවත්පත රසවත් කතු වැකියක් ද ලියා තිබුණි.
මේ සිද්ධිය දකින විට අපගේ මතකයට නැගෙන්නේ මෙවැනිම සිද්ධියක් වස්තු බීජය කරගෙන ඇන්ටන් චැකොෆ් නම් රුසියානු ලේඛකයා විසින් රචිත “ගුසෙෆ්” නම් කෙටිකතාවයි. ගුසෙෆ් චැකොෆ්ගේ කෙටිකතා අතර විශිෂ්ටතම නිර්මාණයක් හැටියට විචාරක ප්‍රශංසාවට බඳුන් වූවකි. ඇන්ටන් චැකොෆ් ශ්‍රී ලංකාවේ සංචාරය කරන්නේ 1890 වසරේදී බව වාර්තා වෙයි. සක්හලින් දූපතේ සංචාරයකින් පසුව ඇන්ටන් චැකොෆ් සිංගප්පූරුව හරහා ලංකාවට සැපත් ව කොළඹ කොටුවේ හෝටලයක නවාතැන් ගනී. කොළඔ වීදිවල සංචාරය කරද්දී දුටු නයි නටවන්නකු හා නයි මුගටි පොරයක් දැක සිත් බැඳ ගන්නා චැකොෆ් ආපසු දිවයිනෙන් පිටත් වන්නේ මුගටි පැටවුන් තිදෙනකු ද මිලට ගෙන බව සඳහන් වේ. මේ වනවිට සක්හලින් දූපතේ සංචාරය හා එහි වසන ජනතාව ගත කරන පීඩාකාරි වහල් ජීවිතය ගැන අතිශයින් කලකිරීමට පත් ව සිටි චැකොෆ්, සහලින් දූපත නරකාදියක් නම් ශ්‍රී ලංකාව මිහිපිට සුරපුරයක් බව සිය මිතුරෙකට ලියා යවයි. “ගුසෙෆ්” නමැති කෙටිකතාව ලිවීම චැකොෆ්, ආරම්භ කරන්නේ සිය මව්රට බලා යන ගමනේ අතරතුර නැවේදී ය.
පස්වසක යුද සේවයෙන් පසු නිවාඩු ලැබ ආපසු ගමරට බලා යන භට පිරිසක් රැගත් නෞකාවක ඔවුන් විඳින අති වේදනාකාරී සිදුවීම් සමුදායක් ලේඛකයා මෙහිදී දිග හරින්නේ කියවන පාඨකයාගේ සිතෙහි ඇති වන කම්පනය දැඩි ශෝකයක් බවට හරවමිනි. නැවේ පිරී ඉතිරී සිටින්නේ සොල්දාදුවන් නාවිකයන් තුවාලකරුවන් කොරුන් අබ්බගාතයන් හා විවිධ රෝගාබාධවලින් පෙලෙන්නවුන්ය. ඒ යුද්ධයේ ප්‍රතිඵලයි. පවෙල් ඉවනෝවිච් හා ගුසෙෆ් ද මේ අතර වෙති. පාදිලි පරම්පරාවකින් පැවතෙන පවෙල් දුම් නැවකට මෙතරම් සෙනඟ පැටවීම ගැන දොස් නඟයි. ඔහු කිසිවකුටත් බියක් නොදක්වන එඩිතර ගතිගුණ ඇති පුද්ගලයෙකි. අසාධාරණය අයුක්තිය නොරුස්සයි. ඔහු විටෙක ගුසෙෆ් ට ද බැණ වදියි. “උඔ මහා මෝඩයෙක්” හෙතෙම කියයි. සැමවිටම තමාට සිදුවන සියලු අසාධාරණකම් ඉවසා දරාගෙන සිටින ඉතා සංවේදී මිනිසෙකු වූ ගුසෙෆ් මේ කිසිවක් ගැන නොසිතයි. ඔහු සැම විටම කල්පනා කරන්නේ ගෙදර ජීවිතය ගැනයි. අසරණව වැතිර සිටින තම දෙමව්පියන් හා බීමත්ව පැමිණ නිතර නිතර තම බිරිඳට පහර දෙන බේබදු සොහොයුරා, ඔවුන්ගේ සුරතල් දරු දෙදෙනා ගැන සිතමින් ඔහු ළතවෙයි. අවට පරිසරය හා එහි තමා ගත කළ නිස්කලංක ජීවිතය ආවර්ජනය කරයි. තම සුපුරුදු පරිසරයට පා තබන දිනය එළඹෙන තුරු ඔහු සිටින්නේ නොඉවසිලිමත්වය. එහෙත් ගැඹුරු මුහුදේ යාත්‍රා කරන නැව ගොඩබිමක් දකින්නට තව සති දෙකක්වත් ගත වෙතැයි කිසිවකු කියනු ඔහුට ඇසෙයි.
මේ අතර නැවේ තට්ටුව මත වැතිර සිටින බොහෝ දෙනා ලුණු මිශ්‍ර මුහුදු සුළඟත්, දැඩි අව් රශ්මියත් දරාගත නොහැකිව විවිධ රෝගාබාධවලින් පීඩා විඳිමින් සිටින සැටි ඔහුට පෙනේ.
පළමුව මුහුදු ලෙඩේට ගොදුරු වන්නේ පවෙල් ඉවනෝවිච් ය. දින දෙකක් පමණ දැඩි ලෙස රෝගාතුරව හා දොඩවමින් සිටි පවෙල් නැවේ රෝහල් කාමරයේ දී පළමුව මියයයි. ඔහුගේ මළ සිරුර මුහුදට හෙළනු ලබයි. ඒ පුවත ඇසූ ගුසෙෆ් “දේව රාජ්‍ය ම උරුම වේවා” මුමුණයි. සිය මිත්‍රයාගේ වියොවින් තැවෙන පවෙල් රෝහල් කාමරයේ ඇඳක දින දෙකක් පුරා නිදාගනී. තුන්වන දින නාවික භටයෝ පැමිණ මළ සිරුර රෝහල් කාමරයෙන් පිටත එළිමහන් තැනකට ගෙන විත් ගෝනියක බහා එහි කට මසා දැමීමෙන් පසුව යකඩ පටියකට තබා බඳිති. සියල්ලෝම දේහය වටාරොක් වූ පසුව පූජකතුමා අවසන් යාච්ඤාව කියවා සිය ආශිර්වාදය දානය කරයි. ඉන් පසුව සිරුර සහිත ගෝනිය දිය මතට හෙළනු ලබන අතර මොහොතකින් එය නොපෙනී යයි.
කතාව අවසන් කරන්නේ මසුන් රෑනක් පැමිණ එය වටා එක් රොක් වන අයුරු හා ඒ සමගම පැමිණෙන විශාල මෝරකුගේ දත්වලට අසුවී බැමි ලිහී ගොස් සියල්ල විවෘත වූ බව සඳහන් කරමිනි.
ඇන්ටන් චැකොෆ් මේ ශෝචනීය කතාව වියන්නේ නැවේ සිටි පිරිස අතුරින් පවෙල් ඉවනෝවිච් හා ගුසෙෆ් යන චරිත දෙක සසඳමිනි. ඔහු විස්තර කරන්නේ එදා පැවැති තත්ත්වයයි. එසේ නම් අද තත්ත්වය කෙබඳුද.
ඉන්දියාවෙන් ගිය කුලී හමුදාව ආපසු ගෙන්වා ගැනීමට අගමැති මෝදි හා රුසියානු අගමැති පුටින් අතර පැවති සාකච්ඡාවෙන් පසු එකඟතාවයකට පැමිණි බව එරට පුවත් සේවය වාර්තා කර තිබුණි. මෙරට කුලී හේවායන් ගැන අපගේ රාජ්‍යතාන්ත්‍රිකයින් සාකච්ඡා කළ බවද සඳහන් වුණි.
දුප්පත් රටවල බොහෝ ශ්‍රමිකයින්හට එදා මෙන්ම අදත් සිදුවී තිබෙන්නේ බලවතුන්ගේ බල තන්හාව නිසා බිහිවී ඇති යුදපිටිවලට ගොස් තම ජීවිතය පරදුවට තබා ශ්‍රමය කැප කරමින් මුදල් උපයා තම අඹු දරුවන් පෝෂණය කිරීමටය. ඔවුන්ගේ අසරණකම ගැන හා ජීවිත අවදානම ගැන ප්‍රැන්සිස් සුදොතුම් පියාණන් ද ලෝක බලවතුන්හට පෙන්වා දුන්නේ වරක් දෙවරක් නොවේ. එහෙත් සින්දුපමාන මහා වැව් බැඳි, රටේ යල මහ දෙක වගාව අස්වද්දන ආහාරයෙන් ස්වයංපෝෂිත යයි පුරසාරම් දොඩන මෙරටෙහි පාලකයින්, කුලී හේවා සේවාව හඳුන් වන්නේ රැකියා උත්පාදනයේ නව ප්‍රවණතාවක් පමණක් නොව තවත් විදේශ විනිමය අප රටට උපයන උපාය මාර්ගයක් හැටියට ය. කෙසේ වුවද ඇන්ටන් චැකොෆ් ශ්‍රී ලංකාව හඳුන්වන්නේ පාරාදීසයක් හැටියට ය. චැකොෆ් පමණක් නොව මෙරට සංචාරය කළ බොහෝ විද්වතුන් ලේඛකයන් ශ්‍රී ලංකාව ගැන ලියන්නේ අති ගෞරව පූර්වක සුන්දර හැඟීමකිනි.
ඩඩ්ලි පෙරේරා