Sunday, December 22, 2024

“ජවුසන් නටන” දූවේ ධීවරයෝ

Must Read

“ජවුසන් නටන්න එපා” යැයි කිසියම් වැඩිහිටියකු පවසනු කොතෙකුත් ඔබ අසා තිබෙන්නට පුළුවන.  

ජවුසන් නටනවා යැයි කියූ සැණකින් කෙනකුගේ විකාර රූපී පිළිවෙළක් ඔබට නිතැතින්ම සිහිපත් වනු ඇත.  

නමුත් ඔබ කෙනකු ජවුසන් නටනවා දැක තිබෙන්නට නුපුළුවන.  

එහෙත් පාරම්පරික ධීවර ගම්මානයක් වන මීගමුව, පිටිපන, දූවට පැමිණෙන්නකුට නම් ජීවිතයේ කිසි දිනක දැක නැති ‘ජවුසන් නැටීම’ දැකගැනීමේ භාග්‍යය උද‌ාකරගත හැකිය.

හතර වටින්ම ජලයෙන් වට වූ, මීගමුව දූව ශ්‍රී ලාංකික කතෝලික ජන නාට්‍යයෙහි තිඹිරිගෙය වශයෙන් හැඳින්විය හැක. රජතුන්කට්ටුව, නත්තල් නාට්‍යය, ජේසුතුමන්ගේ දුක්ගායනා සහ කුරුස පත්වීම පිළිබිඹු කෙරෙන පාස්කු නාට්‍ය, පාස්කු කාලයේදී ගායනා කෙරෙන පසන් සහ ලතෝනි ගී, වාසප්පු නාට්‍ය ආදී කිතුනු සංස්කෘතිකාංග බොහෝමයක තිඹිරිගෙය වන්නේ මීගමුවේ දූව ය. එසේම එම ශ්‍රී ලාංකික කතෝලික සංස්කෘතිකාංග බොහෝමයක් දැනටමත් එකම ගමක සුරැකී ඇත්නම් ඒ මීගමුව දූවෙහිය.

දූවේ පාස්කු නාට්‍යයෙහි, සිංහල පෙළ පොත ප්‍රථමයෙන්ම ලියූ මර්සලින් ජයකොඩි පියතුමා වරක් පැවසුවේ “දූවේ බල්ලෙක් බිරුවත් ඒකෙත් කිසියම් සංගීතයක් තියෙනවා” කියාය. ඒ, දූවේ පාරම්පරික ධීවර ජනතාවගේ රුධිරයට කා වැදී ඇති සංගීත හුරුව ආභාසය නිසාය.

“අම්මගේ කුසේ ඉන්නා කාලයේ ඉඳල, මියයන කම් අපිට ඇහෙන්නේ මුහුදේ රැළි නංවන සංගීත නාදය. ඒකයි සංගීතය එච්චර අපිට කිට්ටු.” දූවේ පැරැන්නන්ගේ හේතු දැක්වීම එසේය.

ජවුසන් නැටීම ද දූවේ ධීවර ජනතාව අතර පැවැතෙන එවැනි පාරම්පරික ජන නැටුම් විශේෂයකි.

‘ජවුසෙන් ජල්ලි මා
ජවුසෙන් ජල්ලි මා’

යන ගී පදවලින් ආරම්භ වන මෙම ජවුසෙන් නැටීම සමහරුන් ‘දූවේ වැදි නැටුම’ යනුවෙන් ද හඳුන්වනු ලැබේ. ඒ, මේ අපූරු ජන නැටුමෙහි නිරතවන නර්තන ශිල්පීන් වැද්දන්ගේ ස්වරූපයෙන් සැරසී සිටින නිසාය.
“ජවුසෙන් නැටීමෙහි ඉතිහාසය අවුරුදු දෙසීයකටත් එහා අතීතයට දිව යනවා.” එසේ පැවසුවේ වැළලී යෑමට නොදී එම නර්තනාංග අලුත් පරපුරකට පුහුණු කිරීමට වෙහෙසුන දූවේ ලක්ෂ්මන් ද මැල් ය.

මීගොමුව දූව සහ ඉන්දියාවේ කේරළයේ කොචින් නගරය හා තිබුණේ ඉතාමත් සමීප සම්බන්ධතාවයකි. දූවේ පාස්කු රංගනය සඳහා භාවිත කරන බොහෝ ප්‍රතිමා අතීතයේ නිර්මාණය වූයේ කොචින් හිදීය. ඒ 1839 දීය.
දූවේ ජවුසෙන් නැටුමේ මෑත කාලීන පුහුණුකරු වන ලක්ෂ්මන් ද මැල් පැවසුවේ මෙයට වසර දෙසීයකට පමණ පෙර දූවේ ධීවරයෝ ‘පැටල් ඔරු’ යනුවෙන් හැඳින්වුණු රුවල් ඔරු විශේෂයකින් කේරළයහි කොචින් ප්‍රදේශයට ගොස් මාළු අල්ලා ඒවා කරවල කර ලංකාවට ගෙන ඒමට පුරුදුව සිටි බවය. මාදැල් ඇදීම සඳහා යන මෙවැනි එක් ධීවර නඩයකට පුද්ගලයින් හතළිස් දෙ​ෙනක් පමණ ඇතුළත් වූහ.

“එක දවසක් මේ වගේ මාදැල් නඩයකට ලොකු මාළු තොගයක් අහුවුණා. ඔවුන් ළඟ තිබුණ ලුණු මදි වුණා අල්ලපු මාළු තොග කරවල කරන්න. ඒක නිසා ඔවුන් එක් අයකුව ලුණු ගේන්න එක් ගමකට යවල තිබුණා. ඔහු හුඟ වෙලාවකින් ආපහු ආවෙ නැති නිසා ඔහු බලන්න තව කෙනකුව යවලා තියෙනවා. තමන් මෙතුවක් කාලයකට නුදුටු අපූරු නර්තන අංගයක් අර පළමු පුද්ගලයා බලමින් හිටියා. ඔවුන් දෙදෙනාම මෙම අපූරු නර්තනයෙහි අඩි, තාලම හොඳට අධ්‍යයනය කරල හොඳට මතක තියාගෙන දූවට ආපසු පැමිණි විට ඒ නර්තන දූවේ තරුණයන්ට පුරුදු කරල තියෙනවා.” ලක්ෂ්මන් ද මැල් පැවසුවේ තම මුතුන් මිත්තන්ගෙන් දැනගත් දූවේ ජවුසෙන් නැටුමේ ඉතිහාස කතාව පිළිබඳවය.

ඔහු පැවසූ ලෙස, දූවේ ජවුසෙන් නැටුමේ ආදිතම නිර්මාතෘවරයා මිහිඳුකුලසූරිය දුමිංගු ප්‍රනාන්දු ය. ජවුසෙන් නැටුමේ ගී පබඳුම ඔහුගේය. දූවේ ගායනා කෙරෙන පසන් ගීත බොහෝමයක් ප්‍රබන්ධ කර ඇත්තේ ද මිහිඳුකුලසූරිය දුමිංගු ප්‍රනාන්දු ය. එයින් පසුව ජවුසෙන් නැටුම් කණ්ඩායමේ ප්‍රධානත්වය මිහිදුකුලසූරිය ජුසේ මනුවෙල් ද මැල්ටන්; ඔහුගෙන් පසුව මිහිදුකුලසූරිය නිකුලස් ද මැල්ට ද හිමි විය.

ලක්ෂ්මන් ද මැල් නැටුම් ඉගෙනගත්තේ මිහිදුකුලසූරිය නිකුලස් ද මැල්ගෙනි.

“එක්දහස් නවසිය හැටඅට වෙද්දී, නිකුලස් ද මැල්ට අවුරුදු හැත්තෑපහක් වෙලා තිබුණා. ඒ කාලෙ වෙනකොට ජවුසන් නැටුම පුරුදු තරුණයින් දූවේ හිටියෙ නැහැ. ඒක නිසා අපි ධීවර තරුණයින් විසිදෙනෙක් විතර එකතුවෙලා නිකුලස් මාමාගෙන් නැටුම් පුරුදුවෙන්න පටන් ගත්තා.” ලක්ෂ්මන් ද මැල් ලා නර්තන පුහුණුවට යොමුවුණේ එසේය.

ධීවර කටයුතු නිමකර එන තරුණයෝ හවස් යාමයට පල්ලියේ නිරින්දු දිය සීනුව ගහන වෙලාවට පල්ලිය ඉස්සරහා ඇති දූමා සීයාගේ වත්තට රැස්වෙති. එතැන් සිට ආරම්භ වන්නේ ජවුසන් නැටිල්ලය.

‘ජවුසන් ජල්ලිමා ජවුසන් ජල්ලිමා’ යනුවෙන් තාලයකට කියමින් දුනු ඊතල දරාගත් වැදි ස්වරූපයක් පෙන්වමින් නටමින් රවුම් තුනක් නැටුමෙහි යෙදෙති. දුනු ඊතල රැගෙන නටන විට ඒවා ඇගේ නොවැදෙන ප්‍රමාණයට මෙම රවුම සකස්වෙයි.

“රතංශ දිගුමට තා තරංග දිගුමට තා” පදයට ඊළඟට කස්තිරමක් ගසති.

“පින්සිරි රෝමපුරේ වැජඹේ නිතිනා
ගරු අන පැවැතිව් පියවූ
ධර්ම අග රජු දුන් තුටිනා
මනුරට වැදි දූ මුර්ගයින් නසනා
දඩකෙළි රුතියෙන වැදි සහ සමඟ
නන්නන්නාන් නාන්නන් නාන්”
යන ගීත පෙළ ගයමින් දුනු ගී හසුරුවමින් රවුම් අටක් නැටුමේ යති.
“ගිරි ගිරිතාන්
ගිරි ගිරිතාන්
ගිරි ගිරි තන්තරිකිට තන්තරිකට තාන්
වනකුල වසනා
වැදිසක එනු බල තොසිනා
වනතුල නිති ගන සැර නිති
මෘර්ගයින් සිටින බව දැන
වල්ලඹු අපි හෙල්ලෙන් ඇන සතුන්
වනසන ලෙස වන වන අති තොස
දිගෙ තක කොලිංග
තක දිගෙ තොලිංග තකුට”

මෙසේ කියමින් ඉණට අත තබාගෙන රවුම් කීපයක් යති.

මුල් කාලයේදී මීගමුව දූවේ මෙම වැදි නැටුම හෙවත් ජවුසන් නැටුමෙහි ගීත සඳහා භාවිත වූයේ තබ්ලාව පමණි. පසුව ඒ වෙනුවට මද්දලය සහ තාලම්පොට ද එක්විය. අතීතයේදී කොළ අතු ඇඳගෙන නර්තනයෙහි යෙදුන පිරිස වත්මනෙහි තමන්ටම ආවේණික ඇඳුම් රටාවක් නිර්මාණය කරගෙන තිබේ.

“ඉස්සර මේ නැටුම පුරුදු කරද්දි ඇඟේ උඩ කොටස හරියටම කෙළින් තියාගෙන පොළවට ඇන තියාගන්න ඉරියව්වට පාත්වෙන්න ඕනෙ. ඒ කාලෙ රිටක් හිටෝල ඒ රිට දිගේ පහළට පහත් වෙන්න ඕනේ.
ඔය අභ්‍යාසය කොච්චර දුෂ්කර ද කියනව නම් ඒ කාලෙ නාට්‍ය පුරුදු වෙන අයට ඇනතියාගෙන මළපහ කරන්නවත් බැරිව යනවාලු. හිටගෙනම ඒ කටයුත්ත කරන්න ඕනලු.” ලක්ෂ්මන් ද මැල් පැවසුවේ අතීතයේ රංග අභ්‍යාසවල තිබූ දුෂ්කරතාවය පිළිබඳවය.

 

හතර වටින්ම ජලයෙන් වට වූ, මීගමුව දූව ශ්‍රී ලාංකික කතෝලික ජන නාට්‍යයෙහි තිඹිරිගෙය වශයෙන් හැඳින්විය හැක. රජතුන්කට්ටුව, නත්තල් නාට්‍යය, ජේසුතුමන්ගේ දුක් ගායනා සහ කුරුස පත්වීම පිළිබිඹු කෙරෙන පාස්කු නාට්‍ය, පාස්කු කාලයේදී ගායනා කෙරෙන පසන් සහ ලතෝනි ගී, වාසප්පු නාට්‍ය ආදී කිතුනු සංස්කෘතිකාංග බොහෝමයක තිඹිරිගෙය වන්නේ මීගමුවේ දූවය. එසේම එම ශ්‍රී ලාංකික කතෝලික සංස්කෘතිකාංග බොහෝමයක් දැනටමත් එකම ගමක සුරැකී ඇත්නම් ඒ මීගමුව දූවෙහිය 

 

“දැන් වුණත් මේ නැටුමේ අඩිතාලම් පුහුණු වෙන එක ලේසි පහසු නැහැ. දවස් ගණනක් යනකම් අතේ පයේ වේදනාව තියෙනවා.” ඔහු වැඩිදුරටත් පැවැසීය.

1937 ජෝර්ජ් ජ්‍රෙගේ මෞලි මංගල්‍යයට මීගමුව කොටුව පිට්ටනියේ උත්සවයක් පැවැත්විණ. මිහිදුකුලසූරිය ජුසේ මනුවෙල් ද මැල්ගේ ප්‍රධානත්වයෙන් ජවුසන් නැටුම් කණ්ඩායමක් එයට සහභාගි විය.
“ඒ උත්සවයේදී අපේ ජවුසන් නැටුම් කණ්ඩායමට තෑගිත් හම්බවෙලා තියෙනවා. ඒකෙදි වැද්දන්ගෙ සතුන් දඩයම සඳහා සතුන් වගේ ඇඳගත්ත මිනිස්සුත් ඉඳල තියෙනවා. සිංහයින් වගේ ඇඳගත්ත අය කරත්තවලින් පොල් අතුවලින් වහගෙනයි කොටුවෙ පිට්ටනියට ගෙනහිල්ල තියෙන්නේ.” ලක්ෂ්මන් ද මැල් පැවසුවේ අතීතයේ ඔහුගේ ඇත්තන් ලද ජයග්‍රහණයන් පිළිබඳවය.

ඔහු පැවැසූ ලෙස, එකල සිංහයාට ඇන්ද සිමියොන් අයියාගේ මුහුණ ද සිංහයකුගේ ස්වරූපයකට සමාන විය. සිංහයාට ඇන්ද ඔහුව ගම්මුන් හැඳින්වූයේ ‘සිංහ සිමියොන්’ යනුවෙනි. ඔහුගේ පුතා සිංහ මාටින්ය. සිමියොන් අයියාගේ පවුලේ සැමදෙනාවම හඳුන්වන්නේ සිංහ පට්ටන්දරය ද සමඟය.

1910 මීගමුව පෙරියමුල්ල පල්ලිය හදන්න මුල්ගල තැබූ අවස්ථාවේදී ජුවන් අප්පු රේන්ද රාළ මේ නැටුම් කණ්ඩායම පෙරියමුල්ලට ගෙන ගොස් ජවුසන් නැටුවේය. යාපනයේ අරක්කු රේන්දය ගත් ප්‍රථම පුද්ගලයා මේ ජුවන් අප්පු රේන්ද රාළය. යාපනයේ කොළරාව පැවැති එම සමයේ ද්‍රවිඩ ජාතිකයින් රත්රන් කැබැලි දී අරක්කු ගෙන ගිය බව කියැවේ. ඒ කාලයේ මිනිසුන් කීවේ ජුවන් අප්පු රේන්ද රාළ නැවක් පුරවාගෙන රත්තරන් මීගමුවට ගෙන ආ බවය.

1944 කොළඹ රාජකීය විදුහලේදී පැවැති දීපව්‍යාප්ත පාසල් ජන නැටුම් තරගයේදී මුළු රටේම පාසල් නාට්‍ය කණ්ඩායම් අබිබවා ප්‍රථම ස්ථානයට පැමිණියේ දූවේ රෝමානු කතෝලික පිරිමි පාසලෙන් ඉදිරිපත් කළ මෙම ජවුසන් නැටුමය.

“ලංකාව පුරාවට ලොකු ලොකු පාසල්වලිනුත් ජන නැටුම් කණ්ඩායම් ඒකට ඇවිල්ල තිබුණා. ඒ කාලෙ සුදු ආණ්ඩුකාරවරයා තමයි එතැන ප්‍රධාන අමුත්තා වෙලා හිටියේ. තරගය අවසානයේ සුදු ආණ්ඩුකාරයා ඔළුවෙ දාගෙන හිටිය තොප්පිය ගලවල ඔළුව නමල කිව්වලු ජවුසන් නැටුම තමයි පළමුවැනි ස්ථානය කියලා.” ලක්ෂ්මන් ද මැල් පැවසුවේ අතීත දූව දරුවන්ගේ දක්ෂකම් පිළිබඳවය.

1988 යෞවන සම්මාන උළෙලේදී සමූහ ජන නැටුම් අංශයේ ප්‍රථම ස්ථානය ලැබුවේ දූවේ ජවුසන් නැටුමය. ආර්. ප්‍රේමද‌ාස මහතා ජනාධිපති පදවියට පත් වී සහභාගි වූ ප්‍රථම රාජ්‍ය උත්සවයේදී ප්‍රථමයෙන් ත්‍යාගය පිරිනැමුවේ මීගමුව දූවේ ජවුසන් නැටුම් කණ්ඩායමටය. පසු කාලයක ධම්ම ජාගොඩ මහතා දූවේ මෙම ජවුසන් නැටුම් රූපවාහිනියෙන් පැයක වැඩසටහනක් ලෙස විකාශනය කරන ලදී. 1990 විහාර මහා දේවි උද්‍යානයේ පැවැති අන්තර්ජාතික සාම නැටුම් උළෙලේදී ප්‍රථම ස්ථානය හිමිවූයේ ද ජවුසන් නැටුමටය.
“දූවේ අනික් ධීවරයින් වගේම ජවුසන් කණ්ඩායමේ හිටියෙත් සංක්‍රමණික ධීවරයො. අවුරුද්ද එක එක කාලවලදී ත්‍රිකුණාමලය, කුකුලාව ඔය වගේ පැතිවලට යනවා මාළු අල්ලන්න.” ලක්ෂ්මන් ද මැල් පැවසුවේ ජවුසන් කණ්ඩායමේ විසිර යෑම පිළිබඳවය.

ලෝකයේ කිසිම තැනක, අඩු වශයෙන් එහි තිඹිරිගෙය වූ කේරළයේ කොචින් ප්‍රදේශයේවත් දැනට දක්නට නොලැබෙන මීගමුව දූවේ ධීවර ගම්මානයට පමණක් සීමා වූ මෙම සාම්ප්‍රද‌ායී ජන නැටුම් විශේෂය නැතිවීමට යා නොදිය යුතු නිසා, ලක්ෂ්මන් ද මැල් දූවේ තරුණයින් කණ්ඩායමකට ජවුසන් නැටුම පුරුදු කර අලුත් නැටුම් කණ්ඩායමක් බිහි කළේය.

අතිශය දැඩි කතෝලික බැතිමතුන් පිරිසක් වන දූවේ ධීවරයෝ, තමන්ගේ ජීවිතයේ සෑම කටයුත්තකටම පල්ලිය සම්බන්ධ කර ගැනීමට අමතක නොකරති. අතීතයේ මෙන්ම දැනුද මෙම ජවුසන් නැටුම් කණ්ඩායම කිසියම් තැනක නැටුම් පැවැත්වීමට පිටත්ව යෑමට පෙර සින්ද්‍රාත්‍රි දේවමෑණියන්ගේ දෙව්මැදුර අබියසට පැමිණ යාච්ඤා කර ගරු පියතුමාගේ ආශිර්වාදය ලබා ගනිති.

කිසියම් තැනක ජවුසන් නැටුම් පවත්වා රාත්‍රියේ එකට දෙකට දූවට පැමිණියත්, ඔවුන් දෙව්මැදුර ඉදිරිපිට ජවුසන් නැටුම නටන්නේ මෙතෙක් ඉවත්කර නැති නර්තන ඇඳුම් සහ වෙස්ගැන්වීම් ද සමගය.

අවසානයේ ඔවුන් නිවෙස්වලට පිටත්ව යන්නේ මෙම ගීතය ගැයීමෙනි.

“සින්ද්‍රත්‍රි දෙවි මව අප සැම රැකදේවා
පොරණයෙහි රෝම දෙස
ධර්ම රජු ද නැත සුන්දර
චරිතෙ පාමු නාටක කර
සවන් දෙනුය සර්ධාවෙන්
සින්ද්‍රත්‍රි දෙවි මව අප සැම රැකදේවා”

 

පීටර් කැනියුට් පෙරේරා

- Advertisement -
- Advertisement -

Latest News

සීගිරි ලියෝ කවරහු ද?

කලාකාමී කාශ්‍යප නිරිඳුන් විසින් ගොඩනංවන ලද සීගිරි පර්වත බලකොටුවෙහි හෙවත් කලාගාරයෙහි අද අපට දැකගැනීමට හැකි වටිනා ම කලාකෘති නම්...
- Advertisement -

More Articles Like This

- Advertisement -spot_img