Sunday, December 22, 2024

පරසතුරන්ට බියනොවූ වීර ගැමියන් අතින් බිහිවූ “එල්ලංගාදී”

Must Read

  • වියළි කලාපීය එල්ලංගාව ලෝක උරුමයක්‌ ලෙස පිළිගැනේ.
  • දිවයින පුරා එල්ලංගා පද්ධති දහසකට වැඩියි
  • එල්ලංගාවේ තිබුණේ කිසිදා නොසිඳෙන වැව්

    පිටරටින් එන සහලින් පිසූ බත්මුල් බැඳගෙන අපි අනුරපුරයේ වන්දනාවේ යන්නෙමු. කොල්ලන් කෙල්ලන් නටබුන් හා ප්රතිමා පසුබිමේ සිට සෙල්ෆි ගසන්නේ තම දත්ත ගබඩාවට ඒවා මනරම් පින්තූර වන නිසා විය හැකිය. මේ ප්රතිමා නෙළන්නට හා අද නටබුන් වී ඇති දැවැන්ත ඉදිකිරීම් කරන්නට පෙර රජ දවස ශිල්පියාට ශක්‌තියත්, විවේකයත් ලැබුණේ, තවත් පිරිසක්‌ විසින් මහා වැව් තනා සුපිරි වාරි පද්ධතියක්‌ සහිතව රට සරුසාර කර තිබූ නිසා යයි මහ ගත්කරු මාර්ටින් වික්රමසිංහ ශූරීන් හැත්තෑව දශකයේදී ලිපියක ලියා තිබුණි. ඕනෑම රටක තිරසාර කෘෂිකර්මයක්‌ පවතින්නේ නම් ඒ හා සමගාමීව නිශ්චිත ජල පරිහරණ රටාවක්‌ද තිබීම අනිවාර්ය ලක්‌ෂණයක්‌ වේ.

    ලාංකිකයා සතු මෙවැනි විස්‌මිත වාරි පද්ධතියක්‌ වෙනුවෙන් ඉහළම සම්මානයක්‌ පසුගියදා පිරිනැමුණි. අප්රේල් 19 වැනිදා රෝමයේදී පිරිනැමුණු මෙම සම්මානය ලබා ගත්තේ කෘෂිකර්ම අමාත්යංශයේ ලේකම් බී. විඡේරත්න මහතාය. ඒ සියවස්‌ ගණනාවක්‌ පුරා, එල්ලංගා වාරි පද්ධතිය ආශ්රිතව ජීවත්වූ පැරණි ලංකාවේ ගොවි ජනතාව වෙනුවෙනි. සම්මානය පිදුවේ එක්‌සත් ජාතීන්ගේ ලෝක ආහාර හා කෘෂිකර්ම සංවිධානයයි. එහි නියෝජ්ය අධ්යක්‌ෂ ජනරාල් මාරියා හෙලේනා සෙමෙඩෝ මහත්මිය, ගෝලීයව වැදගත් උරුම පද්ධතියක්‌ ලෙස එල්ලංගා වාරි පද්ධතිය හා බැඳුනු ගම්මාන එසේ නම් කරනු ලැබුවේ එය ලොව කිසිම තැනක නැති, ශ්රී ලංකාවට පමණක්‌ තිබෙන අපූරු නිර්මාණයක්‌ නිසාය. මෙයත් සමඟ දැන් ලොව පුරා විවිධාකාරයේ කෘෂිකාර්මික උරුම පද්ධති 50 ක්‌ තිබේ. ඒ රටවල් 20 ක්‌ තුළ පැතිරගෙනය. ලෝක ආහාර හා කෘෂිකාර්මික සංවිධානයේ අරමුණ වන්නේ මෙම පරිසර පද්ධති ආශ්රිතව ඇති ජෛව විවිධත්වය සංරක්ෂණය කර ගැනීමයි. පාරම්පරික දැනුම ආරක්ෂා කරගැනීමයි. පරිසර පද්ධතීන්හි පුනර්ජීවනයක්‌ දැකීමයි.

    මොකක්‌ද මේ එල්ලංගා? ලක්‌මව හෙළනා හුස්‌මෙහි උණුසුම තවමත් ඇල්මෙන් ආස්‌වාදනය කරන බොහෝ දෙනෙකුගේ විමසිල්ල ඔබමොබ මුමුණනවා ඇසේ. 1985 දී සංකල්පයක්‌ ලෙස මෙය ඉදිරිපත් කරනු ලැබුවේ පේරාදෙණිය සරසවියේ මහාචාර්ය සී. බී. මද්දුම බණ්‌ඩාර මහතා විසින්ය. කුඩා වැව් පොකුරක්‌ එක්‌ව ලොකු ජලාශයක්‌ පෝෂණය කිරීමේ අදටත් දක්‌නට ලැබෙන සිද්ධියයි මේ. එසේ වුවත් වැවක්‌, පොකුණක්‌ හෝ ජල කඩිත්තක්‌ වනාහී පිටතට පෙනෙනවාට වඩා ගැඹුරු පරිසර විද්යාවක්‌, සමාජ විද්යාවක්‌ සහ ජල විද්යාවක්‌ සහිත පරිසර පද්ධතියකි. සියවස්‌ ගණනාවක්‌ ඔස්‌සේ තම අත්දැකීම් පරපුරෙන් පරපුරට සම්ප්රේෂණය කරමින් ගොඩනගා ඇති මෙම වාරි පද්ධතීන්හි ජල කාර්යක්‌ෂමතාවය ඉතා ඉහළය.

    මෙහිදී සිහි තබාගත යුතු විශේෂ දෙයක්‌ තිබේ. එනම් නව පරපුරේ ඇතැමුන් ඔවුනට මතක ඇති කාලයේ ඉදිවුණු කෘතිම ජලාශයන් සමඟ එදා රජදරුවන් සෑදූ මහා වැව් සංසන්දනය කිරීමට උත්සාහ කිරීමයි. දිග පළලින් සහ ජලය එකතුකර තබාගැනීම යන අරමුණ පෙරදැරිව, එක කුලකයකට ගොනුකළ හැකි වුවත්, මේ දෙකොටසෙහි පැහැදිලි වෙනසක්‌ තිබේ. අතීත වැව් හා බැඳුනු වෘක්ෂලතා සංගමයක්‌ද තිබුණාට අමතරව එම දෙපාර්ශවය අතර අෙන්යාන්ය සබඳතාවයක්‌ හා සමතුලිතතාවයක්‌ද ගොඩනැගී තිබුණි. නමුත් කෘතිමව ගොඩනැඟෙන නූතන ජලාශවල එවැනි ශක්‌තිමත් පදනමක්‌ දක්‌නට නොලැබේ. මෙම කිට්‌ටු සබඳතාවය නිසා එල්ලංගා පද්ධති ආශ්රිත ගංගාවලින් අපතේ යන ජල ප්රමාණය ඉතාමත් සුළුය. ජලය නැවත නැවතත් මිනිසාගේ භාවිතයටම යෙදවී නොදි බැරුවාට දෙන්නාක්‌ මෙන් කුඩා දිය පොදකින් මහා සයුර සනහාලයි. අහසින් වැටෙන එක දිය බිඳක්‌වත් මිනිසාගේ යහපතට යොදවනවා මිස මුහුදට ගලායාමට ඉඩ නොදිය යුතුය යනුවෙන් පාලකයින්ගෙන් අනුශාසනා ලැබුණු යුගයක, එම යහවදන් ඇදහූ රටවැසියෝ මෙම පද්ධති ගොඩනඟා තිබේ. මේ අහල මානයෙන් ගලා නොබසින කැලණි, කළු වැනි ගංගාවල ජලයෙන් 60% කටත් වඩා සයුර හා එක්‌වෙත්දී එල්ලංගා පද්ධති සිඹගෙන ගලනා මහවැලි, මැණික්‌, වලවේ වැනි ගංගා තුළින් මුහුදට ගලා යන්නේ 15% කටත් වඩා අඩු ජල ප්රමාණයකි. මෙය එල්ලංගා පද්ධතියේ එක අසිරිමත් ලක්ෂණයකි.

    වසර ගණනාවක්‌ තිස්‌සේ මෙම පරිසරය තම නිවහන කර ගනිමින්, නිතර දෙවේලේ ඒ වෙත යමින් එමින් පර්යේෂණයන්හි නිරතවූ විද්වතෙකුගේ කැපවීම නොවන්නට එල්ලංගා ගම්මාන ඉදිරිපිට අද දවසේ මෙලෙස තොරණ්‌ බැඳෙන්නේ නැත. නැවතත් කෘෂිකර්ම ගවේෂණයන්ට කෙත්බිමක්‌ වූ මහඉලුප්පල්ලම ගැන කතා කරන්නට සිදුවී තිබේ. පර්යේෂණ නිලධාරියෙකු ලෙස එහි සේවය කරද්දී එල්ලංගා ගැන එකතුකරගත් දැනුම් සම්භාරය මුදාහැරුණේ නියම තැන, නියම වෙලාවටය. මහඉලුප්පල්ලම නියෝජ්ය අධ්යක්ෂවරයා ලෙස විශ්රාම ගිය ආචාර්ය පී.බී. ධර්මසේන මහතා දැනට ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ කෘෂිකර්ම හා ජල කළමනාකරණ ජාතික උපදේශකවරයා වේ. එක්‌සත් ජාතීන්ගේ සංවිධානය වෙත ලෝක ආහාර හා කෘෂිකර්ම සංවිධානය වෙනුවෙන්, එල්ලංගා පද්ධතියට මෙම තැන ලැබිය යුතුයයි යෝජනාවලියක්‌ සකසා ඉදිරිපත් කළේ ඔහුය. එහිදී ආදර්ශ පද්ධතිය ලෙස ඔහු ගෙන තිබුණේ පළුගස්‌වැව ප්රාදේශීය ලේකම් කොට්‌ඨාසයට අයත් එල්ලංගා පද්ධති 12 කි. මල්වතුඔය හා යාන්ඔය ගංගා නිම්නයන්හි ඒවා පිහිටා තිබේ. වසර තුනක්‌ තිස්‌සේ විදෙස්‌ විද්වතුන් කණ්‌ඩායම් වශයෙන් මෙහි අඩුවැඩිය සොයාබැලු අතර අවසානයේදී 2017 හි ජූලි මස යෝජනාවලිය අනුමත කරන ලදී. පසුගියදා ශ්රී ලංකාව නෙළාගනු ලැබුවේ ඔහු හෙලු දහඩියට උරුමවූ ප්රතිලාභයි. තම වෙහෙසට සාධාරණයක්‌ ඉටුවූ මොහොතක, නිහතමානී සතුටකින් පිබිදී සිටි ඔහු හා සංවාදයට මා යොමුවූයේ එල්ලංගා ගම්මානයන්ගේ රසවත් අහුමුලු අවුස්‌සාලීමටයි.

    අපි ළඟදී අධ්යයනයක්‌ කරල ලංකාවේ එල්ලංගා පද්ධති 1162 ක්‌ හඳුනාගත්ත. මේවායින් 90% ක්‌ විතර කලාප තුනක්‌ යටතේ ගොනු කරන්න පුළුවන්. මල්වතු ඔය, මහවැලි ගඟ, යාන් ඔය ආශ්රිත පද්ධති උතුරු-උතුරු මැද කලාපයට අයිති වෙනවා. ඊළඟට වයඹ කලාපයේ දැදුරු ඔය හා මී ඔය සම්බන්ධ පද්ධති, අන්තිමට දකුණ-ගිනිකොන කලාපයේ මැණික්‌ ගඟ, මාදුරු ඔය, වලවේ ගඟ අවට පද්ධති.

    මෙතරම් පද්ධති ගණනක්‌ හඳුනා ගත්තද ඉන් අද ජීවමානව හඳුනාගත හැකි සංඛ්යාව ඉතා සුළුය. විවිධ හේතූන් නිසා මේවා හායනයට හසුවී තිබේ. එල්ලංගා පද්ධතිය සිසාරා යැමට සුදුසුම තැන වන්නේ තැන තැන විසිරී පවතින කුළුවැව් නමින් හඳුන්වා ඇති කුඩා ජලාශයි. කැළේ පිහිටි නිසා මේවාට කුළුවැව් කියන්නට ඇත. ඒවාට ජලය වර්ෂාවෙන් එකතුවන අතර මිනිසුන් පරිභෝජනයට නොගනියි. වනාන්තරය තුළ තිබෙන නිසා ඒවායින් සිදුවන වාෂ්පීකරණය අඩුවීම හේතුවෙන් වියළි කාලයටද මේවාහි වතුර තිබේ. (රූප සටහනෙහි කුළුවැව් පෙන්වා නැත.) මේවායින් පිටවෙන ජලය වනය හරහා එන “දියමග” නමින් හඳුන්වන ජල පාරවල්වලටද එකතුවී ප්රධාන වැවට පැමිණේ. කුළුවැව් පිහිටීමේ තවත් වැදගත්කමක්‌ තිබේ. වියළි කාලයට වනාන්තරයේ සිට ජලය සොයාගෙන එන වන සතුන්, කුළුවැව් වලින්ම වතුර බී ආපසු යනවා මිස ගම් වදින්නේ නැත. ප්රධාන වැවට ඔවුන් පැමිණෙනවා යනු ගම්මුන්ට තර්ජනයකි. සතා සිවුපාවාගේත් අවශ්යතාවයන් පවා සපුරාලමින් තමාගේත් ආරක්ෂාව සහ ස්‌ථායීතාවය රැකගැනීමට එදා ගම්වැසියා කෙතරම් උපායශීලී වී ඇතිදැයි නොසිතෙන්නේද?

    දියමග ඔස්‌සේ ජලය පැමිණෙන්නේ ප්රධාන වැවටය. එය ඉස්‌මත්තේ, වැහි කාලයට වාන් දමන මට්‌ටමේ තිබෙන වනලැහැබ හැඳින්වූයේ “ගස්‌ගොම්මන” ලෙසයි. මෙය ගම්මුන් පොදුවේ පරිහරණය කළ සම්පතකි. ගව ආදී සතුන්ගේ පෝෂණය පිණිසත්, ගමට අවශ්ය දර, දැව දඬු, ඖෂධ පැළැටි ආදිය රැස්‌කර ගැන්මටත් අවශ්ය විටදී ඔව්හු ලැහැබට රිංගූහ.

    ගස්‌ගොම්මනට බීජ වර්ග එන්නේ වැව වාන් දාන කාලෙට. වතුරේ එන බීජ වර්ග ජලය බැසයන කොට පසමත රැඳිල පැලවෙනවා. එහි වෘක්‌ෂලතා අලුත්වෙන්නේ ඒ විධියටයි. කුඹුක්‌, දඹ තිඹිරි වගේ ගස්‌ හැදෙනවා. ගස්‌වල පුංචි බෙන ඇතිවීම සුලභ දෙයක්‌. බෙනවල වතුර සීතලයි. ඇතුල අඳුරුයි, නිශ්චලයි. මාළු වර්ගවලට බිත්තර දාන්න කියාපු තැන. විශේෂයෙන් මේ ආශ්රිතව ඉස්‌සන් බෝවෙනවා. එක වදුලට හැදුනු ගස්‌ සමූහය ගම්මානයට සුළං බාධකයක්‌. ඒ අතිනුත් ගස්‌ගොම්මන නිසා ගංගොඩ නොහොත් ගම්මානය රැකෙනවා.

    ආචාර්ය ධර්මසේනගේ විද්වත් විශ්ලේෂණය නතර නොවන්නේ නම් මැනවයි සිතෙන තරමටම රසවත්ය. මීට අමතරව වැවයි කුඹුරයි අතරත් තවත් ගොඩබිම් තීරුවක්‌ තිබී ඇති අතර “කට්‌ටකඩුව” සේ හැඳින්වූ එහි උපරිම ජෛව විවිධත්වයක්‌ තිබුණි. එයද සේවය සැලසුවේ ගම්වැසියන්ගේ සුබසාධනයටමය. අභාවයට යන එල්ලංගා පද්ධතියට ජීවය කවන්නට විවිධ රාජ්ය ආයතනත්, ස්‌වේච්ඡා සංවිධානත් විවිධ අවස්‌ථාවල උත්සාහ දරා තිබේ. 2016 වසරේදී පරිසර හා කෘෂිකර්ම අමාත්යාංශයන් එක්‌ව ගම්වැසියන්ගේද සහායෙන් දියත්කළ රුක්‌රෝපණ වැඩ සටහනකදී පලුගස්‌වැව එල්ලංගා පද්ධතියේ ගස්‌ගොම්මන හා කට්‌ටකඩුව කොටස්‌වල රුක්‌පැල 3000 කට අධික ප්රමාණයක්‌ සිටුවා ඇත. ඉඳහිට හෝ මෙවැනි මැදිහත්වීමක්‌ දක්‌නට ලැබීම සුබ නිමිත්තකි.

    එදා ගැමියන් ගස්‌ගොම්මන ඉසව්වේ වළක්‌ කපාගෙන, එයට වතුර පුරවාගත් අතර “ගොඩවල” සේ හැඳින්වූයේ එයයි. කුළුවැව්වල සිටත්, දියමග ඔස්‌සේත් රොන්මඩත් සමඟ ගලා එන ජලයට වැවට කලින් හමුවෙන දිය කඩිත්තකි මේ. ගොඩවළට එකතුවෙන ජලයේ තිබෙන රොන්මඩ එහි තැන්පත්වේ. අනතුරුව ගස්‌ගොම්මන හරහා ජලය හෙමිහිට ගලන්නේ වැවටය. ගස්‌ගොම්මනෙහි උස ගස්‌ යට වැවී ඇති තෘණ වර්ග විසින් මෙම ගලායන ජලයට සාදන්නේ අගනා පෙරහනකි. එතුළින් වැවට එන ජලය අතිපිරිසිදුය. මෙවන් පිරිසිදු ජලයක්‌ පරිහරණය කළ පුරාණ ගැමියාගේ නිරෝගිකම ගැන අටුවා ටීකා ලිවිය යුතු නොවේ.

    “ගංගොඩ” යනු ගම්මානය වේ. කොස්‌, පොල් ආදී බෝග ශාකයන් දැකීමෙන් අද වුවද එදා තිබූ පැරණි ගම පෙදෙස හඳුනාගැනීමට අපහසු නැත. බොහෝ විට එකම මිදුලක්‌ වට කරගෙන ගෙවල් දහ පහළොවක්‌ පිහිටි අතර ගෙවල්ද ප්රමාණයෙන් කුඩාය. බාල මහලු සියල්ලෝටම වැඩ තිබුණේ කුඹුරේ හෝ හේනේය. පිරිමියා නිදා ගත්තේ කොහොමටත් ගෙදර පිල මතය. එහෙයින් නිවෙස්‌ වාසී වූයේ රෝගීන්, අත දරුවන් සමඟ කිරිදෙන මව්වරුන් වැනි අය පමණි. එහෙයින් ඔවුනට ලොකු ලොකු බංගලා අවශ්ය නොවුනි.

    ගංගොඩ වටේට තිබෙන බඹ තිහක පමණ බිම්කඩක්‌ ගැමියන් හඳුන්වාදී තිබුණේ “තිස්‌බඹේ” වශයෙන්ය. මෙහි කොටස්‌ තුනක්‌ තිබූ බව ධර්මසේන මහතා පෙනයඳිd දෙයි. ඉහළින්ම තිබූ ගොඩබිම් කොටස ගම්මුන් යොදාගෙන තිබුනේ තොරන් බැඳ කෙරෙන බලි, තොවිල්, ශාන්තිකර්ම වැනි දේ සඳහාය. ඊට තරමක්‌ පහළින් ගංගොඩ අසලින්ම පිහිටි කොටස භාවිතා කෙරුවේ ගෙවල්වල සිටි ස්‌ත්රීන් සහ දරුවන්ය. මේ ගෙවල්වල වැසිකිළි තිබුණේa නැත. අම්මලා කැටුව දරුවන්.ලූa සඳහා ගියේ තිස්‌බඹේ මැද කොටසටයි.

    දැන් පිරිමි මේ සඳහා කොහේ යන්න ඇතිද?

    එල්ලංගාවට විශේෂඥයෙකු වනවාට අමතරව ධර්මසේන ශූරීන් අනුන්ගේ සිත කියවීමටද සමතෙක්‌ දැයි සිතුනේ ඔහුගේ එම විමසීම නිසාය. මා සිත නළියමින් සිටියේද ඒ වචන ටික හලන්නටය.

    පිරිමියා උදේට නැගිට්‌ට ගමන් යනවා තමුන්ගේ කුඹුර බලන්න. කලින්දා තත්ත්වය දැනගැනීමයි ගමනේ අරමුණ. වැව් කන්ඩිය දිගේ ගිහින් කුඹුරත් බලාගෙන ඔහු නවතින්නේ “ලන්දේ” එතනින් ආයිත් කුඹුරටත් බැහැල කිවුල් ඇළෙන් ඇඟපතත් සෝදාගෙන තමයි ආපහු එන්නේ.”

    විද්වතුන්ගේ අදහස වන්නේ මෙයින් කිසිදු අපිරිසිදු තත්ත්වක්‌ ඇති නොවන බවයි. ස්‌වභාව ධර්මයේ කොටසක්‌ව පැවති මේ සමාජයට එවැනි සිරිත් විරිත්වලින් තර්ජනයක්‌ ඇතිවී නැත. වැස්‌ස වැටෙත්ම තිස්‌බඹේ මැද කොටසේත්, ලන්දේත් තිබූ දිරාපත් වෙමින් තිබෙන දෑ සියල්ල එකතුවන්නේ වෙල්යායටයි. ඉන් පස සරුවීමක්‌ මිස වෙනත් අවැඩක්‌ නම් සිදුනොවේ. තිස්‌බඹේ අන්තිම හරිය ඇත්තේ වෙල්යායට මායිම්වය. එහි දියසීරාව වැඩිය. පන් වර්ග බහුලව තිබේ. ගොවියාගේ කලන මිතුරෙක්‌ වන මී හරකුන් මෙහි ලැග සිටී.

    වන සතුන් ගම් වදිනවා නම් එන්න ඕනේ තිස්‌බඹේ හරහානේ. එතකොට ඉස්‌සෙල්ලම හරක්‌ කලබල වෙනවා. ඒ සංඥාව ගම්මු හඳුනනවා. ඔවුන් හුළු එළි දල්වාගෙන ගම්මැද්දට ඇවිත් දෙකට බෙදිලා ගොහින් වන සතුන් පලවා හරිනවා. මී හරක්‌ තවත් වැඩක්‌ කරනවා. මදුරුවෝ වැඩිය කැමති මී හරකුන්ගේ ලේ බොන්න. මේ නිසා මදුරුවෙක්‌වත් ගමට එන්නේ නෑ. උනුත් මී හරකුත් එක්‌ක තිස්‌බඹේම නවතිනවා. මේ නිසා මැලේරියා වැනි වසංගතවලිනුත් පුරාණ ගැමියා යම් පමණකට රැකුණේ තිස්‌බඹේ කොටස ඉටුකළ මේ ස්‌වාරක්‌ෂක කටයුත්ත හින්දයි.

    ආචාර්ය ධර්මසේනයන් ඉතා පැහැදිලිව තර්කානුකූලව කරුණු පැහැදිලි කරයි. සජීවීව ඇසින් දකිමින් හෝ, එල්ලංගා ගම්මානයක රැයක්‌ පහන් කරමින් හෝ මේ කතන්දර අසා සිටියා නම් කෙතරම් අගනේදැයි සිතුනේ එහි ඇති සුන්දරත්වය නිසාමය. එහෙත් අද නම් දෑස සනහන්නට සිදුව ඇත්තේ වර්ණ ගැන්වූ සිතුවමක්‌ දෙස බලමිනි. කෙසේ වෙතත් අද සැබැවින් ගොස්‌ බලන්නට ක්රියාත්මක තත්ත්වයේ එල්ලංගා පද්ධති නැත. මීට වසර දෙදහස්‌ තුන්සියයකට පමණ ඉහතදී දකුණු ඉන්දීය සතුරු ආක්රමණිකයින් මෙම ගම්මානවලට කඩා වැදී ඇළ, වැව් අමුණු ආදිය වනසා දැමීම නිසා ගම්මු එම පළාත් අතහැර තෙත් කලාපය දෙසට පැමිණෙමින් පර්යටන යුගයකට එළඹුනහ. උපන් බිම්කඩ අතහැර යැමට අකමැති වූ වීර ගම්වැසියන් අතලොස්‌සක්‌ තැන තැන කොටුවී වැවක්‌ මැදිකරගෙන ජීවිතය දිගටම පවත්වා ගැනීම නිසා බිහිවූයේ එල්ලංගා ගම්මාන පද්ධතියයි. ඔවුන්ගේ ජනගහනය සංඛ්යාවෙන් දුර්වල නිසාම අධිරාජ්යවාදීන් රට කරවූ පසු කාලයේදී මෙම පද්ධති ගැන කිසිදු සැලකිල්ලක්‌ දැක්‌වූයේ නැත. ඒ නිසා තව දුරටත් ඒවා ජරාවාස වී තිබේ. මේ ගැන අදහස්‌ දක්‌වා ඇති ආචාර්ය සී. ආර්. පානබොක්‌කේ මහතා එල්ලංගා පද්ධතීන්ගේ පරිහානිය සනිටුහන් කළ කරුණු රැසක්‌ පෙන්වා දෙයි. නූතන වාරි ඉංජිනේරුවන් විශාල ජලාශයන්ට ජලය ගෙනයැම උදෙසා ගැඹුරු ඇළ මාර්ග කැපීමත්, ගොවීන්ට ජලය ගැනීමට විශාල ප්රමාණයේ වගා ළිං කැණීමත් නිසා භූ ජල ප්රභවයන්ගේ මහත් විපරිතයන් සිදුවී තිබේ. දියමග ඔස්‌සේ ගොඩවළටත් එතනින් මහා වැවටත් පිරිසිදු ජල දහරක්‌ ගලා ඒම, අද නින්දේ දකින සිහිනයක්‌ වී ඇත්තේ ඒ නිසාය. හැම තැනටම හෙණයක්‌ සේ පාත්වෙන අවිධිමත් කැලෑ එළිකිරීම හා අනවසර පදිංචි කරවීම් මගින්ද එල්ලංගාවට ඇත්තේ සුළුපටු තර්ජනයක්‌ නොවේ. මෙවැනි පසුබිමක ආචාර්ය පී.බී. ධර්මසේන වැනි උගතුන් ලොව කොතැනකවත් නැති, තිරසාර වාරි පද්ධතියක්‌ හා බැඳුනු ගොවි සංස්‌කෘතියක්‌ ලොවට හඳුන්වාදී, එය ලෝක උරුමයක්‌ සේ නම්කර සංරක්‌ෂණයට මංපෙත් හෙළිකිරීම, විද්වතෙකු වශයෙන් ඉටුකළ වගකීමක්‌ පමණක්‌ නොව ශ්රී ලාංකිකයෙකු වශයෙන් කළ මහා පුණ්ය කර්මයක්‌ද වන්නේය.

    සනත් එම්. බණ්‌ඩාර

- Advertisement -
- Advertisement -

Latest News

සීගිරි ලියෝ කවරහු ද?

කලාකාමී කාශ්‍යප නිරිඳුන් විසින් ගොඩනංවන ලද සීගිරි පර්වත බලකොටුවෙහි හෙවත් කලාගාරයෙහි අද අපට දැකගැනීමට හැකි වටිනා ම කලාකෘති නම්...
- Advertisement -

More Articles Like This

- Advertisement -spot_img