ලෝක වෛද්‍ය ඉතිහාසයේ පළමුවතාවට මිනිස් මොළයකින් පරපෝෂිත පණුවකු සොයා ගැනීමේ පුවත පසුගිය මාසයේ ලොව පුරා දැඩි අවධානයට යොමු වී තිබිණි. දිගින් සෙන්ටි මිටර් 8ක් පමණ දිගැති පණුවා සොයා ගන්නා විටත් සිටියේ පණපිටින්ය. ඔස්ට්‍රේලියාවේ නිව්සවුත්වේල්ස් ප්‍රාන්තයේ 64 හැවිරිදි කාන්තාවකගේ මොළය තුළ වසර දෙකකට ආසන්න කාලයක් ඌ සැපසේ ජීවත්ව සිටිය ද, එම කාලය තුළ මේ කාන්තාව අසාමාන්‍ය රෝග ලක්ෂණ පෙන්නුම් කරමින් ද, වරින් වර රෝහල්ගත වෙමින් ද එරට වෛද්‍යවරුන් කුතුහලයට පත් කළ අතර, රෝහලෙන් නික්ම ගියේ ද ඔවුන් තුළ ප්‍රශ්න වැලක්ම ඉතිරි කර තබමිනි.
අවසානයේදී ඇගේ මොළය ආශ්‍රිතව සිදු කළ එම්ආර්අයි ස්කෑන් පරීක්ෂණයත්, එහි අසාමාන්‍ය තත්ත්වයක් පෙන්නුම් කිරීමත් නිසා පටක විශ්ලේෂණ පරීක්ෂණයක් කිරීමට වෛද්‍යවරු පියවර ගැනීමෙන් ඇයට තම ජීවිතය බේරා ගැනීමට වාසනාව ලැබිණි.
ලෝක වෛද්‍ය ඉතිහාසයේ මිනිස් මොළයකින් පරපෝෂිත පණුවකු සොයා ගත් පළමු අවස්ථාව ලෙස එය ඉතිහාසයට එක්වෙද්දී ශ්‍රී ලාංකිකයන්ගේ අවධානයට ලක් වූයේ එම සිදුවීම ජාත්‍යන්තර මාධ්‍ය තුළින් ලොවට කියාපෑ ඔස්ට්‍රේලියාවේ වෙසෙන එක්තරා ශ්‍රී ලාංකික වෛද්‍යවරයකු ගැනය. ඔස්ට්‍රේලියාවේ ජාතික විශ්වවිද්‍යාලයේ සහකාර මහාචාර්යවරයා ලෙසත්, කැන්බරා රෝහලේ බෝවන රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍යවරයකු ලෙසත් සේවය කරන ශ්‍රී ලාංකික විශේෂඥ වෛද්‍යවරයා සංජය සේනානායක සොයා ‘සිළුමිණ‘ ගිය ගමනින් තවත් තොරතුරු රැසක් අනාවරණය විය.
‘ඒක හරි විස්මිත සිදුවීමක්‘ එසේ කියමින් මහාචාර්ය සංජය සේනානායක ‘සිළුමිණ‘ සමඟ කතාබහට එක්වූයේ පසුගියදා ඉතා කෙටි නිවාඩුවකට ශ්‍රී ලංකාවට පැමිණි අවස්ථාවේදීය.
‘හැමෝම දන්නේ මේ පරපෝෂිත පණුවා අර කාන්තාවගේ මොළයෙන් පිටතට ඇදලා ගත්තු කතාව විතරයි. ඒත් ඒක කතාවේ අවසානය මිස ආරම්භය නෙවෙයි. ආරම්භය අවුරුදු එකහමාරක් විතර ඉතිහාසයට ගිය එකක්. මම සේවය කරන කැන්බ්රා රෝහල ගොඩාක් විශාල එකක් නිසා පිට පළාත්වල රෝහල්වලින් සංකීර්ණ ගැටලු හා රෝග ලක්ෂණ තියෙන රෝගීන් අපේ රෝහලට තමයි එවන්නේ. මේ කියන කාන්තාවත් අපේ රෝහලට ආවේ ඒ අනුවයි. ඒත් ඇයට විශේෂිත රෝග ලක්ෂණ මොකුත් තිබුණේ නෑ. රාත්‍රි කාලයේ දහඩිය දැමීම, උදරයේ වේදනාව, කැස්ස, පාචනය වගේ දේවල් තමයි තිබුණේ. හැබැයි ඇගේ සිරුරේ සුදු රුධිරාණු ප්‍රමාණය ඉතා ඉහළ මට්ටමකයි තිබුණේ. එහෙම වෙන්න ගොඩාක් හේතු තියෙනවා. පරපෝෂිත ආසාදන, පණු ආසාදනය, ප්‍රතිශක්තිකරණ පද්ධතියේ, ඇට මිදුළුවල අසාමාන්‍ය ක්‍රියාකාරීත්වය ඒ වගේ ගොඩාක් දේවල් තියෙන නිසා කාටවත් කියන්න බෑ ඇයට මේක තමයි වෙලා තියෙන්නේ කියලා. ඇගේ පෙණහලු හා අක්මාවත් තුළත් ලප රාශියක්ම තිබුණා. ඉතින් අපි ඉතා උනන්දුවෙන් පරීක්ෂා කළා. පරපෝෂිත ආසාදනයක් ද කියලා. අපි පරීක්ෂණ පැවැත්වූවා. ඒත් මොකුත් හොයාගන්න තිබුණේ නෑ. මොකද හැම පරපෝෂිත ආසාදන පරීක්ෂණයක්ම 100%ක්ම පරපෝෂිත ආසාදන සොයා ගැනීමට තරම් සංවේදි වෙන්නේ නෑ. කොහොම වුණත් අන්තිමේදී සාමාන්‍ය තත්ත්වයේ පරපෝෂිත ආසාදන සම්බන්ධව අපි ඇයට ප්‍රතිකාර කළා. මොකද ඇය ලෝකයේ වෙනත් රටවල සංචාරය කරලයි තිබුණේ. අනික බෝවන රෝග අවුරුදු 50කට කලින් හැදුණු එකක් වුණත් නැවත ක්‍රියාකාරී වෙන්න ඉඩ තියෙනවා. ඒ නිසා තමයි අපේ ක්ෂේත්‍රයේ වෛද්‍යවරුන් නිතරම රෝගීන්ගෙන් අහන්නේ මොන රටවල ද සංචාරය කළේ කියලා. අවුරුදු 50කට 60කට විතර කලින් ගිය රටවල් වුණත් අදාළ වෙන්න පුළුවන්කමක් තියෙනවා. මොකද සමහර බෝවෙන රෝග සිරුර තුළ තැන්පත් වෙලා අවුරුදු 40කට විතර පස්සේ වුණත් ක්‍රියාකාරී වෙන්න ඉඩ තියෙන නිසා. ඒ නිසා තමයි අපි අපි රෝගීන්ට කතා කරන්නේ ඉතිහාසය ගැන දැන ගන්න‘ මහාචාර්යවරයා කතාව ආරම්භ කළේ එලෙසිනි.
‘කොහොම වුණත් ඇය රටවල්වල සංචාරය කරලා තිබුණත් බෝවන රෝග පරීක්ෂාව නෙගටිව් තත්ත්වයේ තිබුණත් අපි ඇයට ප්‍රතිකාර කළා. මම ඒ වෙලාවේ නම් ඒකට සම්බන්ධ වෙලා හිටියේ නෑ. මගේ සහායක වෛද්‍යවරියක් තමයි සම්බන්ධ වුණේ. ප්‍රතිශක්තිකරණ විශේෂඥ වෛද්‍යවරියකුත් සම්බන්ධ වුණා රුධිරයේ ප්‍රතිශක්තිකරණ පද්ධතියේ පරීක්ෂණයට. ඇය හිතුවේ ප්‍රතිශක්තිකරණ පද්ධතියේ ගැටලුවක් කියලයි. ඒකටත් ප්‍රතිකාර කළා. කොහොමවුණත් ඇය තරමක් සුවය ලැබුවා. ඇත්තටම ඉන් ප්‍රගතියක් පෙන්වා තිබුණා. ඇය තරමක සුවයක් ලබමිනුයි හිටියේ. සුදු රුධිරාණු ප්‍රමාණය සාමාන්‍ය අතට හැරුණා. ඒක එහෙම වුණාට මාස කිහිපයකට පස්සේ ඇගේ ආසන්නතම රෝහලේ වෛද්‍යවරයා අවධානය යොමු කරලා තිබුණා ඇගේ ස්වභාවය එතරම් හොඳ තත්ත්වයක නැති බවට. ඔහු හිතුවා මොනව හරි ගැටලුවක් තියෙනවා කියලා. ඇගේ හැසිරීමේ පවා අමුත්තක් තිබිලා තියෙනවා. ඒ නිසා ඒ වෛද්‍යවරයා මොළයේ එම්ආර්අයි ස්කෑන් එකක් කරන්න නියම කරලා තිබුණා ඒක කළාම ඉතා අසාමාන්‍ය ඉදිමුමක් ගැටිත්තක් හිසේ ඉදිරිපස ප්‍රදේශයේ පෙන්නුම් කරලා තිබුණා. මොළයේ ඉදිරිපස කොටසේ. ඉතින් ඊළඟට ඇයව නැවත අපේ රෝහලට එව්වා. මොකද වෙන්නේ කියලා බලන්න. ඒක පිළිකාවක් ද, සැරව ගෙඩියක් ද කියලා හොයන්න. ඉතින් අපේ ස්නායු ශල්‍ය වෛද්‍යවරියට ඇගේ සිරුරේ පටක විශ්ලේෂණ පරීක්ෂණයක් කරන්න ඕන වුණා. ඇයගේ මොළය විවෘත කරලා සාම්පලයක් ගන්න ඇය කටයුතු කළා. එතකොට ඇගේ අඬුවට යම් අමුතු දෙයක් අහුවුණා. මේ මොකක්ද කියලා ඇය හොයා බැලුවා. හදිසියේම ඇයට දකින්න ලැබුණේ පණුවෙක්. සෙන්ටිමීටර් 8ක් විතර දිග පණුවෙක්. රතුපාට, ඒ වගේම පණ තියෙන නලියන පණුවෙක්. ඒ මොහොතේදිම ඇය කලබලයට පත් වුණා.‘ මහාචාර්ය සංජය සේනානායක එසේ කීවේ දෑස් විසල් කර ගනිමිනි.
‘ස්නායු ශල්‍ය වෛද්‍යවරයෙක් මේ වගේ දෙයක් කවදාවත් දකින්න බලාපොරොත්තු වෙන්නේ නැති එකක්. අපි දැනගෙන හිටියා පණුවකුට මොළයට ඇතුළු වෙන්න පුළුවන්කමක් තියෙනවා කියලා. නමුත් මේ විශේෂිත පණුවා පරපෝෂිත පණුවා ඊට කලින් කවදාවත් මනුෂ්‍යයකුගේ සිරුරේ දකින්න ලැබිලා නෑ. ඒක තමයි අමුත්ත. ඉතින් මනුෂ්‍යයකුගේ සිරුරෙන් මේ වගේ පණුවෙක් සොයා ගත්තු පළමු වතාව මේක කියලා කියන්න පුළුවනි. මේ වගේ දෙයක් ඉතිහාසයේ සඳහන් වෙලා නෑ. සතුන්ගේ සිරුරේ විතරයි මීට කලින් වාර්තා වෙලා තියෙන්නේ.‘ ඔහු කීවේය.
‘මේ වගේ පරපෝෂිත පණුවෝ ජීවත් වෙන්නේ පිඹුරන්ගේ සිරුරේ. පිඹුරන් මලපහ කළාම ඒවායේ පරපෝෂිත බිත්තර තියෙනවා. වවුලන්, මීයන් වගේ පොඩි සතුන් ඇවිත් ඒ මලපහ ඇති තැන්වල ශාක පත්‍ර වගේ දේවල් ආහාරයට ගනිද්දී අහම්බයෙන් වගේ පිඹුරාගේ මලපහ පවා සිරුරට ඇතුළු වෙනවා. ඒවායේ පරපෝෂිත බිත්තර තියෙනවානේ. ඊළඟට ඒ සතුන්ගේ සිරුරු තුළ ඒවා වැඩෙනවා. ඊළඟට නැවතත් පිඹුරන් වගේ සර්පයන් ඇවිත් ඒ පරපෝෂිත බිත්තර සිරුරට ඇතුළු වුණු මීයන් වගේ සතුන් ආහාරයට ගත්තම ඒ තුළ ඇති පරපෝෂිත බිත්තර තවත් වැඩෙනවා. ඒක තමයි චක්‍රය. සාමාන්‍යයෙන් ඒක මනුස්ස සිරුරකට ඇතුළු වෙන්නේ නෑ. ඉතින් මේ කාන්තාව අහම්බයෙන් වගේ මේකට ගොදුරු වෙලා තියෙන්නේ.‘ මහාචාර්යවරයා එසේ පැහැදිලි කළේය.
පළමුවතාවට අපේ රෝහලට ආපු වෙලාවේ ඇගේ පෙණහලුවල හා අක්මාවේ ලප තිබුණා කියලා මම කිව්වනේ. ඒවා සමහරවිට අර පරපෝෂිත පණුවා ඒ තුළින් ගමන් කිරීම නිසා විය හැකියි. ඇත්තටම මාරාන්තික සිදුවීමක්. අපි පණුවා පිටතට ගත්තට පස්සේ කනස්සල්ලට පත්වුණේ තවත් පණුවන් ඇගේ සිරුරේ ඉන්නවදෝ කියලා හිතලයි. ඒ නිසා අපි ඇයට මාසයක් තිස්සේ ප්‍රතිකාර කළා. මොළයට ප්‍රතිකාර කරන ගමන් ඇගේ සිරුරේ පණුවන් ඇතැයි කියලා හිතෙන ප්‍රදේශවලටත් ප්‍රතිකාර කළා.‘ ඔහු පැවැසීය.
‘ඊට කලින් කියන්නම් මම මේකට සම්බන්ධ වුණේ කොහොමද කියලා. ඒ වෙලාවේ මම හදිසි අවස්ථා සඳහා රාජකාරියේ නිරත වෙලයි හිටියේ. එදා මොළයේ සැත්කම් කරන දවසක්. කාන්තාවගේ මොළයෙන් පණපිටින් පණුවා පිටතට ගත්තට පස්සේ අපේ ස්නායු ශල්‍ය වෛද්‍යවරිය මාව වහාම සම්බන්ධ කර ගත්තා. අපි හැමෝම එකතු වෙලා මේ ගැන හොයන්න පටන් ගත්තා. සමහර පණුවන්ට මිනිස් සිරුරකට ඇතුළු වෙන්න පුළුවන් කියලා අපි දැනගෙන හිටියත් මේ පණුවාගේ විශේෂත්වයක් තිබුණා. අපි ඒ ගැන හොයා බැලුවා. ඒ පණුවා සතුන්ගේ සිරුරේ ඉන්න පණුවෙක් කියලා අපිට සම්බන්ධ වුණු සතුන්ගේ සිරුරේ ඉන්න පරපෝෂිතයන් ගැන විශේෂඥවරයෙක් අපිට කියා සිටියා. කොහොම වුණත් මේක තමයි මේ වගේ දෙයක් වාර්තා වුණු ලෝකයේ පළමු අවස්ථාව.‘ ඔහු සඳහන් කළේය.
‘අපිට සමහර විට මේ පරපෝෂිත පණුවා සොයා ගන්න බැරි වෙලා තිබුණොත් ඒ පණුවා කොයිතරම් කාලයක් අර කාන්තාවගේ මොළය තුළ වැඩේවි ද කියලා අපි දන්නේ නෑ. සමහර විට ඇගේ මුළු සිරුර පුරාම යන්න පටන් ගනීවි. අක්මාව, පෙණහැල්ල පුරා යාවි. වෙනත් ස්ථානවලටත් ගිහින් ඇයට මාරාන්තික තත්ත්වයක් උදා කරන්න ඉඩ තිබුණා. කොහොම හරි ඒ කාන්තාව දැන් හොඳින් ඉන්නවා. අපි කොහොමත් එයා ගැන නිරීක්ෂණය කරමින් තමයි ඉන්නේ.‘ මහාචාර්යවරයා වැඩිදුරටත් කීවේය.
මහාචාර්ය සංජය සේනානායක මේ වන විට වසර 36ක් පුරා ඔස්ට්‍රේලියාවේ පදිංචිව සිටී. හෙතෙම එරට අතිශයින්ම කීර්තියට හා ගෞරවයට පත් මහාචාර්යවරයෙකි.
‘ඇත්තටම මම උපන්නේ මැලේසියාවේ. ඊටත් එහා අතීතයට යනවා නම් මගේ අම්මා තාත්තා ලංකාවේ උපන් ලංකාවේ හැදී වැඩුණු අය. මගේ තාත්තා සරත් සේනානායක කිතුල්ගල උපන්නේ. තාත්තා නම් දැන් ජීවතුන් අතර නෑ. එයා මීට අවුරුදු 11කට කලිනුයි මෙලොවින් සමු ගත්තේ. එයා උගුර, කන, නාසය සම්බන්ධ විශේෂඥ වෛද්‍යවරයෙක්. අම්මා මාලිනි සේනානායක. විවාහයට කලින් මාලිනි උඩුරාවණ. එයා මහනුවර පැත්තේ. අම්මා පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ උපාධිය ගත්තේ. තාත්තා කොළඹ වෛද්‍ය විද්‍යාලයේ. වෛද්‍යවරයකු වුණාට පස්සේ තාත්තා එංගලන්තයේ රැකියාව සඳහා ගොස් තිබුණා. ඊට පස්සේ මැලේසියාවට ගියා. එහේදි තමයි මම උපන්නේ. ඊළඟට තාත්තා නවසීලන්තයේ රැකියාවට ගියාට පස්සේ එහේදී තමයි මම අධ්‍යාපනය ලැබුවේ. මට අවුරුදු 15 දී විතර තාත්තාට ඔස්ට්‍රේලියාවේ රැකියාවක් ලැබිලා එහේ ගියා. එදා ඉඳලා මම ඔස්ට්‍රේලියාවේ.‘ මහාචාර්යවරයා එසේ කීවේ සිනාසෙමිනි.
‘කොවිඩ් වසංගත කාලයේ ඔස්ට්‍රේලියාව ගැන කතා කරද්දී මම මාධ්‍යය එක්ක කිට්ටුවෙන් වැඩ කරන නිසා මගේ නම නිතර නිතර ජාත්‍යන්තර මාධ්‍යවලින් කියැවුණා. කොවිඩ් කාලයේ ඔස්ට්‍රේලියාවේ මට ඇතුළු වෛද්‍යවරු හැමෝම ඉතා කාර්යබහුල ජීවිතයක් ගත කළේ. මම මගේ රැකියාවට අමතරව, රෝගීන් බැලීමට අමතරව, විශ්වවිද්‍යාලයේ ඉගැන්වීම්වලට මෙන්ම මාධ්‍ය සාකච්ඡා පවත්වන්නත් සිදු වුණා. ඒක පුදුම අත්දැකීමක් වුණා. ඒ කාලේ උදේ පාන්දර 4.00 ට ටීවී චැනල් එකකින් කතා කරනවා උදේ ෂෝ එකට මාව ඕනා කියලා. 6ට එන්න පුළුවන් ද කියලා.
ඊට පස්සේ රේඩියෝ සම්මුඛ සාකච්ඡා. ඔය විදිහට තමයි කාලේ ගත වුණේ. සමහර දවස්වලට මම ටීවී එකට එකට සම්මුඛ සාකච්ඡා 12ක් විතර දීපු දවස් තිබුණා. ඒ කාලයේ මම ටීවී එකට විතරක් සම්මුඛ සාකච්ඡා 700ක් විතර දුන්නා. රේඩියෝ එකට, පුවත්පත්වලට අමතරව.‘ ඔහු කීවේය.
‘ඇත්තටම අපි තවමත් කොවිඩ් වගේ වසංගතවලට නිරාවරණය වෙලයි ඉන්නේ. අලුත් වසංගත වයිරස් වරින්වර ලෝකයට එනවා. පහුගිය අවුරුදු 30ට අලුත් වයිරස් වසංගත 30ක් ලෝකයට ඇවිත් තියෙනවා. ඒ නිසා ඉදිරියේදී තවදුරටත් මේක සිද්ධ වේවි. වෛද්‍යවරු හැටියට ලෝකය පුරාම හැමෝම ඒ ගැන විපරමින් තමයි ඉන්නේ. කොවිඩ් කියන්නේ සාර්ස්, මර්ස් වගේම සතුන්ගෙන් මිනිසුන්ට ආසාදනය වුණු වසංගතයක්. ඒත් සමහර තර්ක විතර්ක තියෙනවා ඒක ලැබ් එකකදී හදපු එකක් කියලා. ඒත් ඒක ඔප්පු කරන්න සාක්ෂි නෑ. මම දන්නේ නෑ ඒක වෙන්න පුළුවන් ද බැරිද කියලා. කොටින්ම ලෝක සෞඛ්‍ය සංවිධානයවත් දන්නේ නෑ.‘ මහාචාර්යවරයා එසේ පැවැසීය.
සිය රාජකාරියට අමතරව මහාචාර්ය සංජය සේනානායක මහතා විවිධ පොත් කිහිපයක් ද ලියා පළ කර ඇත. ඔහුගේ පළමු කෘතිය හා දෙවැනි කෘතිය වෛද්‍ය විද්‍යාව ආශ්‍රිතව ලියැවුණු අතර, අවසන් වරට රචිත ‘Chilli, Chicks & Heart-Attacks‘ කෘතිය ඉන් ඔබ්බට ගිය ප්‍රබන්ධ නවකතාවකි. එය ලියැවී ඇත්තේ ශ්‍රී ලාංකික තරුණ වෛද්‍යවරයකු ඔස්ට්‍රේලියාවට සංක්‍රමණ වීමේ කතා පුවතකි.
‘මම ලංකාවට හරිම ආසයි. පහුගිය අවුරුදු 20දීම හැම අවුරුද්දකම මම ලංකාවට ආවා කොවිඩ් කාලේ හැරෙන්න.‘ ඔහු එසේ කීවේය.
වසර දෙකහමාරක් පුරා ඔස්ට්‍රේලියාවේ කොවිඩ් රෝගීන් සමඟ ඔට්ටු වූ මහාචාර්යවරයාට කොවිඩ් ආසාදනය වූයේ ද එසේ ශ්‍රී ලංකාවට පැමිණි අවස්ථාවකදීය.
‘ගිය අවුරුද්දේ මම ලංකාවට ආපු වෙලාවේ තමයි මට කොවිඩ් හැදුණේ.‘
නවසීලන්තයේ අධ්‍යාපනය ලැබූ අවධියේ ක්‍රිකට් ක්‍රීඩකයකු ලෙස තුන්ඉරියව්වෙන්ම දස්කම් පෑ මහාචාර්යවරයා බැඩ්මින්ටන් හා ස්කොෂ් ක්‍රීඩාවට ද උපන් හපනෙකි. එහෙත් පසුකාලීනව ඔහුගේ කාර්යබහුලත්වය මත ක්‍රීඩාවෙන් ඈත්වීමට සිදුවූ බව ඔහු කීවේය. ‘මගේ ආසම ක්‍රීඩකයා සර් විවියන් රිචඩ්ස්. ලංකාවෙන් මම අරවින්ද ද සිල්වාට, මුත්තයියා මුරලිදරන්ට ආසයි. කුමාර් සංගක්කාරටත් ඒ වගේම ආසයි.‘ ඔහු වැඩිදුරටත් එසේ කීවේය.
ශ්‍රී ලංකාවේ කෘෂිවිද්‍යා උපාධිධාරිනියක වන ඩිලුක්ෂි මෙන්ඩිස් සමඟ විවාහ වූ මහාචාර්ය සංජය සේනානායක මහතාට දියණියන් දෙදෙනෙකි.