පෙතන්ගොඩ උයන සීතාවක රාජධානියේ රාජකීය උද්‍යානයයි. අඟුරුවැල්ලෙන් ගලපිටමඩ පාරේ පෙතන්ගොඩ උයන පිහිටා ඇත. අවිස්සාවේල්ල කෑගල්ල පාරේ අඟුරුවැල්ල පසුකර යනවිට හමුවේ. 1521 විජයබාකොල්ලයෙන් උපත ලද සීතාවක රාජධානියේ රාජකීය උද්‍යානය වූ මෙය පළමුවැනි රාජසිංහ රජුගේ මඟුල් උයන ලෙස සැලකෙනවා. එසේම සීතාවක සිට උඩරට යන මාර්ගයේ රාජකීයයන් විවේක ගත් ස්ථානය බව ද දැක්වෙනවා.
මෙම උයන අලි ඇතුන්ගෙන් ආරක්ෂාකර ගැනීම සඳහා වටේට දිය අගලක් කපා තිබූ බවත් ඊට පිටතින් දකුණු ඉන්දියාවෙන් ගෙන්වන ලද උණ විශේෂයක් සිටුවා තිබූ බවත් දැක්වේ. අතීතයෙදී අක්කර ගණනාවක් පුරා තුරුලතා, මල්ගොමුවලින් ගැවසී ගත් දියදහරින් අලංකාර වූ බිම්පෙදෙසක් ලෙසට මේ ඉඩකඩ පවතින්නට ඇති බව සිතන්නට හැකිය. අද කුඩා සීමාවක් ගෙන ඇති මෙම ප්‍රදේශය අතීතයේදී කුඩා වැවකින්ද අලංකාරව තිබී ඇති අතර අද වෙල්යයායක් බවට පත්ව ඇත්තේ එම වැව බවට විශ්වාසයයි.
මෙම කටු උණ ශාකය දකුණු ඉන්දියාවෙන් ගෙන්වා සිටුවා ඇති බවත් එම උණ පඳුරු උද්‍යානය වටේම සිටුවා තිබුණු බවත් එසේ සිටුවා ඇත්තේ අතීතයේ බහුලව සිටි අලි ඇතුන්ගෙන් උයන ආරක්ෂා කිරීමට බවත් ජනප්‍රවාද වල කියැවෙනවා.
කෙසේ වෙතත් උණ පඳුරු දෙකක් මෑතක් වනතුරුම දක්නට ලැබුණු නමුත් ඒවා මේ වන විට මැරී ගොස් ඇත. එයට හේතුව ලෙස දක්වන්නේ මෙම උණ විශේෂයේ ආයු කාලය වසර 500ක් පමණ වන අතර ආයු කාලය අවසන් වීම ආසන්නයේ මල් හට ගන්නා බවත් ඉන්පසු මැරී යන බවයි. කෙසේ නමුත් දැන් එම ස්ථානයේ අලුත් පැළ සිටුවා තිබෙන බව සීතාවක පුරාවිද්‍යා කාර්යාලය පවසනවා. මෙම උණ විශේෂයේ ඇති කටුවලින් ද කටු හට ගනී. මෙය අපේ රටේ සල්ගල වැනි වෙනත් ස්ථාන වලින්ද වාර්තා වී තිබෙනවා.
‘මන්දාරම් පුවත‘ නම් ඓතිහාසික කෘතියේ සඳහන් වන අන්දමට සීතාවක රාජසිංහ රජුගේ මරණය සිදුවී ඇත්තේද මෙම උයනේ තිබූ උණ කටුවක් ඇනීමෙනි.
1588 වනවිට 1 රාජසිංහ රජු යාපනය හැර මුළු රටේම රජු බවට පත්විය.1596 දී පෘතුගීසීහු කොනප්පුබණ්ඩාර ගේ (පසුව මහනුවර රජවූ පළමු විමලධර්මසූරිය) සහායෙන් මන්නාරම සිට කන්ද උඩරටට හමුදා මෙහෙයවිය. මෙය නොරිස්සූ රාජසිංහ රජු මහනුවරට හමුදා මෙහෙයවා සටන් කළද ‘බලන‘ සටනින් පරාජයට පත්විය.
සීතාවක රාජසිංහ රජු විමලධර්ම සූරිය රජු සමඟ වෛරයෙන් පසුවී ඇත්තේ ඔහු සිංහලයන්ගේ පක්ෂය ගන්නට පෙර පෘතුගීසීන් සමහ එක්ව සිටි නිසා විය යුතුය. සටනින් පැරදී ආපසු එන ගමනේදි විවේක ගන්නට පෙතන්ගොඩ උයනට පැමිණි විට අසුපිටින් වැටී පාදයේ කටුවක් ඇනී රජු මියගොස් තිබෙනවා. මෙම තුවාලයට දොඩම්පේ ගණිතයා විෂ බැන්ද බවත් රජු මියගියේ එම විෂ නිසා බවත් දැක්වේ.
ජනශ්‍රැතියට අනුව උණකටුව ඇනී රජු අසාධ්‍ය වූ පසුව හංවැල්ල බලකොටුව කරා ගමන් කරවීමට සූදානම් වූ බවත් කරවනැල්ල ප්‍රදේශයේදී රජු කොරවු බවත් කියති. රජු කොරගැසූ ස්ථානය ‘කොරවුනැල්ල‘ ලෙස හඳුන්වා ඇති අතර පසුව එය කරවනැල්ල වී ඇත.
පාදයේ උණ කටුව ඇනී රාජසිංහ රජු මියයෑම පිළිබඳව විවිධ කතා ජනප්‍රවාදවල දැක්වෙන අතර මේ එදා එම සිදුවීම දැක්වෙන ප්‍රකට ජන කවියකි.
රුසිරු පෙතන්ගොඩ උයනට වැඩියාය
නපුරු උණ කටුව පතුලේ ඇනුණාය
එක්ව සිටි සැවොම වටවී මතුළාය
රාජසිංහ දෙවි නාමෙත් මැකුණාය
අද ද පෙතන්ගොඩ උයනේ දැකිය හැකි කටු උණ පඳුරු විශේෂයේ ඇති තියුණු කටුවක් ඇනීමෙන් ඇතිවූ තුවාලයත් ඒ මතට දෙඩම්පේ ගණිතයා හූනියම් කර විෂ බැඳිම් නිසාත් මෙම මරණය සිදු වෙන්නට ඇති ජනප්‍රවාදයේ එන ඉතා ප්‍රසිද්ධ කතාවකි.
පෙතන්ගොඩට නුදුරුව ගෝණගල පදිංචිව සිටි දොඩම්පේ ගණිතයා රජුට ප්‍රතිකාර සඳහා කැඳවීය. ඔහු එකල විසූ දක්ෂ මන්ත්‍රකරුවෙක් හා වෛද්‍යවරයෙක් විය. ඇත්බෙටි, ගවබෙටි, අශ්වබෙටි තල තෙලින් කකාරා තුවාලයට යෙදවූ බවත් ඒ නිසා රජුට පිටගැස්ම වැළඳී මරණයට පත්වූ බවත් සීතාවක රාජසිංහ රාජ්ජ කාලය නම් පුස්කොළ ලිපියේ සඳහන්ය.
තවත් යෝජනාවකට අනූව පැහැදිලි කරන්නේ එදා රජතුමන් මෙම පෙතන්ගොඩ උයනේ කටු උණ පඳුර ආසන්නයේ සිටින කල රාජසූරිය කුමාරයාගේ හිතවතුන් තුවාලයක් සිදුකළ බවත් පේදුරු සිඥෝ ප්‍රධාන කුමන්ත්‍රණ කරුවන් විසින් අස් බෙටි, ඇත් බෙටි, ගව බෙටි තල තෙල් කකාරා තුවාලයට දැමූ බවත්, ඉන් රජතුමන්ට පිටගැස්ම රෝගය ඇතිවී මරණයට පත්වූ බවත්ය. සීතාවක රාජසිංහ ‘රාජ්ජ කාලය‘ කතුවරයා මෙන්ම ශෛලේන්ද්‍රසිංහ වෙදරාල ලිපියකින් මේ බව තහවුරු වන බවට ඔවුන් පෙන්වා දේ.
තවත් ජනප්‍රවාදයකට අනුව . මෙම උණකටු පඳුරු ප්‍රදේශය නාගයන්ගෙන්ද බහුල ව තිබූ අතර රාජසිංහ රජතුමන්ගේ පාදයකට විෂකුරු සර්පයෙකු දෂ්ට කර තිබේ. පැමිණ සිටි පරිවාර වෛද්‍යවරුන් විසින් මෙතුමන් බේරා ගැනීමට උත්සාහ කළද අසමත්වූ බවත් අනතුරුව මහනුවර ප්‍රදේශයේ වන දක්ෂ සර්ප වෛද්‍යවරයෙක් කැඳවා ගෙන එන්නට දූතයන් යැවූ මුත් ඔහු එන විට රජතුමන් මිය ගොස් තිබූ බවත් කියැවේ.
මහනුවර කල ලියැවුණු ‘රාජාවලිය‘ වංශකතාව අනුව රජු යුද පැරදී පසු බසින විට පෙතන්ගොඩ රජ උයනේදී විෂ උණ කටුවක් ඇනී ඇත. රජු සමඟ අමනාපව සිටි රාජසූරිය කුමරුගේ කීම පිට දොඩම්පේ ගණිතයා රජුගේ තුවාලයට හූනියම් කර විෂ බැන්දවිය. ඇතැම් අය රාජසූරිය කුමරු රාජසිංහ රජුගේ පුතා ලෙසද හඳුන්වයි.
එහෙත් සීතාවක රාජසිංහ රජුගේ තුවාලයට හූනියම් කර වූ රාජසුරිය කුමරු රාජසිංහ රජුගේම මුනුබුරාය. සීතාවක රාජසිංහ රජුගේ දුව වූ මැණික් බිසෝ බණ්‌ඩාර සොළී කුමරකු හා විවාහ වූ පසු ලද වැඩිමල් පුතා රාජසූරියයි. ඇගේ දෙවැනි පුතා ජයසූරියයි. සීතාවක රාජසිංහ රජු උඩරට යටත් කළ පසු ඔහු වෙනුවෙන් 1585-1591 දක්‌වා උඩරට පාලනය කළේ මේ රාජසූරිය කුමරුය.
එම පාලකයා ලෙස සිටියදී ‘අස්‌ගිරි තල්පත‘ රාජසූරිය කුමරු හඳුන්වන්නේ නිකපිටියේ බණ්‌ඩාර නමිනි. පෘතුගීසීන් කොනප්පු බණ්‌ඩාර සමඟ උඩරටට එනවිට නිකපිටියේ බණ්‌ඩාර සීතාවකට පලා ගියේය. සීතාවක රාජසිංහ රජු මියගිය පසු රාජසූරිය කුමරු (ක්‍රි. ව. 1592 – 1593) කෙටි කලක් සීතාවක රජ කළේය. මෙම රාජසූරිය කුමරු දොඩම්පේ ගණිතයාගේ දූ සමඟ රහස් ප්‍රේම සම්බන්ධතාවයක් විය.
මේ තරුණියගේ නම මල්වතීය. මල්වතී දියනාමින් සිටිනු දුටු රාජසිංහ රජු ඇගේ රූමත් බව දැක බලෙන් පැහැර ගෙන ගොස් තම අගබිසව කර ගත්තේය. මල්වතී රාජසිංහ රජුට වඩා වයසින් ඉතා ළාබාල විය. තමා පෙම් කළ මල්වතී තම සීයා වූ රාජසිංහ රජු පැහැර ගෙන යැම ගැන කිපුණු රාජසූරිය කුමරු මල්වතීගේ පියා වූ දොඩම්පේ ගණිතයා ලවා රජට සූනියම් කළේය.
සෙංකඩගල කල ලියැවුණු ‘මන්දාරම්පුර පුවත‘ ඉතිහාස කාව්‍ය ග්‍රන්ථය අනුව යුද පැරදී සිත්තැවුලෙන් පෙතන්ගොඩ උයන හරහා රජු අසු පිටින් යද්දී මඩ වගුරක් මඟ හැරීමට රජු අසු මෙහෙයවද්දී අසු පිටින් බිම වැටී මඩ වගුරකට වැටී එහි තිබූ උණ කටුවක් මිරිවැඩි සඟළ ඉරාගෙන රජුගේ පාදයේ ඇනුණු බව ‘මන්දාරම්පුර‘ සඳහන් කරයි. ඒ අනුව මඩ වගුරට ඇද වැටුණු රජුගේ පාදය හිල් කරගෙන එහි වූ උණ කටුවක් ඇනුණේය.
පෘතුගිසී යුගයේ ලංකාව ගැන ග්‍රන්ථ ලියූ පෘතුගිසී ජාතික රොබේරෝ හා ක්‌වේරෝස් පියතුමා කියනුයේ කීරක් ඇනී රජු මළ අතර, තුවාලයට විෂ කැවීමක් නැත්නම් හූනියම් කළ බවක් කියන බවයි. රජු මිය යන විට වයස අවුරුදු 59 බව ක්‌වේරෝස් පියතුමා කියයි.
‘ඓතිහාසික සීතාවක‘ ග්‍රන්ථයේ පැරැණි සිංහල පුස්‌කොළ ලේඛන තුනක් ඇතුළත්ය. 1599 ලියවුණ ‘සීතාවක රාජ්‍ය කාලය‘ පුස්‌කොළ පොත – මානියම්ගම පුස්‌කොළ ලිපිය – ශෛලේන්ද්‍රසිංහ පුස්‌කොළ ලිපිය ඒ ලිපි තුනයි. 1599 සිටිනාමළුවේ ධම්මපාල හිමි ලියූ ‘සීතාවක රාජ්‍ය කාලය‘ පුස්‌කොළ පොත අනුව රාජසිංහ රජු යුද පැරදී පලා යන විට රාජසූරිය කුමරු තම සගයන් ලවා රජුගේ පාදවලට පහර දී තුවාල සිදු කොට ඇත. දොඩම්පේ ගණිතයා හූනියම් කළේ පාදවලට පහරදීමෙන් සිදු වූ ඒ තුවාලවලටයි.
මානියම්ගම පුස්‌කොළ ලිපිය අනුව රජු යුද පැරදී පලා යන විට රාජසූරිය කුමරුගේ ගැත්තන් රජුගේ දකුණු පාදයේ තෙල්වල කොටසට පහර දී තුවාල කළ අතර, දොඩම්පේ ගණිතයා විෂ බැන්දේ එම තුවාලවලටයි. රාජසිංහ රජු හා රාජසූරිය කුමරු අතර ආරවුලට මුල් වූ මල්වතී කුමරිය රාජසිංහ රජුට පෙර 1578 මළ බව මේ පුස්‌කොළ ලිපියේ කියැවෙයි. රජු ඇය සිහිවීමට පත්තිනි දේවාලයක් ගොඩනංවා ඇත.
‘ශෛලේන්ද්‍රසිංහ‘ පුස්‌කොළ ලිපිය වැදගත් වනුයේ රාජසිංහ රජු මරණයට පත් කිරීමට හවුල් වූ ක්‍රිස්‌තු භක්‌තික පේදුරුතුමා කළ වරද පාපොච්චාරණය කරන බැවිනි. නොයෙක් විෂ වර්ග එකතු කොට තල තෙලෙන් කකාරවා තුවාලයට බඳින ලදුව බෙහෙත්වල සැරට යාමයෙන් යාමයට (යාමය යනු – සිංහල පැය දහයකි. දවසට සිංහල පැය හැටකි.) රජගේ සිරුරේ සිදු වූ වෙනස්‌කම් පේදුරු විස්‌තර කරයි. දොළොස් වැනි යාමේදී ශරීරය පුරා විෂ පැතිර ගිය අතර, රජුගේ හම ගැල වී ගියේය. උණ කටුව ඇනී විෂ බැඳ යැම විසි දෙකක් හෙවත් සිංහල පැය 220 පසු (උණ කටුව ඇති දින හතරකට පසු) පෙතන්ගොඩ උයනේදී රජු මළ බව ශෛලේන්ද්‍රසිංහ පුස්‌කොළ ලිපිය සඳහන් කරයි.
‘ශෛලේන්ද්‍රසිංහ‘ පුස්‌කොළ ලිපියේ දැක්‌වෙන රජුගේ රෝග ලක්‌ෂණ වෛද්‍ය විද්‍යාත්මකව විවරණය කර ඇති වෛද්‍යවරු ඒවා වෛද්‍ය විද්‍යාවේ මූලධර්මවලට එකඟ බව පෙන්වා දෙයි. උග්‍ර විෂ ශරීර ගත වී හම ගැල වී විෂ පැතිර ගොස් රජු මිය ගිය බව මින් පෙනී යයි. රජු මිය ගියේ පෙතන්ගොඩ උයනේ සිට රෝගී වූ රජු අඟුලකින් රජමැඳුරට ගෙන ආ පසු බව සමහර මූලාශ්‍රවල කියයි. ශෛලේන්ද්‍රසිංහ ලිපිය අනුව රජු මිය ගියේ රජමැඳුරේදීම බව සනාථ වෙයි.
ඕලන්ද ජාතික බලදියෙස්‌ගේ ‘ලංකා විස්‌තරය‘අනුව බලන යුද්ධයෙන් පැරදී සිත්තැවුලෙන් එන රජු විෂ කටුවක් රජුම ඇන ගෙන රජ මැඳුරට පැමිණ ප්‍රතිකාර ප්‍රතික්‌ෂේප කොට එම විෂ උග්‍ර වී මියගිය බව කියැවෙයි.
රාජසිංහ සොහොන
යටියන්තොට පාරේ තල්දූව පසුකර පාරේ මඳ දුරක් ගියවිට ගුරුගල්ල පාර හමුවෙනවා. එහි මඳ දුරක් යනවිට පැරැණි තුරග තරග පිටිය දකින්න ලැබෙනවා. මේ පාරේ හරියටම කිලෝ මීටර් දෙකක් ගිය තැන රාජසිංහ සොහොන පිහිටි ස්ථානයට ළඟාවිය හැකියි. මහාමාර්ගය අද්දරම පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ නාම පුවරුවක් සවිකර තිබෙනවා. ප්‍රධාන මාර්ගයේ සිට මීටර් කිහිපයක දුරින් තරමක වදුලකින් වටවුණු රාජසිංහ සොහොනේ වර්තමානයේ දක්නට ලැබෙන්නේ ගල්කණු කිහිපයක් පමණයි. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මෙම ස්ථානය වැලි අතුරා වැටක් සවිකර තිබෙනවා. රජුගේ මරණයෙන් පසු සිරුර පාරුවක තබා කැලණි ගඟ ඹස්සේ ගෙනැවිත් මිහිදන් කොට තිබෙන බව ජනප්‍රවාදයේ දැක්වෙන අතර රජුගේ සිරුරට අත තබන්නට බිය වුණු නිසා පාරුව පිටින්ම මිහිදන් කළ බවටද මතයක් පවතිනවා.
ඡායාරූප – ශාන් රූපස්සර
විශේෂ ස්තූතිය – සීතාවක පුරාවිද්‍යා කාර්යාලයට සහ විශ්‍රාමික විදුහල්පති ඩබ්ලිව්. චන්ද්‍රසේන මහතාට