පුස්කොළ පොත් හත්ලක්ෂ පනස්දහසක් හොයන්න පන්සල් එක්දහස් පන්සීයකට ගිය ගමනක් …
ධර්ම සංග්‍රහ, මන්ත්‍ර, බෙහෙත් හේත්, නිල වෙදකම සහිත පුස්කොළ පොතුත් ඒ අතර …
කැලණි සරසවියේ පුස්කොළ පොත් ඩිජිටල්කරණය …
රට වටේ හෑරුවට වැඩක් නෑ හොඳම නිධන් වදුලු තියෙන්නේ කැලණියේ
පරම්පරා දෙකකට තුනකට පමණ ඉහතදී අලුත උපන් දරුවෙකුට වේලාපත්කඩය හදාගන්නට ගිය විට ගමේ පන්සලේ ලොකු හාමුදුරුවෝ හෝ ගමේ වෙද මහත්තයා රෝල් කරන ලද ඝන තල කොළයක් ගෙන අදාළ දේ එහි ලියා දෙන්නෝය. එකල කුඩා වියෙහි උන් වත්මනෙහි ජීවිතයේ වැඩිහිටි සමය ගත කරන බොහෝ දෙනෙක් කියන්නේ, මේ රෝල් කරන ලද පත් ඉරුවේ ඇති අකුරු ලෙහෙසියෙන් කියැවිය නොහැකි තේරුම්ගත නොහැකි වුවද නිතර නිතර එය දිග හැර බැලීමට තරම් කුතුහලයක් තිබූ බවය. මේ රෝල් කරන ලද තල්පතත් එක්තරා ආකාරයක පුස්කොළ පත් ඉරුවක් බව බොහෝ දෙනෙක් දන්නේ නැත. අද වන විට පුස්කොළ පොත් කිව් සැණින් බොහෝ දෙනකුට එක්වරම සිහිපත්වන්නේ වෙන්නේ නිධන් වදුලුය. නිධානවලට පාර කියන නිධන් වදුලු පමණක් නොව බෙහෙත් හේත්, ශාන්තිකර්ම මන්ත්‍ර වර්ග සටහන්ව තිබුණේද මෙවැනි පත් ඉරුවලය. වළගම්බා රජ සමයේදී ත්‍රිපිටකය මුල්වරට ග්‍රන්ථාරූඪ වූයේද පුස්කොළ පොත්වලය. අපේ රටේ පුස්කොළ පොත් ගැන කියවෙන ආදිතම එළිදරව්ව වන්නේ මහින්දාගමනයත් සිද්ධ වුණාට පසුවයි. බුදුන් පිටදුන් ශ්‍රී මහා බෝධිය තම්බපණ්ණියට වැඩම කෙරෙන අවස්ථාවේ අටලොස් කුල පිරිස ඇතුළේ පොත් ලිවීමේ හැකියාව තිබූ පුද්ගලයන් සිටි බවට අතීත පොතපතේ සඳහන් වේ. ඉතිහාස කතා සාක්ෂි දරන ආකාරයට පුස්කොළ ලේඛන කලාව ලංකාව තුළ ආරම්භ වූයේ ඉන් පසුවයි.
මෙලෙස ආරම්භ වූ පුස්කොළ පොත් ලේඛනගත කිරීම අපේ අතීත මුතුන් මිත්තන් විශිෂ්ට අයුරින් සිදු කර ඇත. එසේ මිල කළ නොහැකි පුස්කොළපොත් ලංකාවේ අහුමුළුවල දිරා යමින් හෝ කෘමීන්ගේ ආහාර බවට පත්වෙමින් කිසිදු සංරක්ෂණයක් නොමැතිව සුවඳ දුම් ආදියෙන් පුදපූජා පමණක් ලබමින් විනාශයට යමින් තිබුණු යුගයක් විය. ඒ ගැන උනන්දු වූ පිරිස අතලොස්සකි. එහෙත් ඒ උදවියටද ඒ වෙනුවෙන් කළ හැකි දෙයක් තිබුණේ නැත. ලැගුම්දෙනියේ පියරතන හිමියෝ මේ භාරදූර කාර්යයට මැදිහත් වන්නේ ඒ අතරවාරයේය. ලාංකිකයන්ගේ සංස්කෘතික උරුමයක් වූ පුස්කොළ පොත් පිළිබඳව එකොළොස් වසරකට පමණ පෙර ගැඹුරු අධ්‍යයනයකට පියරතන හිමියෝ පෙළඹුනහ. එහි අවසන් ප්‍රතිඵලය වශයෙන් එදා මෙදා තුර කාලයේදී එහිමියන් ගම් දනව් සැරිසරමින් එක්රැස් කළ පුස්කොළපොත් බොහෝය. ගණනින් ඒවා හත් ලක්ෂ පනස්දහසකට වඩා වැඩිය. එම පුස්කොළපොත් එක් රැස් කරන්නට උන්වහන්සේ වැඩමකළ පන්සල් ගණන එක්දහස් පන්සියකටත් වඩා වැඩිය. එලෙස එක් කළ පුස්කොළ පොත් සියල්ල මේ වන විට සංරක්ෂණය කොට වර්තමානයේ නවීන මෙවලමක් ලෙසින් ඩිජිටල්කරණයට ලක්කර ඇත. මේ වනවිට අනාගතයේ මේ පුස්කොළ පොත් පරිශීලනය කරන්නන්ට මහා දොරක් කැලණිය විශ්වවිද්‍යාල මණ්ඩපයේ විවෘත කර දෙන්නට තරම් උන්වන්සේගේ උත්සාහය පලදරා තිබේ.
පියරතන හිමියන් එලෙසින් ඒකරාශී කරගත් පුස්කොළ පොත් සංරක්ෂණය කර පවත්වාගෙන යන්නට මහාචාර්ය පියදාස රණසිංහ, හිටපු පීඨාධිපතිවරුන් සහ උප කුලපතිවරුන් වන මහාචාර්ය විජේරත්න, මහාචාර්ය සරත් අමුණුගම, මහාචාර්ය මද්දුම බණ්ඩාර සහ මහාචාර්ය චන්දන අබේරත්න වැන්නවුන් ගෙන් ද විසල් සහයෝගයක් ලැබී තිබේ. වත්මන් පීඨාධිපති මහාචාර්ය එම්. ඩබ්ලිව්. ගුණතිලක සහ අංශභාර මහාචාර්ය වීරසිංහයන් ද මේ සඳහා නොමද සහයක් ලබා දෙන බව පියනන්ද හිමියෝ පැවසූහ.
රට වටේ හෑරුවට වැඩක් නෑ හොඳම නිධන් වදුලු තියෙන්නේ කැලණියේ
තවමත් බොහෝ දෙනකු නොදන්නා වටිනා ඖෂධ, ජාතියක් පණගැන්වූ, ජාතියකට මහා වීර පුරුෂයන් බිහි කළ අපගේ අතීත බුද්ධිය, මහරහතුන් දෙසූ ධර්ම සංග්‍රහ අකුරු කළ පත් ඉරු සුරකින්නට උන්වහන්සේ ගන්නේ අපමණ වෙහෙසකි. 2010 දෙසැම්බර් 8 වැනි දින කැලණිය විශ්වවිද්‍යාලයේ ස්වර්ණ ජයන්තියට සමගාමීව ආරම්භ වූ පුස්කොළ පොත් අධ්‍යයන හා පර්යේෂණ පුස්තකාලය ආරම්භ වන්නේ එහි ප්‍රතිඵලයක් ලෙසය. එහෙත් මේ පුස්තකාලයෙන් මෙතෙක් කිසිවෙකුත් හරිහැටි නිසි ප්‍රයෝජන ගෙන ඇති බවක් පෙනෙන්නට නැත. ඒ නිසාම මේ පුස්කොළපොත් ලක්ෂ ගණනක් තුළ පත් ඉරු මත හංස, අස්ති, සිංහ, කාක අක්ෂර වලින් ලියා ඇත්තේ මොනවාදය පියරතන හිමියන් හැර තවමත් කිසිවකු හරිහැටි නොදන්නා බව නම් අපගේ විශ්වාසයයි.
“මේ පුස්කොළපොත් ලක්ෂ ගාණ හොයන්න මං කිලෝමීටර් ගණන් ඈත දුර බැහැර පන්සල්වලට ගියා. අපේ මූලික අවශ්‍යතාව කිවුවහම ඒ අදාළ පන්සල් වලින් ඉතාම කැමැත්තෙන් පුස්කොළපොත් ලැබුණා. ඒ අතර බොහෝ වටිනාකම් ඇති පුස්කොළ පොත් බොහොමයක් තිබුණා. අද අපේ ආයතනය සතුව පන්සිය පනස් ජාතක පොත් වහන්සේ, හත්ථවනගල්ල විහාරවංශය, රසවාහිනිය, බුත්සරණ, විශුද්ධිමාර්ගය යශෝධරා, සද්ධර්මරත්නාවලිය, නිධාන පාඨ, බාලාවතාර, සංඛ රුප්පති සූත්‍රපද ඇණවුම වගේ නිම කළ නොහැකි පොත් තිබෙනවා. ඊට අමතරව වෙද පොත්, සර්ප විෂ සඳහා මන්ත්‍ර හා බෙහෙත් පොත් අප ආයතනය සතුව පවතිනවා. අපේ සිංහල වෙදකම හරිම විශ්මිත දෙයක් දැනට අපි ළඟ තියෙන වෙදපොත් පුස්කොළපොත් හොඳින් අධ්‍යයනය කරලා එහි ඇති ගොඩක් දේවල් මම පෞද්ගලිකව ප්‍රායෝගිකව භාවිතා කරල තියෙනවා. ඒවායේ හොඳ ප්‍රතිඵලත් මම අත්විඳලා තියෙනව. අදටත් මම වෙදපොත් නිල වෙදකම වගේ ගොඩක් දේවල් ගැන පර්යේෂණ කරගෙන යනවා.”
හරක් වෙදපොත, කඩවර වෙළුම, කොළමල් පොත, ගරුඩප්පා රුව මන්ත්‍ර පොත, අරිෂ්ට ශතක සන්නය, තෙල් බෙහෙත්, ගණ දෙවි හෑල්ල, එළුදාවලිය වැනි තවත් වටිනා බොහෝ පුස්කොළ පොත් මේ එකතුවෙහි අන්තර්ගතය. සද්ධර්මලංකාරයේ මුල් පිටපත අඩංගු පුස්කොළ පොත දැනට ඇත්තේ ද මේ කැලණිය පුස්කොළ පොත් අධ්‍යයන හා පර්යේෂණ පුස්තකාලය තුළය.
වෙහෙර විහාරස්ථාන වලින් වගේම විවිධ පුද්ගලයන්ගෙන් ද මේ අයුරින් ලබා දුන් පුස්කොළ පොත් බොහොමයක් දාහත්වෙනි, දහඅටවෙනි, දහ නව වැනි සහ විසි වැනි සියවස්වලට අයත් ඒවාය. පුස්කොළ පොත් සටහන් තැබීම මෙන්ම පුස්කොළ පොත් නිර්මාණයත් ඉතා අසීරු ක්‍රියාවලියකි.
“තල පතක් තල ගහෙන් කඩාගත්ත පලියට එක පුස්කොළපොතක් වෙන්නේ නැහැ. බොහොම සීරුවෙන් කරන ක්‍රියාවලියක ප්‍රතිඵලයක් විදිහට තමයි තල කොළයක් ලිවීමට පාවිච්චි කරන පුස් කොළයක් බවට පත් වෙන්නෙ. ගොඩක් වෙලාවට පුස්කොළ හදන්න බලාපොරොත්තු වෙන තල ගහ පොඩි කාලෙදිම ඒ වෙනුවෙන් වෙන් කරනවා. ඒක වෙනත් දේ වලට පාවිච්චි වෙන්නේ නැහැ. ඒක හඳුන්වන්නේ තලගහ ලකුණු කිරීම විදිහට.
ඒ විදියට හොඳින් වැඩුණු තල ගහේ ගොබය කපා ගත්තට පස්සේ ඒකෙ තියෙන කූරු අයින් කිරීමක් සිද්ධ වෙනවා. කූරු අයින් කළාට පස්සේ මේ තල කොළ රෝලක් විදියට හකුලනවා. තල කොළ කීපයක් එක මත එක තියලා කරන මේ වැඩේ හඳුන්වන්නේ වට්ටු සැකසීම නමින්. හදාගත්ත වට්ටු බෙහෙත් මිශ්‍ර කරපු වතුරෙන් තැම්බීමක් සිද්ධ වෙනවා. සාමාන්‍යයෙන් මේ තැම්බීම පැය දෙක තුනක ඉඳන් දවසක් දක්වා වෙනවා. හොඳට අව්ව ඇති දවසක් බලලා තම්බාගත් පුස්කොළපොත් වෙනම මද පවනේ වේළන්න ඕනේ. ඉන්පස්සෙ පිළිවෙළින් මද අව්වේන්, මද පින්නේ වේලීමක් සිදු කෙරෙනවා.
වේලලා පදම් වෙච්ච තලකොළ ආයෙත් වට්ටු විදිහට ඔතනවා. වේලපු තලකොළ මදින්න ඕනෙ. මේක කරන්නේ කෙළින් අතට බැඳපු ඉනි දෙකක් මැද්දේ හරස් අතට පුවක් කඳක් සවි කරලයි. මේ පුවක් කන්ද උඩින් තල කොළය තියලා ඒක පැත්තකට තරමක් බරක් තියන්න ඕනේ. ඉන්පස්සෙ හරස් ලීයේ උඩට පහළට තල කොළය පරිස්සමින් ඇඳීමෙන් කොළේ මැද ගන්න පුළුවන්. මේ විදිහට මුදපු තල කොළ ආයෙත් වට්ටු විදිහට ඔතනවා.
මේවා දැන් හඳුන්වන්නේ මැදපු වට්ටු නමින්. තල කොළය පුස්කොළය වෙන්නේ මේ වෙලාවේයි. ඊට පස්සේ සුලි කැවීම හෙවත් සිදුරු විදීම සහ කොළ කැපීම සිදු කරනවා. යකඩ කූරක් ආධාරයෙන් තමයි මේක කරන්නේ. මුලින්ම පුස්කොළය තුනටත් ඊට පස්සේ හතරටත් නවලා නැවුම් පාරවල් ඔස්සේ සමාන දුරවල් වලින් සිදුරු විදගන්නවා. පුස්කොළපොතේ ස්වභාවය අනුව අච්චුවක් මාර්ගයෙන් කොළය ගානට කපා ගැනීමක් සිදු වෙනවා. ඉන්පසු රත ගෑම සිදු කෙරෙනවා.
මෙම ක්‍රියාවලිය සිද්ධ කරන්නේ පුස්කොළපොතට අපූරු නිමාවක් ලබා දෙන්න. පත්තුළ නම් උපකරණයක් මේ වැඩේට පාවිච්චි වෙනවා. ඒක ගිනියම් කරලා අච්චුවක් ඇතුළේ පුස්කොළය තියෙද්දිම දාරවල් ඇල්ලීමෙන් අනවශ්‍ය කෑලි පුළුස්සන්න පුළුවන්. පොත් කම්බාරි කියන්නේ පුස්කොළ පොත ආරක්ෂා කරමින් ඒ වටේ තියෙන කවරයට. දැව වර්ග වගේම සතුන්ගේ හම්, ඇත්දත්, රන්, රිදී, පිත්තල දේවලුත් මේක හදන්න පාවිච්චි වෙනවා. අපේ සාම්ප්‍රදායික මෝස්තර කැටයම් වලින් මේක ලස්සන කරනවා. ධර්ම කාරණා රචනාකර ඇති පුස්කොළ පොත්වල කම්බ මතුපිට ලියවැල්, පලා පෙති වැනි අලංකාර මල් පෙති රටාද විසිතුරු බව විඩි කරන ලාක්ෂා ලියකම්ද ඇතැම් නිර්මාණවල ඇත. මහාචාර්ය පියදාස රණසිංහ පවසා ඇති ආකාරයට පුස්කොළ පොත් ලේඛන කලාවත් මහා සහ චූල සම්ප්‍රදායන්ට අයිතිය.
ඒ විතරක් නෙමෙයි මැණික් ඔබ්බවපු වටිනා පුස්කොළ කම්බාරි දැක ගන්න ලැබෙනවා. කම්බාරි දෙක එකට බැඳලෙ තියෙන්නෙ සකියාගටන්. පොත් හුයේ කොළ විසිරිලා යන එක නවත්තලා තද කරලා බැඳ තබාගන්න මේකට පුළුවන්. මෙලෙස සූදානම් වූ පුස්කොළ පොතේ අවසාන ක්‍රියාවලිය අකුරු කැපීම. පුස්කොළ පත් ඉරු මත උල් කටුවකින් සිරිමක් වගේ දෙයක් තමයි මේකෙදි වෙන්නේ. මේ උල් කටුව පන්හිඳ කියලා හැඳින්වෙනවා. එසේ ලියන අකුරු වල හැඩයන් හතරක් ගැන අපේ ඉතිහාස පොත්වල සඳහන් වෙනවා. ඒ තමයි සිංහ ශෛලිය, හස්ති ශෛලිය, හංස ශෛලිය සහ කාක ශෛලිය. පුස්කොළ පොතක ධර්ම කාරණා ඇතුළත් නම් ඒ හැම පුස්කොළ පොතක්ම ලියවිලා තියෙන්නේ හංස අක්ෂරවලින්. හංස අක්ෂර ඉතාමත් අලංකාර අක්ෂර වර්ගයක්. වෙද පොත්, නැකැත් පුස්කොළ පොත්, වාස්තු විද්‍යා පොත්, බොහෝමයක් ලියලා තියෙන්නේ සිංහ නැත්තම් ඇත් අක්ෂරවලින්. හැබැයි පහසුවෙන් කියවාගන්න බැරි කුරුටු ගෑවා වගේ ලියාපු යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් විස්තර කෙරෙන පුස්කොළ පොත් ලියා තියෙන්නේ කාක අක්ෂරවලින්.”
රට වටේ හෑරුවට වැඩක් නෑ හොඳම නිධන් වදුලු තියෙන්නේ කැලණියේ
ලැගුම්දෙනියේ පියරතන හිමි
මෙලෙස දීර්ඝ ක්‍රියාවලියකට යටත්ව නිපදවෙන පුස්කොළ පොත වර්තමානේ විනාශ වීමට ඉඩ නොදී පියරතන හිමියන් ඇතුළු කණ්ඩායම ඒවා සංරක්ෂණය කරන්නේ මෙසේය.
“පුස්කොළ පොත් සංරක්ෂණය කරන්නේ කළු මැදීමෙන් හා සුදු මැදීමෙන්. පුස්කොළ පොතක් කළුමැදීම කියන්නේ ගැඩුම අඟුරු හොඳින් කුඩුකර ඊට දුම්මල තෙල් හා කැකුණ තෙල් එකතු කර සාදා ගන්නා කළු පැහැති ද්‍රාවණයෙන් එම පත්ඉරු හොඳින් ආලේප කිරීම. ඉන් පස්සේ ඒ ආලේප කළ කළු පැල්ලම් ඉවත් කරන්න සුදු මැදීම කරනවා. මේ කටයුත්තට භාවිත කරන්නේ කුරක්කන් පිටි. සුදු මැදීමෙන් පත්තිරුවට ඉතා දීප්තිමත් භාවයක් ලැබෙන අතර පුස්කොළපොතේ කපා ඇති අකුරු ඉලිප්පී කියවීමට පහසු කරනවා. එලෙස සංරක්ෂණය කළ පුස්කොළපොත් තැන්පත් කරනකොට වේයන්, කාවන් වැනි සතුන්ගෙන් පුස්කොළ පොත් බේරා ගන්නත් පිළියම් යොදනවා. ඒ සඳහා කරාබු නැටි, සැවැන්දරා මුල්, වියළි කොහොඹ කොළ, වැටකේ මල් වැනි දේ අපි භාවිතා කරනවා”
මෙතරම් කැපවීම් සිදු කරත් උරුමයක් වූ පුස්කොළ පොතේ වටිනාකම අද බොහෝ දෙනෙක්ගේ මතකයක හෝ නැති බව විශ්වාසය. පෘතුගීසි, ලන්දේසි හා ඉංග්‍රීසි ආදීන්ගෙන් සේම ඊටත් පෙර පවා ලංකාවට පැමිණි නොයෙක් පරසතුරු උවදුරු නිසා මහත් ගරු බුහුමනින් ආරක්ෂිතව පැවති පුස්කොළ පොත් විශාල ප්‍රමාණයක් ශ්‍රී ලාංකිකයන්ට අහිමිවිය. පෘතුගීසි හා ඉංග්‍රීසි ජාතිකයෝ ලංකාව යටත් කොට ගෙන සිටි කාලයේ දී මේ පොත්වල ලියා තිබුණු පාලි, සංස්කෘත හා සිංහල භාෂා මහත් ආයාසයකින් වුවද ඉගෙන ගත්තේය. මේ පොත් කියැවූ බටහිර පණ්ඩිතයන්ට මේ පොත්වල අන්තර්ගත අනුපමේය වූ පෙරදිග ඥානය හමුවිය.
ඔවුහු එම ඥානයට වෙසෙසින් ගෞරව කළහ. වැඩිදුර අධ්‍යයනය සඳහා පුස්කොළ පොත් විශාල ප්‍රමාණයක් නොයෙක් ක්‍රමයෙන් ඔවුන්ගේ රටවලට ගෙන ගියහ. එසේ ගෙන ගිය අති විශාල පුස්කොළ පොත් ප්‍රමාණයක් ඔවුන්ගේ අධ්‍යයන ආයතන වල, විශ්වවිද්‍යාල පුස්තකාල වල තැන්පත් කොට මහත් වුවමනාවෙන් ආරක්ෂා කොටගෙන අද දක්වා පරිහරණය කරමින් සිටී. මේ සඳහා කදිම නිදසුන වශයෙන් එංගලන්තයේ එඩින්බරෝ කෞතුකාගාරය හැඳින්විය හැක. අපෙන් සොරාගෙන ගිය ඉපැරණි පුස්කොළපොතේ තුන්දහස් එකසියක් පමණ අදටත් එඩින්ම්බරෝ කෞතුකාගාරයේ තිබේ. ශ්‍රී ලාංකීය අප සතු ධර්ම කරුණු සඳහන් පොත් විශාල ප්‍රමාණයක් අද පවා විදේශිකයෝ ලංකාවෙන් ගෙන ගොස් ඔවුන්ගේ අභිවෘද්ධිය සලසා ගනිති. ඒ ගැන සතුටක් ඇති නමුත් ඒවාහි පිටපතක් හෝ අපට ලබා නොදීම ගැන අප කනගාටු විය යුතුය.
රට වටේ හෑරුවට වැඩක් නෑ හොඳම නිධන් වදුලු තියෙන්නේ කැලණියේ
“මීට වසර කිහිපයකට කලින් මෙහේ ආව ඔස්ටේ්‍රලියානු සරසවියක ආචාර්ය මහාචාර්යවරු පිරිසක් අපිට හරි අපූරු යෝජනාවක් කළා. ඒ අය කිව්වා මේ කරගෙන යන විදිහටම රට පුරාම සැඟවී ඇති පුස්කොළ පොත් සොයාගෙන සංරක්ෂණය කොට ප්‍රතිෂ්ඨාපනය කරන්නට අවශ්‍ය සියලුම මූල්‍ය ප්‍රතිපාදන ලබාදෙන්නම් කියලා. ඒ විතරක් නෙවේ ඔවුන්ගේ විශ්වවිද්‍යාලයේ පුස්කොළ පොත් පිළිබඳ අධ්‍යන අංශයක් ආරම්භ කරලා අංශාධිපතිකමත් මට භාරදෙන්නම් කිව්වා. හැබැයි එක කොන්දෙසියක් පිට. ඩොලර් මිලියන ගාණක් ලැබෙන ඒ ව්‍යාපෘතිය අපි ඒ එකම කොන්දේසිය නිසා අත්හැරියා. ඒ අය කිව්වේ අපි හොයලා පර්යේෂණ කරන හැම පුස්කොළ පොතකම ඩිජිටල් පිටපත් ඒ ගොල්ලන්ගේ සරසවියට ඕනෑ බව. පීඨාධිපතිතුමාවත් මමවත් අපේ උරුමය ඩොලර්වලට විකුණන්නේ නෑ කියලා නිශ්ශබ්ද වුණා.”
දැනට ලංකාවේ ඉතිරිව ඇති පුස්කොළ පොත් රැකගැනීමට මහත් උත්සාහයක් දරන ආයතන හා පුද්ගලයන් කිහිප දෙනකු හෝ සිටීම ජාතියේ වාසනාවකි. ඒ අතරින් ලැගුම්දෙනියේ පියරතන හිමියන් ජාතියේ පිනට පහළ වූ යතිවරයෙකි. “අපි මේ වෙනකොට එකතු කරලා තියෙන පුස්කොළ පොත් ගැන කවුරු කවුරුත් ගැඹුරින් හැදෑරීමක් කළොත් විශේෂයෙන් විවිධ රෝගාබාධ සඳහා සුදුසු බෙහෙත් වට්ටෝරු මානසික රෝග සඳහා යන්ත්‍ර මන්ත්‍ර කෙම් ක්‍රම ඕනෑ තරම් මේ හත්ලක්ෂ පනස්දහක පුස්කොළපොත් අතරේ සැඟවිලා තියෙනවා. දේශීය හා ආයුර්වේද වෛද්‍යවරුන්, වෛද්‍ය ශිෂ්‍යන් මේ ස්ථානයට ඇවිත් හදාරනවා නම්, පර්යේෂණ කරනවා නම් ඊට කවුරුත් විරුද්ධ වෙන එකක් නෑ.”
කැලණිය විශ්වවිද්‍යාලයේ පුස්තකාල හා තොරතුරු අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය හිමිනමක් ලෙස කටයුතු කරන ලැගුම්දෙනියේ පියරතන හාමුදුරුවෝ පොළොන්නරුව තමන්කඩුව දෙපළානේ අධිකරණ සංඝ නායක හිමියෝ ද වෙති. උන්වන්සේ මේ සද්කාර්යයට හදවතින්ම කැපව සිටිති.
ලැගුම්දෙනියේ පියරතන හිමියන් විශේෂයෙන් සඳහන් කරන කාරණයක් තිබේ. ඒ මෙතෙක් සොයාගත් පුස්කොළ පොත් වලටත් වඩා වැඩි ප්‍රමාණයක් තවමත් අපේ රටේ වෙහෙර විහාරස්ථාන වල, පුද්ගලයන් සන්තකයේ තිබිය හැකි බවයි. විනාශ වී යන්නට කලින් ඒවායේ පිටපත් ලබා ගැනීම සඳහා කැලණිය විශ්වවිද්‍යාලයට ලබාදීම අපේ උරුමය රකිනු පිණිස කරනු ලබන මහඟු මෙහෙවරකි.
ඒ සඳහා කැලණිය විශ්වවිද්‍යාලය දුරකථන අංකයත්, ලැගුම්දෙනියේ පියරතන හිමියන් ගේ (071) 822 7550 ) ජංගම දුරකථන අංකයත් විවෘතය.
මල්මී රාජපක්‍ෂ