එදා පිටකොටුවේ සෑම පැත්තටම විහිදී තිබූ ගුරු පාරවල් පසුව කළුගල් පුවරු ඇතිරීමෙන් ලස්සන වුණා.
ඒ ඉංග්‍රීසි පාලන කාලයේදියි. සූරිය ඇතුළු ගස්වැල්වලින් මේ වීදි අලංකාර වුණු බව ඉංග්‍රීසි ලේඛකයන්ගේ කෘතිවලින් පැහැදිලි වෙනවා.
එවැනි අලංකාර වීදියක් සහිත පිටකොටුවේ පෙදෙසක කොටුවට යාබදව පිහිටි තැනක් තමයි කාපිරි මුඩක්කුව කියන්නේ. අප්‍රිකාවෙන් කැඳවාගෙන පැමිණි කාපිරි ජාතිකයන් සිටි නිසා මේ පෙදෙසට කාපිරි මුඩුක්කුව කියන නම 1900 වනවිට ව්‍යවහාර කර තිබෙනවා. අද නම් මෙහි කාපිරි කිසිවෙක් දකින්න නැහැ.
ලංකාවේ කාපිරි
අදත් අප්‍රිකානු සම්භවයක් සහිත ජනතාව පුත්තලමේ සහ මඩකළපුවේ වාසය කරනවා. 1630දී මුලින්ම මොසැම්බික්, මැඩගස්කර් වගේ රටවල්වලින් එකතුකරගත් කාපිරි ජනතාව රැගත් නැවක් ලංකාවට ගෙන්නුවේ පෘතුගීසින්. ඒ අය ගෙන්වා ඇත්තේ ලංකාවේ වහල් සේවයට යොදවන්නටයි.
1796දී ලංකාවේ මුහුදුබඩ පළාත් ඉංග්‍රීසීන්ගේ පාලනයට යටත් වුණා. ඉන්පසු කාපිරි ජනතාව රාජ්‍ය සේවයේ පහළ කම්කරු තනතුරුවල යොදවා තිබෙනවා. වර්තමානයේ කොම්පඤ්ඤවීදිය නමින් හඳුන්වන වහල් දූපත පිහිටි තැන එකල කාපිරි ජාතිකයන් රඳවා තිබූ ස්ථානය ලෙස සැලකෙනවා.
කොළඹ කොටුවේ ලංකා බැංකු මූලස්ථානය සහ ඇචිලන් බැරැක්කවලට යාබදව අතීතයේ ‘කපිර් වෙල්ටඩ්’ නම් විවෘත බිමක් පැවතුණු බව ආර්.එල්. බ්‍රෝහියර් සඳහන් කරනවා. ඕලන්ද බසින් කපිර් වෙල්ට්ඩ් යනු කාපිරින් පෙරට්ටුව සඳහා කැඳවූ ස්ථානයයි. බි්‍රතාන්‍ය ආණ්ඩුව පසුව කාපිරි සේනාංකයක් ඇති කළ බව පැවසෙනවා. එම සේනාංකය වෙනුවෙන් 1875දී පමණ බි්‍රතාන්‍ය සොල්දාදුවන් බැරැක්ක ඉදි කළ බව ද සඳහන් වෙනවා. එහි එක් මායිමක් ලෙස බේරේ වැවත් අනෙක් පස ඇතුළු නගරයේ කොටු බැම්ම තිබූ බව ද සඳහන් වන කරුණක්. මේ ස්ථානයට නුදුරින් පිහිටි පෙදෙසක් 1900 පමණ සිට හැඳින්වූයේ කාපිරි මුඩුක්කුව ලෙසයි.
අලුතින් දැමූ නම්
කුමාර වීදියෙන් හැරී ගොස් කාපිරි මුඩුක්කුවට පැමිණිය හැකියි. අදින් දශක කිහිපයකට පෙර සිට කාපිරි මුඩුක්කුව යන නිල නොවන නාමය වෙනුවට මේ ස්ථානය රෝහිණි පටුමඟ සහ කෝසල පටුමඟ ලෙස නම් කර තිබෙනවා. කාපිරි මුඩුක්කුවට එක්වූ තවත් පාරක් තිබෙන අතර එය කීතර් මාවත ලෙස නම් කර තිබෙනවා. පිටකොටුවේ අනෙක් ජනාකීර්ණ වීදි හා සසඳන විට අදත් කෝසල පටුමඟ එතරම් ජනාකීර්ණ නැති වාහන විශාල වශයෙන් ගමන් නොකරන පෙදෙසක්.
කාපිරි මුඩුක්කුව
‘කාපිරි මුඩුක්කුවේ’ එදා පැවතුණේ එකිනෙකට බද්ධ වුණු මුඩුක්කු ගෙවල්. මෙහි පදිංචි වී සිටියේ නගරයේ දුප්පත් ජනතාවක්. ඔවුන් හොඳ අධ්‍යාපනයක් නොලැබූ නූගත් පිරිසක්. වැඩිදෙනෙක් ජීවනෝපාය උපයාගත්තේ මුට්ට කර ගැසීමෙන්. සමහරු නගර සභාවේ කුණු ඇදීමත් කළා.
වතුර ලබා ගැනීමට ළිං නොතිබූ අතර වත්තටම තිබී ඇත්තේ එක් පයිප්පයක් පමණයි. මේ නිසා වතුර ගැනීමට සැමවිටම දිගු පෝලිම් පැවතුණා. ව්‍යාපාරික පෙදෙස්වලට ලැබී තිබුණු පහසුකම් මේ වත්තට ලැබී තිබුණේ නැහැ.
චන්ඩින් රජ කළ තැනක්
කාපිරි මුඩුක්කුව අතීතයේ පැවතුණේ චන්ඩින්ගේ රජදහනක් ලෙසයි. 1900 මුල භාගය වනතෙක් එහි වැඩි වරප්‍රසාද හිමි කරගෙන සිටියේ චන්ඩින් පිරිසක්. ඔවුන් කප්පම් ගනිමින් වෙනම ආණ්ඩුවක් පරිදි කටයුතු කළ බවයි පැවසෙන්නේ. රාවලින් මත් වී ආයුධ ගෙන සිටි මේ චන්ඩින්ට ව්‍යාපාරිකයන් පවා කප්පම් ගෙවා තිබෙනවා. රා ඩේවිඩ් අයියා, රෙජි අයියා, කෝට් සෙල්ලයියා, ගෝරිල්ලා, බණ්ඩා, මුගර් විලේ අයියා ඒ කාලේ කාපිරි මුඩුක්කුවේ රජ කරපු චන්ඩින් ලෙස වැඩිහිටියන් පවසනවා. එදා පොලිසිය පවා මේ චණ්ඩි මෙල්ල කිරීමට කටයුතු කර නැහැ.
කාපිරි මුඩුක්කුවේ පරණ කෝට්
කාපිරි මුඩුක්කුවේ සුද්දන්ගෙ කාලෙ ඉඳලම පැවැති වෙළෙඳාමක් තමයි පරණ ඇඳුම් අලෙවිය. අදත් ඒ ව්‍යාපාරය ජයටම සිදු වෙනවා. කුඩා ඉඩක් සහිත කඩ කාමරවල ගොඩගහලා තියෙන්නේ පරණ ඇඳුම් කමිස, කලිසම්, ටී ෂර්ට්, ෂෝට් ආදියයි.
පරණ ඇඳුම් එකතු කරන පුද්ගලයන් ළඟට ඒවා ගේන්නේ පරණ කෝට්කාරයින්. ඔවුන් ගෙවල් ගානේ ගිහින් එකතු කරගෙන එන ඇඳුම් කෝසල පටුමඟට රැගෙනවිත් අලෙවි කරනවා. ඒවා මුලින්ම වර්ග කර සෝදා මැද ගන්නවා. ඉන්පසු පරණ ඇඳුම්වලට හොඳ පෙනුමක් එනවා. නවීකරණය කළ පරණ ඇඳුම් තොගයට අලෙවි කරන එක කෝසල පටුමඟේ ව්‍යාපාරිකයන්ගේ එදා කටයුත්තයි.
කුසුම්සිරි විජයවර්ධන
අනුග්‍රහය – අන්තර්ජාලයේ Roar Media
ආශ්‍රිත ග්‍රන්ථ ලේඛන – කොළොම්පුර
පුරාවෘත්තය – ආර්.එල්. බ්‍රොහියර්
පරිවර්තනය – පද්මා එදිරිසිංහ