ලංකා ඉතිහාසය පිළිබඳව සොයා බැලීමට ඉවහල් වූ මූලාශ්‍ර අතර විදේශිකයන් විසින් ලියන ලද විස්තර ඉතා වැදගත් විය. ඉනුත් විදේශ ආක්‍රමණවලට පෙරත්, විදේශ ආක්‍රමණ සමයේත්, එම ආක්‍රමණවලට පසුවත් ඔවුන් විසින් ලියන ලද තොරතුරු ඉතා වැදගත් වී තිබේ. ‘රොබට් නොක්ස්’ උඩරට සිරකාරයෙකුව සිට ලියන ලද විස්තර මෙන්ම 17වන සියවසේ අග භාගයේදී ලන්දේසි හා පෘතුග්‍රීසි ආධිපත්‍ය පැවැති යුගයේදී පෘතුග්‍රීසි පූජකවරයෙකු වූ පර්නාඩෝ ක්වෙරෝස් ලියන ලද The Temporal and Spiritual Coquest of Ceylon (ද ටෙම්පෝරල් ඇන්ඩ් ස්පිරිචුවල් කෙන්ක්වෙස්ට් ඔෆ් සිලෝන්) නමැති ග්‍රන්ථය ඉතා වැදගත් වේ. පොත් හයකින් යුත් මෙම ග්‍රන්ථයෙන් ක්‍රි.ව. 1687 කාලසීමාවේ ලංකාවේ දේශපාලන තත්ත්වය හා සමාජ තත්ත්වය මෙන්ම චාරිත්‍ර වාරිත්‍ර, ඇදහිලි හා වෙනත් විවිධ විෂයයන් රාශියක් ගැන තොරතුරු ලිය වී තිබේ. ලංකාවේ ඉතිහාසය ගැන විශේෂයෙන් සඳහන්ව ඇත.
ක්වෙරෝස් පූජකතුමා ලංකාවේ ඉතිහාසය ගැන ලියා ඇත්තේ ක්‍රි.ව. 1660දී ලංකාවේ සිටි ඉතාලි ජාතිකයෙකු වූ “නෙග්‍රේව්” නමැති පූජකවරයා ලියන ලද ග්‍රන්ථයක් ඇසුරෙණි. නෙග්‍රේව් පූජකවරයා එවකට කන්ද උඩරට රජ කළ සෙනරත් රජතුමාගේ දරුවාට ඉගැන්වීමේ යෙදී සිටියේය. එතුමා ලංකා ඉතිහාසීය තොරතුරු ගැන පුස්කොළ පොත්වලින් කියවා තිබෙන බව විස්තර කරයි. නෙග්‍රේව් පූජක තුමා අනුරාධපුරය ගැන සොයා බැලූ බව එතුමාගේ ග්‍රන්ථයේ සඳහන් වේ. අනුරාධපුරයේ ගල් කණු, ගණන් කර උස, පළල, දිග මැන බැලූ බව සඳහන් කර ඇත. අනුරාධපුරයේ ගල් කණු 1600ක් ඇති ස්ථානයක් ගැන කියන එතුමා එම ස්ථානය ආරෝග්‍ය ශාලාවක හෝ විශ්‍රාම ශාලාවක නටඹුන් විය හැකි බව විශ්වාස කරයි. එම ස්ථානය ලෝවාමහපාය විය හැකි බව අපට සිතිය හැකිය. ලංකාවේ සිටි පෘතුග්‍රීසි ආණ්ඩුකාරයෙකු වූ “කොන්නන්නිනෝ ද සා නොරෙඤ්ඤෝ විසින් පෘතුගාලයේ රජුගේ නියෝගයෙන් අනුරාධපුරයේ පුරාවස්තු පිළිබඳව සොයා බැලීමට කණ්ඩායමක් යවන ලද බව සඳහන් කරන නෙග්‍රේව් පූජක තුමා පෘතුග්‍රීසි ආණ්ඩුකාරයා දින 15ක් එම සොයා බැලීම් කළ බවත්, අනුරාධපුරය කැලෑවෙන් වැසි තිබුණ බැවින් කිසිම පුරා වස්තුවක් සොයා ගැනීමට නොහැකි වූ බවත් සඳහන් කරයි.
නෙග්‍රේව් පූජක තුමා කළ ගවේෂණයේදී ස්ථූප තුනක් සොයාගෙන ඇත. ඒවා “පිරමිඩ”යනුවෙන් එතුමා හඳුන්වයි. වැව් තුනක් ද එතුමාට හමුවී තිබේ. එම වැව් පිළිබඳව සඳහන් කරන නෙග්‍රේව් පූජක තුමා ඒ එක් වැවක වට ප්‍රමාණය ගව් දොළහක් පමණ වන බවත් මෙම වැව්, ඉන්දියාවේ “කාවේරි” හෝ මැලේසියාවේ “එබ්රෝවේ” වැව්වලට නොදෙවෙනි බවත් මෙරට වාරි කර්මාන්තය ඉතා අගනා උසස් කර්මාන්තයක් බවටත් ඉතා ඉහළින් වර්ණනා කර තිබේ. මෙසේ ඉතිහාස විස්තර සඳහන් කරන නෙග්‍රේව් පූජක තුමා ලියන ලද ග්‍රන්ථය වූ “කොනිකල් ඔෆ් ද ෆොවින්ස් ඔෆ් ද නෝවේ” නමැති ග්‍රන්ථයේ අත් පිටපත ක්‍රි.ව. 1610දී රෝමයට ගෙන ගිය අතර ක්‍රි.ව. 1755දී ඇති වූ භූමිකම්පාවේදී එම ග්‍රන්ථය විනාශ විය. ක්වෙරෝස් පියතුමා එම ග්‍රන්ථයෙන් ඉතිහාස තොරතුරු ලබාගත් බව පැහැදිලි වේ.
ක්වෙරෝස් පියතුමා දේවානම් පියතිස්ස රජතුමාව හඳුන්වනු ලබන්නේ දෙවන සෙන්ටෝ යනුවෙනි. දේවානම් පියතිස්ස සමයේ අනුරාධපුරය ගැන එතුමා විස්තරයක් කර ඇත. ඔහු සිංහලයන් මිථ්‍යා දෘෂ්ටිකයන් ලෙස හඳුන්වන අතර අනුරාධපුරයට එම නම ලැබුණේ 90ක් රජවරු රජකම් කර ඇති බැවින් යයි විස්තර කර තිබේ. ගව් දොළහක් දිග හා ගව් හතරක් පළල වූ අනුරාධපුර නගරයෙහි ගෙවල් ගඩොලින් බැඳ සාදා තිබෙන බව සඳහන් කරයි. එම නගරයෙහි තනි තට්ටුවේ ගෙවල් 9000ක් ද තට්ටු දෙකේ ගෙවල් 9000ක්ද තිබුණ බව කියන ක්වෙරෝස් පියතුමා අසාමාන්‍ය ශ්‍රී විභූතියකින් යුත් විහාර සහිත පාසල් 60ක් පමණ තිබුණ බවත් සඳහන් කරයි.
වරින් වර දකුණු ඉන්දියාවේ ආක්‍රමණවලට ලංකාව ලක් වූ බව පවසන ක්වෙරෝස් පූජක තුමා ඒවායින් සිංහලයා ජයගත් බව සඳහන් කරයි. වරක් සිංහලයා එක්තරා සටනකදී පසුබසින අවස්ථාවේදී භික්ෂූන් වහන්සේ නමක් දුන් උපදෙසක් මත වැවක සොරොව්වක් හැරදැමූ බවත් නගරය වටලා සිටි සතුරු හමුදාව එම වැවේ ජලයෙන් යටකර විනාශ කළ බවත් කියා ඇත. මෙසේ එක් අවස්ථාවකදී දකුණු ඉන්දීය සතුරන් 12000ක් අල්ලාගෙන විත් දොළොස්දහස් කෝරළයේ පදිංචි කර වූ බව සඳහන් කරයි.
රටේ දේශපාලන තත්ත්වයන් ගැන විස්තර කළ ක්වෙරෝස් පූජක තුමා රට විනාශ වූ ආකාරය ගැන මෙසේ විස්තර කර තිබේ. “සමෘද්ධිමත් රටක් වන ලංකාවේ ඇති වූ සිවිල් සිද්ධින් හා වසූරිය වසංගතය නිසා සියල්ල විනාශ වී ගියේය. ආහාර හිඟවීමෙන්ද වසංගත පැතිරීමෙන් ද අනුරාධපුර වැසියෝ විනාශයට පත් විය. සතුරු ආක්‍රමණවලදී කැලෑ වැදුන මිනිසුන් එසේම වනයේම ජීවත් වූ නිසා වැද්දන් බවට පත් විය. මෙසේ කියන ක්වෙරෝස් පූජක තුමා වැද්දන් ගැන දීර්ඝ විස්තරයක් කර තිබේ.
මෙම පූජකවරයා සිංහලයාගේ ආවේණික සිරිත්, විරිත්, ගති ලක්ෂණ ගැන ද කීමට අමතක නොකළේය. ඔහු සිංහලයා ගැන මුලින්ම සඳහන් කළේ සිංහලයෝ පොදුවේ ගත් කල අභිමාණීය, ආඩම්බර, අලස, ජාතියක් ලෙසටයි. විශේෂයෙන් රාජකීය ලේ ඇත්තෝ ඔවුන් දෙවියන්ගෙන් පැවත එන්නන් ලෙස විශ්වාස කළ බව කියයි. ඔවුන්ගේ ජාතිය හා රාජ්‍යයේ ශ්‍රේෂ්ඨත්වය නිසා ද, ඔවුන් ජිවත් වූ නිදහස් නිවහල් පරිසරය නිසා ද රටෙහි පිහිටීම හා දේශගුණය, ධන සම්පත් ආදිය නිසා ද එසේ අභිමාණී ආඩම්බර, අලස ජාතියක් බවට පත් වී ඇති බව ක්වෙරෝස් පූජක තුමා සඳහන් කර ඇත.
සිංහලයන්ගේ ඇඳුම් පැළඳුම් ගැන ඔහු මෙසේ විස්තර කරයි. “ඉතාමත්ම දුප්පත් අය පවා දණෙන් පහළට වැටෙන සේ මනාව සැකසූ ඇඳුම් අඳිති. සාමාන්‍යයෙන් පාවහන් නොදමයි. නියත වශයෙන්ම ගැහැනු පාවහන් නොදමයි. නමුත් ඇඳුම්වලින් විශාල ලෙස අලංකාර වෙයි. මැණික් එබූ රං රිදී ඇත් දත් ආභරණ පළඳියි. බටහිර විලාසිතාවන්ට වහල්වීමට අකමැති ජාතියක් වන සිංහලයා පෘතුග්‍රීසීන්ගේ විලාසිතා වැළඳ ගැනීම ගැන උපහාසයට ලක්කරන ක්වෙරෝස් පූජක තුමා රටේ රජුට පක්ෂපාතීත්වයෙන් සිටිමේදී ඔවුහු නිතරම වෙනස් වන චපල ස්වරූපයක් ගන්නා බවත් එසේ වුවත් විදේශ බලවේගයන්ට යටත් නොවීමට මහත් මුරණ්ඩුකමක් දක්වන බවත් පවසයි.
ක්වෙරෝස් පූජක තුමා සිංහලයාගේ සදාචාරාත්මක ගතිගුණ සිරිත් විරිත් ඉතා ඉහළින් අගය කර ඇත. එය සෙසු ලෝකයාට ආදර්ශයක් වන බව ද කියයි. සිංහලයා හොරකමට අකමැති යයි කියන ඔහු සිංහලයා හොරකමට බියක් දක්වන්නේ කලින් ලබන ලද දඬුවම් නිසා හෝ එසේ ලැබූ දඬුවම් ගැන දන්න නිසා විය හැකි යයි පවසයි. සිංහලයාගේ ගෙවල්වල දොර ජනෙල්වලට අගුළු දැමීමක් නොකරන බව ද ඔහු කියයි.
ක්වොරෝස් පූජක තුමාගේ ද ටෙම්පරෝල් ඇන්ඩ් ස්පිරිචුවල් කොන්ක්වෙස්ට් ඔෆ් ද සිලෝන් ග්‍රන්ථය ඓතිහාසික මූලාශ්‍රය වශයෙන් ඉතා වැදගත් ග්‍රන්ථයකි. එහි “මහනුවර ත්‍රිකුණාමලය, යාපහුව, කෝට්ටේ, යාපා පටුන, බදුල්ල සහ තවත් ස්ථාන ගැන අප්‍රකට වූත් වැදගත් වූත් තොරතුරු රාශියක් සඳහන් කර තිබේ. ඔහුගේ ග්‍රන්ථයේ බදුල්ලේ වැසියන් ගැන ද විස්තරයක් කර ඇත. බදුල්ලේ වැසියෝ චාම් හොද ගති ගුණ ඇති පුද්ගලයෝ ලෙස ඔහු හඳුන්වයි.
ක්වෙරෝස් පූජක තුමාගේ විස්තරයෙහි සඳහන් වන්නේ “බැටික්ලෝ” නමින් හඳුන්වන ප්‍රදේශයේ නියම නම “මඩකලපුව” බවයි. ඔහු සඳහන් කරනුයේ මඩකලපුවේ ඇති “තිරුකෝවිල්” බෞද්ධ විහාරයක් ලෙසයි. එම විහාරයේ සිටි ගනින්නාන්සේ (ස්වාමීන් වහන්සේ) “පේරමියෝ ද අසවේදූ” විසින් මරා දමා විහාරය විනාශ කර දැමූ බව වැඩිදුරටත් විස්තර කර ඇත.
“ත්‍රිකුණාමලය” යන නම සෑදී ඇත්තේ පන්සල් තුනේ කන්ද යන තේරුම ඇතුවය. ලංකාවේ රජවරු එම කඳු ගැට තුන මත පැගෝඩා (පිරමිඩ) තුනක් ගොඩනැගූ බව ක්වෙරෝස් පූජක තුමා සඳහන් කරයි. කොන්නන්තිනු ද සා එම පන්සල් තුන විනාශ කර එම විහාරවල ගල් ගෙන සතුරු ආක්‍රමණ වැළැක්වීම සඳහා වරාය කොටු කර බලකොටුවක් බැන්ද බවත් විහාරයේ වැඩ සිටි අන්තිම ගනින්නාන්සේ පෘතුග්‍රීසින් විසින් හිස ගසා මරා දැමූ බව එතුමාගේ ග්‍රන්ථය සඳහන් කරයි. ත්‍රිකුණාමලය වරාය ලංකාවේ තිබූ වරායවලින් හොඳම වරාය බවත් ලෝකයේ තිබෙන වරායවල් අතරින් ද හොඳම වරාය බවත් ත්‍රිකුණාමලය ගැන දීර්ඝ විස්තරයක් ක්වෙරෝස් පියතුමාගේ ග්‍රන්ථයේ සඳහන් වේ. තව ද මඩකලපුවත්, ත්‍රිකුණාමලයත් අතර වරායවල් තුනක් තිබූ බව ද ඔහු සඳහන් කර තිබේ.
යාපනය අල්ලා ගැනීමට පෘතුග්‍රීසින් සටනක් කර ඇත. එම සටනේදී ඔවුන්ට විරුද්ධව සටන් කර ඇත්තේ සිංහලයන් බව ක්වෙරෝස් පියතුමා සඳහන් කර තිබේ. එම සටනේදී යාපනයේ පාලකයා පරාජය වීම නිසා ඇති කරගන්නා ලද ගිවිසුම ලියා ඇත්තේ සිංහල භාෂාවෙන් හා පෘතුග්‍රීසි භාෂාවෙනි. ඒ බව ක්වෙරෝස් පූජක තුමාගේ ග්‍රන්ථයේ II වැනි කොටසේ 371 වැනි පිටුවේ සඳහන් කර ඇත.
ලංකාවේ දුප්පත්ම ප්‍රදේශය “පානම” ප්‍රදේශය බව හඳුන්වන ක්වෙරෝස් පියතුමා එම ප්‍රදේශයේ පන්සල් විහාර කිසිවක් හමු නොවන බව සඳහන් කරයි. “වලවේ” ප්‍රදේශය ගැන සඳහන් වන්නේ එම ප්‍රදේශයේ වැසියෝ දිනපතාම වී වැපුරුව බවත් දිනපතාම ගොයම් කැපුව බවත්ය.
මහනුවර ගැන සඳහන් වෙන ක්වෙරෝස් පියතුමාගේ ග්‍රන්ථයේ “මහනුවර නගරයේ ගෙවල්වල උළු සෙවිලි කර නොතිබුණ බව සඳහන් කර ඇත. සිංහලයා දුරින් දුරින් පිහිටි තම පරම්පරාගත ගොවි බිම්වල ජීවත්වීමට කැමති බවත් ඔවුන් අවි ආයුධ පරිහරණය ගැන නිතර නිතර පුහුණුව ලබන බවත් එමගින් මහත් තෘෂ්ඨියක් ලබන බවත් විස්තර කර ඇත.
එතුමාගේ ග්‍රන්ථයේ සමනළ කන්දේ සිට රජකම් කළ ‘සකල’ නමැති රජෙකු ගැන සඳහන් වේ. සකල රජු බ්‍රහ්මචාරීව යෝගියෙකු ලෙස ශ්‍රීපාද කන්දේ සිට රට පාලනය කළ බවත් රටවැසියනට ඔවුන්ගේ දුක් ගැනවිලි කීමට රජු හමුවීමට දුෂ්කර වූ බැවින් රට පාලනය තම සොයුරිය වූ “කපුරු”ගේ පුත්‍රයාට භාර දී ශ්‍රී පාද කන්දේ භාවනායෝගීව විසූ බවත් ක්වෙරෝස් පූජක තුමාගේ ග්‍රන්ථයේ වැඩිදුරටත් විස්තර වේ.
පෘතුග්‍රීසින් විසින් සිංහලයෝ ක්‍රිස්තියානි ආගමට හරවා ගැනීමට උත්සාහ කළ ද එය අපහසු කාර්යක් වූ බව ද ක්වෙරෝස් කියයි. නැඟෙනහිර මුස්ලිම් බලපෑම නිසා සිංහලයන් ක්‍රිස්තියානි ආගමට හරවා ගැනීමට නොහැකි වන බවත් බෞද්ධයන් නිදහසේ සිතීමට හැකියාව ඇති ජාතියක් නිසා ඔවුහු ආඩම්බරය, අහංකාරය චපලය හා අස්ථීර ගති ඇති බවත් ක්වොරෝස් වැඩිදුරටත් සඳහන් කරයි. තව ද පෘතුග්‍රීසින් සමග විසීමෙන් ලැබෙන වාසි ලාභ ප්‍රයෝජන සඳහා තාවකාලිකව ක්‍රිස්තු සමය වැළඳ ගත්ත ද පෘතුග්‍රීසි ආධිපත්‍යයට විරුද්ධව ඕනම අවස්ථාවක ආයුධ අතට ගැනීමට ඔවුන් පසුබට නොවෙති. බෞද්ධයන් ක්‍රිස්තියානි ආගමට හරවා ගැනීමට විරුද්ධව පෙරළි කළේය. එනිසා මෙම දිවයින ක්‍රිස්තියානි ආගමට හරවා ගැනීමට නොහැකි වූ බව ක්වෙරෝස් ගේ ග්‍රන්ථයේ සඳහන් වේ.
මරණයට බියවීම අගෞරවයක් ලෙස සලකන සිංහලයා වස විෂ දී මරණයට පත් කිරීම නින්දාවක් ලෙස සලකන බව ක්වෙරෝස් සිය ග්‍රන්ථයෙන් සඳහන් කර ඇත. ඒවගේම එම ග්‍රන්ථයේ විස්තර කෙරෙනුයේ මෙසේය. “කිසි දුක් ගැනවිල්ලකින් තොරව මුහුණේ හැඟීම්වල වෙනසක් ඇතිකර ගැනීමෙන් තොරව මරණය පැමිණන තුරු බලා සිටින ඔවුන්ගේ ධෛර්්‍යය හා චිත්ත ශක්තිය පුදුම සහගතය.”
ලංකාව ආක්‍රමණය කළ ප්‍රථම යුරෝපීය ජාතිකයන් වූ පෘතුග්‍රීසින් හා ලන්දේසින්ගේ පාලන කාලය පිළිබඳව 17 වන සියවසේ අගභාගයේදී ඉතිහාසගත තොරතුරු රැසක් පෘතුග්‍රීසි පූජකවරයෙකු වූ පර්නාඩෝ ද ක්වෙරෝස් පියතුමා ලියන ලද The Temporal and Spiritual Coquest of Ceylon (ද ටෙම්පරෝල් ඇන්ඩ් ස්පිරිචුවල් කොන්ක්වෙස්ට් ඔෆ් සිලෝන්) නමැති ග්‍රන්ථයෙන් අපට දැන ගත හැකිය.
පරකඩුවේ
සෝමපාල මෙනේරිපිටිය