කලාකාමී කාශ්‍යප නිරිඳුන් විසින් ගොඩනංවන ලද සීගිරි පර්වත බලකොටුවෙහි හෙවත් කලාගාරයෙහි අද අපට දැකගැනීමට හැකි වටිනා ම කලාකෘති නම් පර්වත ගුහාවක (ගුහා දෙකක් යැයි ද කියැවේ) ඉතිරි ව ඇති ලලනා සිතුවම් කිහිපය යැයි මම සිතමි. මේ එකල එහි වූවා යැයි සැලැකෙන පන්සියයක් පමණ වූ ලලනා රූපවලින් අද ඉතිරි ව ඇති සිතුවම් කිහිපය යි.
“සිරි ලක්දිවැ පිහිටි සිරිබර සිහිගිරී
එ(න මෙ)පතා දනන් මන ගන්නා ගිරී
පන් සියක් අග්නන් නිරින්දු සිකා සිරී
බැලූමො කැට්තල් යහවන් වැ සසිරී”
(කුරුටු ගී 560)
පැරැණි සිංහල සිතුවම් කලාවෙහි ශ්‍රේෂ්ඨතම සිහිවටනය ලෙස විශ්ව කීර්තිධර මේ අමිල සිතුවම් කිහිපය කාශ්‍යප රජුගේ රාජ්‍ය සමය ලෙස ගැනෙන ක්‍රි.ව 477 – 495 යන කාලයේ දී සිත්තම් කැරෙන්නට ඇතැයි සැලැකේ. මනහර ආභරණයන්ගෙන් සැරැසී මල් අත දරමින් වලාකුළු අතරින් මතු වී සිටින ලලනාවන් සමූහයක් මේ සිතුවම්වලින් නිරූපණය කොට තිබේ. මේ සිතුවම්වලින් නිරූපණය කිරීමට අරමුණු කරන ලද ස්ත්‍රීහු කවරහු ද? මේ වනාහි කලා රසවතුන් මෙන් ම උගතුන් ද නිබඳ වෙහෙස වූ විවාද සම්පන්න පැනයකි. අඳුරෙන් වැසීගත් අතීතයට එල්ල කැරෙන දුබල ආලෝකයක් මෙන් මේ ගැන ඉදිරිපත් වන මත කිහිපයකි. ඉන් මත කිහිපයක් පමණක් අපේ අවධානයට ගනිමු. ඒ අනුව මින් නිරූපණය වන්නේ;
- අසල පිහිටි පිදුරංගල විහාරයට
මල් පූජා කිරීමට යන කසුප් රජුගේ
බිසෝවරු ය. - වලාවන් තුළින් මතු වී සිටින දිව්‍ය අප්සරාවෝ ය.
- විද්‍යුත්ලතාවෝ හා මේඝලතාවෝ ය.
- කසුප් රජුගේ රාජසභා ස්ත්‍රීහු ය.
- උයන් කෙළියට යන රජුගේ බිසෝවරු හා සේවිකාවෝ ය.
- මරණයකින් සොවට පත් රාජසභා ස්ත්‍රීහු ය.
මේ පළමුවැනි මතය ඉදිරිපත් කරන ලද්දේ පුරාවිද්‍යාඥ එච්.සී.පී. බෙල් මහතා විසිනි. පසු ව මාර්ටින් වික්‍රමසිංහ මහතා ද මේ මතය පිළිගෙන කරුණු දක්වා තිබේ. මේ ලලනාවන් මල අත දරා සිටීම මේ මතය ගැනීමට මූලික කරුණ සේ පෙනුණත් ඒ මත පදනම් වීම එතරම් සුදුසු නො වන බව පෙනෙන්නේ මල් වන්දනාමානය පමණක් සංකේතවත් නො කරන බැවිනි. මල් අතින් ගත් ලලනාවන්, පිදුරංගල විහාරය, වන්දනාමාන කිරීම යන මේවා එක් කරමින් පහළ කරන ලද නිර්මාණාත්මක සංකල්පනාවකට ය, මෙය වඩාත් ළං කළ හැක්කේ. මේ සිතුවම් ආගමික අර්ථයකින් සිතුවම් නො කරන ලද බව පැහැදිලි ලෙස පෙනෙන්නට තිබේ. බුද්ධ වන්දනාවට යන ස්ත්‍රීනුත් මේ ස්ත්‍රීනුත් අතර පැහැදිලි වෙනස්කම් තිබේ. මේ ස්ත්‍රීහු නානාප්‍රකාර විසිතුරු ආභරණයෙන් සැරැසී සිටිති. ඇතැම් ස්ත්‍රීහු පියවුරු පෙනෙන ලෙස හැඳ සිටිති. බොහොමයක් මුහුණුවල ශ්‍රද්ධා භක්තියක ස්වරූපයක් නො පෙනේ. අනෙක් අතට ඔවුන් මල් ඉවත දමන, පොබවන, ඉසින, සුවඳ ආඝ්‍රාණය කරන ස්වරූපය අනුව පෙනෙන්නේ මේ මල් වන්දනාව පිණිස ගෙන නො යන බව යි. මොවුන් දැකීමෙන් යමෙකු තුළ රාගික හැඟීම් ද ඇති විය හැක.
“(නු)යුන් මන බද්නා පියවුරු බැලුම් රුස්නා
අ බෙයදහි රන්වන් මන මතහස් යොමු කළ තමා”
(කුරුටු ගී 126)
මල් වට්ටියක් දෝතින් ගෙන සිටින ලලනාවක එය තමා ඉදිරියේ සිටින තවත් ලලනාවකට පිළිගන්වන අයුරින් නිරූපිත සිතුවම මේ මතයට වඩාත් සමීප ය. භක්තිමත් විලාසයක් නිරූපණය කැරෙන්නේ එම සිතුවමේ ය. එහෙත් එහි ද මල් වට්ටියෙන් මල් ගන්නා ලලනාව එම මල් ඉවත දමන අයුරක් පෙනේ.
ශ්‍රේෂ්ඨ කලා විචාරකයකු වූ ආචාර්ය ආනන්ද කුමාරස්වාමි මහතා නියෝජනය කරන මේ දෙවැනි අප්සරා මතය බෙහෙවින් ම පිළිගැනීමට ලක් ව ඇති මතය යි. අප්සරාවෝ නම් මනු ලොවත් දෙව් ලොවත් අතර වසන දිව්‍ය විශේෂයක් ලෙස හැඳින්වෙති. ඒ කියැවෙන්නේ වලාකුළු අතර ද? වලාවන් තුළින් මතු වී සිටින අයුරින් මේ රූප නිරූපණය කර තිබීම මෙම මතය ඇති කිරීමට මහත් සේ ඉවහල් වී ඇති බව පෙනේ. ලලනාවන්ගේ දිව්‍යමය රූපශ්‍රීයත් චමත්කාරජනක අභිනයනුත් එයට තවත් පිටිබලයකි. එකල සීගිරිය නැරැඹූ ඇතැමුන් ද මේ මතය ගත් බව දරා ඇති බව පෙනේ.
“මමජ් මෙසෙ(යි)න මෙ උපන් ජැය්හි විසජමි
දී සි(ත්හි එ)සියල් ව(න)සරන් බට් මිහිතෙලෙ”
(කුරුටු ගී 98)
“සගැ දිට්(මි) අසරන්න් සි(ටි සෙ මෙ බෙ)යන්ද්හි සිරින්
උපුළ උන් කෙළී රසන් වැළැ (ග)න්නා රිසින හත්”
(කුරුටු ගී 104)
“කිමිජ (බ)ර විල්හි අත් යුගලෙන් ඉගිලී
ගෙලෙ ල විජිලි (නි)ව ගිම් දිව අසර අස (මෙ)හි ආ”
(කුරුටු ගී 178)
“වෙති මිහි දෙ(ව)සරන් (සි)ති එ රන්වනුන් වි දුට්
(මි)හි (සිතන) කෙනෙකුන් ඇත මීලැස් (උ)න් සිතෙන සෙ(ය්)”
(කුරුටු ගී 407)
වඩාත් සාධාරණ මතය ලෙස පෙනෙන්නේ මෙය වුවත් මෙහි ද ගැටලු පවතී. මේ සිතුවම්වල දැක්වෙන ලලනාවෝ හැම දෙනා ම එක සේ රූමත් නො වෙති. ආභරණ ආදියේ ද අඩු-වැඩිකම් පෙනෙන්නට තිබේ. වර්ණය ගත්ත ද ඇතැම් ස්ත්‍රීහු පැහැපත් නො වෙති. වෙසෙසින් ම යුගළ සිතුම්වල දැක්වෙන එක් රුවක් සේවිකාවකගේ නොහොත් තත්ත්වයෙන් සමාන නො වන තැනැත්තියකගේ බව දැකිය හැක. කොසො මංජුසාවක් වැනි යමක් අතකින් ඔසොවාගෙන සිටින මේඝ වර්ණ ලලනා රුව තලතුනා සේවිකාවකගේ රුවක් යැයි බෙහෙවින් නිගමනය කළ හැක. අනෙක් අතට අප්සරාවන් මල් අත දරනවා විය හැකි නමුත් වට්ටි පෙට්ටි ඔසොවාගෙන සිටින්නේ මන්ද? මේ සමහර රුවක මුහුණින් පළ වන හැඟීම් අනුව ද මොවුන් අප්සරාවන් වෙති’යි යන්න සැකයට බඳුන් වේ.
මෙහි දක්වන ලද තුන්වැනි මතය ඉදිරිපත් කොට ඇත්තේ කීර්තිමත් පුරාවිද්‍යාඥයෙකු වූ මහාචාර්ය සෙනරත් පරණවිතාන මහතා ය. එය සංකේතාර්ථයන් ගැන කියන්නකි. රන් පැහැයෙන් දැක්වෙන ලලනාවන් විද්‍යුත්ලතාවත් නිල් පැහැයෙන් දැක්වෙන ලලනාවන් මේඝලතාවත් සංකේතවත් කරන බව ඔහු කිය යි. ඒ අනුව රන්වන් ලලනාවෝ විදුලිය වෙති; නිල්වන් ලලනාවෝ මේඝය වෙති. මේ මතයට මූලික වී ඇත්තේ මේ ලලනාවන්ගේ ශරීර වර්ණය හා පසුබිමේ ඇති වලාකුළුත් බව පෙනේ. ස්ත්‍රී රූප රන් පැහැයෙනුත් නිල් පැහැයෙනුත් වර්ණ ගන්වා තිබීම මේ සංකේතාර්ථයෙන් පැහැදිලි කිරීමට හැකි නමුත් සිත්තරුන් එතරම් දුරස්ථ අර්ථයක් අපේක්ෂා කළා යැයි සිතීමට අපහසු ය. මේ අර්ථයෙන් බැලිය හැක්කේ වර්ණ දෙකෙහි වෙනස වඩාත් හොඳින් නිරූපිත යුගළ සිතුවම් යැයි සිතමි. පහත දැක්වෙන කුරුටු ගීය ලියූ කවියා ද වර්ණයෙහි වෙනස දකින්නේ සියලු සිතුවම් එක් ව ගැනීමෙන් නො ව එක් යුගළ සිතුවමක් ඇසුරෙන් බව පෙනේ.
“නිල් ක(ට්)රො)ළ මලෙකැ ඇවුණු වැට්කොළ මල සෙය්
සැන්දැගැ සිහිවෙන්නෙය් මහනෙල්වන හ(ය්) රන්වන හුන්”
(කුරුටු ගී 334)
මොහු කියන්නේ “මහනෙල් පැහැත්තිය සමග හුන් රන්වන් පැහැත්තිය” කියා ය. “පැහැත්තියන්” නො වේ.
ඉහත දක්වන ලද හතරවැනි හා පස්වැනි මත ද සාධාරණීකරණය කැරෙන සිතුවම් මේ සීගිරි සිතුවම් අතර තිබෙන බව පෙනේ. මොවුන් සැරැසී සිටින අත්‍යාලංකාර ස්වරූපය අනුව මේ සාමාන්‍ය කාන්තාවන් නො වන බව ඉතා පැහැදිලි ය. රූපශ්‍රීය, ඇඳුම් ආයිත්තම්, පලඳනා, මල් වට්ටි ආදියත් මල් පොබවමින්, ඉවත දමමින් යන කෝමල ලතාවත් ඇතැම් සිතුවමක අත්හි පැනෙන යම් නර්තන ඉරියවුවක් වැනි පිහිටුමත් මීට සාධක ලෙස ගිණිය හැකි ය. වෙසෙසින් ම සේවිකාවන් යැයි සැක කළ හැකි ස්ත්‍රීන් කැටුව සිටීම ද සැලැකිය යුතු වේ. එසේ වුවත් මේ මත ද ගැටලු සහගත වීමට කරුණු තිබේ. වෙසෙසින් ම රාජ සභාවක සිටින ස්ත්‍රීන් සමූහයක් හෝ උයන් කෙළියට යන ස්ත්‍රීන් සමූහයක් මීට වඩා ප්‍රීති-ප්‍රමෝදිත ස්වරූපයක් ගනු ඇත. සැණකෙළි සිරියක් මේ සිතුවම් අතර දැකගැනීමට අපහසු ය. මහත් කොට සෙන සිනාවකුදු එකදු මුවක හෝ රැඳී නැත. ඊට ප්‍රතිපක්ෂ ව ගැඹුරු කල්පනාබර ස්වරූපයක් ඇතැම් සිතුවම් වෙතින් දිස් වේ. කිසියම් චිත්තාපර අවස්ථාවක පසුවන අයුරක් සමහර සිතුවමකින් දැක්වෙන බව ද පෙනේ. උයන් කෙළියට යන හෝ රාජ සභාවෙහි පසු වන අවස්ථාවක් යනු කල්පනාවෙහි ගිලී සිටින අවස්ථාවක් නො වේ. මේ ලලනාවන් කසුප් රජුගේ බිසෝවරුන් යැයි කුරුටු ගී ලියූ ඇතැම් කවියන් ද සිතූ බව පෙනේ.
“මෙසෙය් මෙසව් සතු සියොව් සිරි විද් ද වි
තබය් පිළිබිබ් රජු යිහි මෙ ගියයුන් නොජන් සෙය් කිම්”
(කුරුටු ගී 130)
“තබයි පිළිබිබ් මොබ තමහට මෙ හො ත දරයි
නි(රි)ද් ඉසිරා වියෙවැ මියරිසි පත් (නොවන්)නෙය”
(කුරුටු ගී 406)
සීගිරි සිතුවම් මඟින් නිරූපණය වන්නේ රාජ සභාවෙහි වැලපීමක් ය’ යන මේ සවැනි මතය ඉදිරිපත් කොට ඇත්තේ කෘතහස්ත වියතෙකු වූ ආචාර්ය නන්දදේව විජේසේකර මහතා ය. සිය “පැරැණි සිංහල බිතුසිතුවම්” පොතෙහි ලා ඔහු මේ පිළිබඳ ඉතා සියුම් නිරීක්ෂණයක යෙදෙ යි. මෙම සිතුවම්වල දැක්වෙන ලලනාවන්ගේ මුහුණුවලින් නිරූපිත හැඟීම් පිළිබඳ විමර්ශනයෙහි යෙදෙන ඔහු ඒ අනුව මේ මතය ඉදිරිපත් කර යි. වෙසෙසින් ම ලලනා රූ දෙකක් සම්බන්ධයෙන් ඔහුගේ එම නිරීක්ෂණය වඩාලාත් සාධාරණ බව ද පෙනේ. එහෙත් හැම ස්ත්‍රී රූපයක් කෙරෙහි ම එය ඒ ලෙස ම අදාළ නො වන බව පැහැදිලි ය. ඔහු කියන පරිදි මොවුන් මේ වැලපෙමින් පුෂ්පෝපහාර දක්වන්නේ කාශ්‍යප රජුගේ මෘත දේහයට ය. එසේ නො වේ නම් (සිතුවම් කර වූයේ මුගලන් නම්) ධාතුසේන රජුගේ මෘත දේහයට ය! කාශ්‍යප රජුගේ මරණයත් මේ ලලනාවනුත් සම්බන්ධ කැරෙන කුරුටු ගී ද කැටපත් පවුරින් හමු වේ.
“ගන රිසි කොට් වයමිනි වෙණ ඔරත් ළඟ කොට්
නිරිද් ඉසිරා මෙළෙයි ඇනැ කඬ නොකළ වෙණ රන්වන්”
(කුරුටු ගී 84)
“එමළ ද නොබණය සහනෙ මෙ කිම නම
කළයි පින ත පවසමො හිමබ අකමය වය”
(කුරුටු ගී 143)
මේ ඇතැම් සිතුවමක පැනෙන කල්පනාවෙහි ගිලී ගියාක් වැනි ස්වරූපයත් මුහුණේ හැඟීම් ප්‍රකාශනයත් අනුව මොවුන් යම් වේදනාවකින් පසු වන්නාක් මෙනි’යි යන සැකය කුරුටු ගී රචකයෙක් ද නඟ යි.
“(මහනෙල්) අතින් ගත් (මෙසෙ) කල් නොකොට් සුක සිත්
සිටි රෙදෙමින් සෙ දික් අත් (ම)ලො(ල)ම්බු(සෙ) තබමින් තම”
(කුරුටු ගී 684)
ඇතැම් සිතුවමක දැක්වෙන ගැඹුරු භාව ප්‍රකාශනය සියුම් ව නිරීක්ෂණය කරන කල මේ මතය ද සාධාරණ සේ පැනෙන නමුත් ඓතිහාසික වසයෙන් මෙහි බරපතළ ගැටලු පවතී. මොවුන් මෘත දේහයකට උඅපහාර කරන රාජසභා ස්ත්‍රීන් ලෙස සලකතොත් එම මෘත දේහය එක්කෝ කසුප් රජුගේ ය; නැතහොත් ධාතුසේන රජුගේ ය. එය කසුප් රජුගේ නම් මේ සිතුවම් ඇඳ තිබෙන්නේ ඔහුගේ මරණින් පසු ය. ප්‍රශ්න දෙකකි; සකලාංග සම්පූර්ණ කලාගාරයක් පරිද්දෙන් තම බලකොටුව නිර්මාණය කරවූ ඔහු එහි සිතුවම් පමණක් නො කරවා සිටී ද? ඔහුගේ මරණින් පසු සීගිරිය ගිනි තබා විනාශ කළ බව විනා වැඩිදියුණු කළ බවක් කියැවේ ද? දේහය ධාතුසේන රජුගේ නම් කසුප් පරාජය කිරීමෙන් පසු සිතුවම් ඇන්දවිය යුත්තේ මුගලන් රජු ය. එහෙත් මුගලන් සීගිරිය ගිනි තබා විනාශ කළා විනා එහි රජ කළ බවක් නො කියැවේ. මේ මතයට අනුව විය යුතු හොඳ ම දේ නම් කසුප් රජු ධාතුසේන රජුගේ මෘත දේහය අරමුණු කොට මේ සිතුවම් ඇන්දවීම යි. එහෙත් එය ද සිදුවිය නොහැක්කක් සේ පෙනේ. ධාතුසේන රජු මැරවීමෙන් පසු කසුප් රජු ඔහු වෙනුවෙන් සම්මාන උපහාර කළ බවක් නො පෙනේ. ඔහු පිය රජු ඝාතනය කිරීම පිළිබඳ ව තැවෙමින් කල් ගෙවූ බවක් නො සඳහනි. ඒ පිළිබඳ ඇති වූ සමාජ විරෝධය හෝ චිත්ත විරෝධය හමුවේ ඔහු ඊට අවනත නො වී ය. ථෙරවාදය අතහැර මහායානයට අනුබල දීමත් ලෞකික සුඛාස්වාදය අරමුණු කොට සීගිරිය වැනි කර්මාන්තයක් කිරීමත් මඟින් එය පැහැදිලි වේ. අනෙක් අතට අලංකාර මාලිගාවල වසමින් ද දියකෙළි, උයන්කෙළි කෙරෙමින් ද ගිර්ජ්ජසමජ්ජ වැනි නෘත්‍ය පවත්වමින් ද කාමභෝගී ජීවිතයක් ගෙවමින් ලෞකික සුඛාස්වාදය පැතූ කසුප් රජු තම විජිතයෙහි රාජසභා ස්ත්‍රීන්ගේ වැලපීමක් දැක්වෙන සිතුවම් සමූහයක් කරවී යැයි සිතීම ද අපහසු ය.
ඉහත දක්වන ලද මත විමැසීමෙන් අපට පෙනී යන ප්‍රධාන ම කරුණක් නම් මේ මත, සිතුවම්හි ප්‍රකාශනය සමස්තය එක් ව ගැනීමට වඩා ඒ ඒ මතය අනුව වැඩි සාධාරණ යැයි පැනෙන කොටසට වැඩි බරක් තබා ඉදිරිපත් කරන ලද ඒවා බව යි. ඒ ඒ මතයන්ට එකඟ විය හැකි කරුණු මෙන් ම එකඟ විය නොහැකි කරුණු ද ඇති බව දැන් අපට පෙනේ. එසේ නම් මෙව් සිතුවම් දෙස අප බැලිය යුත්තේ කෙසේ ද?
- මොවුහු පිදුරංගල විහාරයට මල් පූජා කිරීමට යන කසුප් රජුගේ බිසෝවරු ය.
- මොවුහු වලාවන් තුළින් මතු වන දිව්‍ය අප්සරාවෝ ය.
- මොවුහු විද්‍යුත්ලතාවෝ හා මේඝලතාවෝ ය.
- මොවුහු කසුප් රජුගේ රාජසභා ස්ත්‍රීහු ය.
- මොවුහු උයන් කෙළියට යන බිසෝවරු ය.
- මොවුහු මරණයකින් සොවට පත් රාජසභා ස්ත්‍රීහු ය.
මේ මතවාද පිළිබඳ විමසා බැලූ අපි ඒවා පිළිගැනීමටත් බැහැර කිරීමටත් යන දෙකට ම කරුණු ඇති බව දුටිමු. එසේ නම් අප මෙම සිතුවම් දෙස බැලිය යුත්තේ කෙසේ ද?
සීගිරිය හුදු බලකොටු මාලිගයකට එපිටින් කලාගාරයකි. අප සීගිරිය දෙස බැලිය යුතු පදනම එය යැයි මම සිතමි. මේ මහා පර්වත විජිතයේ සියලු අංගෝපාංග උසස් කලා නිර්මාණයන් ලෙස අගය කළ හැකි යි. එහි සියලු ඉදිකිරීම් කලාත්මකත්වය පිළිබඳ අවධානයක් ඇති ව කැරෙන්නට ඇති බව පැහැදිලි ය. එහෙත් මේවා අපගේ අනෙක් උසස් කලා නිර්මාණයන් මෙන් ආගමික අර්ථයෙන් නිර්මාණය නො විණ. අපගේ අනෙකුත් පුරාණ බිතුසිතුවම් දෙස බලතත් ඒවාට වස්තු වී ඇත්තේ බුද්ධ චරිතය, ජාතක කතා ආදී ආගමික තොරතුරු ය. එහෙත් සීගිරි කලා නිර්මාණ ලෞකික රසාස්වාදය වෙනුවෙන් නිර්මාණය වී ඇති බව නොරහසකි. මේ සීගිරි බිතුසිතුවම් ද එසේ කලා රසාස්වාදය අරමුණු කොටගෙන නිර්මාණය කැරෙන්නට ඇති බව අප මුලින් ම වටහාගත යුතු ය. අනෙක් කරුණ නම් බහු කර්තෘත්වය යි. මෙම සිතුවම් ශිල්පීන් රැසකගේ සාමූහික නිර්මාණයක් බව පැහැදිලි ලෙස පෙනෙන්නට තිබේ. මෙහි ඇඳීමේ ශිල්ප ක්‍රමය “ෆ්‍රස්කෝ බුවනෝ” (තෙත බදාමයේ චිත්‍ර ඇඳීම) ක්‍රමයට වැඩි සමීපත්වයක් ඇති බව උගතුන්ගේ මතය යි. සිතුවම් ඇඳ තිබෙන ස්ථානයේ දුෂ්කරත්වයත් යොදාගෙන ඇති ශිල්ප ක්‍රමයත් අනුව බොහෝ පිරිසක් මීට දායක වී ඇති බව සිතීම සාධාරණ ය. මෙම ලලනා රූ ද වෙනස්කම්වලින් යුතු ය. මානව වර්ග ලක්ෂණ අනුව ආර්ය, සිංහල, ද්‍රවිඩ,
මොංගෝලීය ආදී වාර්ගික ලක්ෂණ මොවුන් තුළින් හඳුනාගත හැකි යි. මින් පෙනෙන්නේ එක් එක් ශිල්පියාට අනුව එක් එක් ලලනා රූ සිත්තම් වී ඇති බව යි. කලා රසාස්වාදය අරමුණු කොට දක්ෂ ශිල්පීන් සමූහයක් අතින් සිත්තම් වූ සිතුවම් සමූහයක් විවිධත්වයෙන් යුතු වන බව අමුතුවෙන් කීමට වුවමනා නො වේ. මේ කරුණු අනුව පෙනී යන්නේ තම දක්ෂතා, නිපුණතා, රුචිකම් අනුව ස්වකීය කලා කෞශල්‍යය විදහා පෑමේ කලා නිදහස කලාකාමී කසුප් රජුගෙන් මේ සිත්තරුන් වෙත ලැබෙන්නට ඇති බව යි. ඒ අනුව එකෙකු අප්සරාවක අරමුණු කොට තෙලිතුඩ හැසිරවීමටත් තව එකෙකු මල් බඳුන් ගෙන යන බිසොවුන් අරමුණු කොට තෙලිතුඩ හැසිරවීමටත් තව එකෙකු චිත්තාපර මනසකින් පසුවන ස්ත්‍රියක අරමුණු කොට තෙලිතුඩ හැසිරවීමටත් ඉඩ තිබේ. විවිධ ස්ත්‍රීන් සිතුවම් කිරීමේ අරමුණ ඇති සිත්තරුන් රැසකගේ අතින් සිතුවම් වූ විවිධ ස්ත්‍රී රූප සමූහයක් ලෙස විනා එක ම කාරියක නියුතු ස්ත්‍රීන් සමූහයක් නිරූපිත රූප සමූහයක් ලෙස අප මේ සිතුවම් දෙස නො බැලිය යුතු යැයි මම සිතමි.
සීගිරි බිතුසිතුවම් ගැන විමසද්දී මඟහැර යා නොහැකි කරුණු කිහිපයක් තිබේ. සිතුවම් පිළිබඳ අදහසක් ගැනීමේ දී මේවා පිළිබඳ අවබෝධයක් ලැබීම ප්‍රයෝජනවත් වේ.
- කුරුටු ගී
- මල් හා වලාකුළු
- අප්‍රකට සිතුවම්
කුරුටු ගී
පසුකාලීන ව සීගිරිය නැරැඹීමට පැමිණි ජනයා කැටපත් පවුරේ ලියූ පද්‍ය කුරුටු ගී නමින් හැඳින් වේ. මේ බොහෝ ගී සීගිරි සිතුවම් පිළිබඳ කරන ලද වර්ණනා ය. ක්‍රි.ව 08 වැනි සියවසත් ක්‍රි.ව 10 වැනි සියවසත් අතර මේවා ලියැවෙන්නට ඇතැයි සැලැකේ. සීගිරි බිතුසිතුවමුත් මේ කුරුටු ගීත් අතර ඇත්තේ අවියෝජනීය සබඳතාවයකි. සීගිරි සිතුවම් පිළිබඳ මත පළ කිරීමේ දී ද මේ සබඳතාවය කැපී පෙනේ. ඒ ඒ මතයන්ට කුරුටු ගී නිදසුන් කොට දැක්විය හැකි නමුත් ඒවා එම මත සනාථ කැරෙන සාධක ලෙස නො ගත යුතු බව අපගේ හැඟීම යි. මන්ද යත් ඔවුන් ද පළ කොට ඇත්තේ සැක සහිත අදහස් වන බැවිනි. ඇත්ත වසයෙන් ම මෙහි මුලින් දක්වන ලද මතවලින් බොහොමයක් ද නූතන වියතුන්ට පෙර කුරුටු ගී රචකයන් පළ කොට ඇති බව පෙනෙන්නට තිබේ. මේ සිතුවම් මඟින් නිරූපිත ස්ත්‍රීන් කවුරුන් ද යන්න පිළිබඳ ව එකල සිට ම වාද විවාද පැවැති බව පැහැදිලි ය. (98 වැනි කුරුටු ගීය) එබැවින් මේ කුරුටු ගී රචකයන් ද උක්ත කාරණාව පිළිබඳ රහස නො දැන සිටි බව අප සිහි තබාගත යුතු ය. අනෙක් අතට කසුප් රජු දිවි නසාගත් බව වැනි ප්‍රබල පුවතක් රටවැසියා අතර පැතිර ගියත් ඔහු මේ සිතුවම් ඇන්ද වූයේ කුමන අරමුණකින් ද යනාදී බෙහෙවින් අභ්‍යන්තරික කරුණක් එසේ ජනයා අතර පැතිර යා හැකි ද? ඇරත් රුහුණ ආදී ඉතා දුර බැහැර ජනයා අතර මේ ගී ලියැවෙන්නේ ද සීගිරිය නිර්මාණය වීමේ සිට සියවස් දෙකක් තරම් වත් කාලයකට පසු ය. ඒ වන විට සීගිරිය කිසිදු රාජ්‍ය ආනුභාවයක් නොලැබ තුබුණු බව ජනයා නිදහසේ එහි සංචාරය කිරීමෙන් ම තහවුරු වේ. සත්‍ය තතු වැසී යෑමට මෙන් ම ජනප්‍රවාද හා ප්‍රබන්ධ මතු වීමටත් ඒ කාලය සෑහේ. කරුණු මෙසේ හෙයින් කුරුටු ගී මත පදනම් ව කිසිදු මතයක් සනාථ කිරීමට යෑම ද සුදුසු නොවන බව පෙනේ.
මල් හා වලාකුළු
සීගිරි ලලනාවන් දරා සිටින එක ම සංකේතය මල් ලෙස සැලකිය හැකි යි. මේ සිතුවම්හි විවිධ වර්ගයේ මල් බහුල ලෙස යොදා තිබේ. ඔවුන් එම මල් සමඟ නොයෙක් අයුරින් ගනුදෙනු කරනු දැකගත හැකි යි. එක් ලලනාවක් මල් පිරවූ බඳුනක් දෝතින් ඔසොවාගෙන සිටි යි; තවත් ලලනාවක් මල් අතින් ගෙන විසුරුව යි; වෙනත් ලලනාවක් මලක පෙති දිග හරි යි. මෙසේ ඔවුන් අත මේ මල් විවිධ අයුරින් භාවිත වන බව පෙනේ. මේ මල් මඟින් සංකේතවත් කැරෙන්නේ කුමක් ද? මෙය ද ඉතා මත් පැටැලිලි සහිත කරුණක් සේ පෙනේ. මෙම ලලනාවන් යන්නේ පිදුරංගල විහාරය වඳින්නට ය‘ යන මතය සකස් වී ඇත්තේ ප්‍රධාන ලෙස ම මේ මල් ආගමික සංකේතයක් කොටගැනීමෙනි. එහෙත් එය බහුතර සිතුවම් කෙරෙහි සාධාරණ නො වන බව පැහැදිලි ය. මල් මඟින් සංකේතවත් කැරෙන්නේ වන්දනාමානය පමණක් ද? නැත. ආගමික පුද පූජා සඳහා මල් යොදාගැනේ. එමෙන් ම අනෙකුත් උත්සව අවස්ථාවල දී ද මල් යොදාගැනේ. මළගමක දී ද මල් යොදාගැනේ. උයන්කෙළි ආදී සැණකෙළිවල දී ද මල් යොදා ගැනේ.
ප්‍රේමාලිංගනයක්, නර්තනයක් වැනි අවස්ථාවක දී ද මල් යොදා ගැනේ. කෙනෙකු පිළිගැනීමට මඟට මල් ඉසින්නට ද පුළුවන. කුමන අවස්ථාවක දී නමුත් ස්ත්‍රියක අතේ මලක් තිබෙන්නට ද ඉඩ තිබේ. මෙසේ බලන කල මේ මල් මඟින් නිශ්චිත ව එක ම අර්ථයක් සංකේතවත් කැරෙන බව සිතීමට අපහසු ය. සිතුවම්හි දැක්වෙන්නේ දිව්‍යාප්සරාවන් යැයි සලකන කල ද මේ මල් ඊට අනුබල දේ ද‘ යනු සැක සහිත ය. මන්ද යත්, දෙව්ලොව කුසුම් ලෙස දැක්වෙන්නේ පරසතු මදාරා යන ආදිය වුවත් මේවායේ දැක්වෙන්නේ මහනෙල්, නෙළුම්, අරලිය ආදී මනුලොව කුසුම් ය.
සීගිරි බිතුසිතුවම්වල ලලනා රූ පසුබිමෙහි ඇඳ ඇත්තේ වලාකුළු ය. මේ ලලනාවන් වලාවන් අතරින් මතු වී සිටින අප්සරාවන් වෙති‘ යි යන මතය පහළ වීමට මේ වලාකුළු ඉමහත් අනුබලයක් සපයා තිබේ. ඇත්ත වසයෙන් ම මේ වලාකුළු මඟින් අපේක්ෂා කරන්නට ඇත්තේ එය විය හැකි ද? එය ද ඇතැම් සිතුවමක් කෙරෙහි සාධාරණ සේ පැනෙන නමුත් සියලු සිතුවම් කෙරෙහි සාධාරණ නො වන බව පෙනේ. මෙම වලාකුළු දෙවිධියක කාර්යයක් ඉටු කරන බව අපට හඳුනාගැනීමට හැක. පළමුවැන්න නම් ස්ත්‍රීන්ගේ ඉඟෙන් පහළ කොටස කපා හැර ආවරණයක් සේ සිටීම යි. මෙම සිතුවම් ඇඳ තිබෙන්නේ කවාකාර පෘෂ්ඨයක් මත ය. එහි ඉඩකඩ සීමිත ය. සම්පූර්ණ ශරීරයක් සිතුවම් කෙරිණි නම් එම රූපය කවාකාර පෘෂ්ඨය මත යම් විරූපී ස්වරූපයකින් දිස්වනු ඇත. පාද සිත්තම් කරනවා නම් එය පිහිටන බිමත් පසුබිමෙහි සිත්තමට නැඟිය යුතු වේ. සිතුවම් ඇඳ තිබෙන ස්ථානය අනුව එය උචිත වන්නක් නො වන බව පැහැදිලි ය. මෙය මඟහැර ගැනීමට ස්ත්‍රීන්ගේ උඩුකය පමණක් සිතුවම් කිරීම උචිත උපක්‍රමයකි. සිත්තරුන් ඒ වෙනුවෙන් යොදාගෙන ඇත්තේ වලාකුළු ය. සිතුවම් එකිනෙක වෙන් කැරෙන සීමාව ද එයින් සැලැසේ. දෙවනු ව මෙම වලාකුළු මඟින් නරඹන්නාට කිසියම් චමත්කාරජනක හැඟීමක් ඇති කැරෙ යි. සිතුවම් ඇඳ තිබෙන්නේ පර්වත බඳෙහි ඉතා ඉහළ ස්ථානයක ය. එකල මේවා නැරැඹීමට කිසියම් විශේෂ ස්ථානයක් තුබුණා ද විය හැකි යි. තමා අලකාපුරයේ සිටින කුවේරයා මෙන් සීගිරි පවුවේ වැජැඹෙන බව හැඟවීමට කසුප් රජුට වුවමනා වුණු බව ද කියැවෙ යි. ඒ අනුව මේ සිතුවම් නරඹන විට යථාරූපී තත්ත්වයට වඩා වෙනස් චමත්කාරයක් නරඹන්නා තුළ ඇති කිරීම ද මේ වලාකුළු මඟින් අපේක්ෂා කළා විය හැකි යි. ඇතැම් විට සිත්තරා කුමන ස්ත්‍රියක අරමුණු කළ ද නරඹන්නා මේ වලාකුළු අතර සිටින ස්ත්‍රීන් අහසේ සිටින දිව්‍යාංගනාවන් යැයි සිතීමට ද මේ චමත්කාරජනක පසුබිම අනුබලයක් වේ.
අප්‍රකට සිතුවම්
සීගිරියේ අද අපට පැහැදිලි ව දැක ගැනීමට ඉතිරි ව ඇති ලලනා රූ ගණනින් දහ හතරක් පමණ වේ. එකල එහි තුබුණා යැයි සැලැකෙන ලලනා රූ ගණන පන්සියයක් යැයි කියැවේ. කුරුටු ගී ලියැවුණු යුගයේ ද එම ගණන පැවැතුණා යැයි සිතීමට කුරුටු ගීයෙන් ම සාධක හමු වේ. (560 වැනි කුරුටු ගීය) ගිනි තබා විනාශ කොට ජරාජීර්ණ වන්නට අතහැර දමන ලද එහි සියවස් දෙකක් තරම් වත් කල්ගිය පසුත් එම සිතුවම් එලෙසින් ම නිරුපද්‍රිත ව තුබුණා ද‘ යනු අසාධාරණ නො වන සැකයකි. මේ කියැවෙන පන්සියය යන සංඛ්‍යාව කිසියම් සංකේතාත්මක අර්ථයක් ගැප් කැරගත්තක් ද? “පන්සියයක් දෙනා, පන්සියයක් සුරඟනන්, පන්සියයක් බිසොවුන්, පන්සියයක් රහතුන්, පන්සියයක් භික්ෂු සංඝයා” ආදී ලෙස සාහිත්‍යයෙහි මේ ගණන බෙහෙවින් කියැවේ. මෙය සංකල්පනාත්මක සංඛ්‍යාවක් විය නොහැකි ද? සංඛ්‍යාව කුමක් වුවත් මීට වඩා සිතුවම් ප්‍රමාණයක් සීගිරියේ තිබී ඇති බව නම් ඉතා ම පැහැදිලි සත්‍යයකි. එහි විශාලත්වයත් කලාත්මක අගයත් සලකන කල එම සංඛ්‍යාව පන්සියය ඉක්මවීමට ද බැරි නැත. සීගිරියේ නයිපෙන ගුහාවෙන් ද සිතුවම් කරන ලද සීලිම් මෝස්තරයක කොටසක් හමු වී තිබේ. කැටපත් පවුරේ පිට පැත්තෙහි ද සිතුවම් තුබුණු බවට ලකුණු හමු වෙතැයි මෑතක දී මතයක් පළ විය. ඒ අනුව පැනෙන්නේ මේ සමස්ත සීගිරි ඉදිකිරීම පුරා ම චිත්‍ර කර්මාන්තය පැතිර තුබුණු බව යි. පර්වතය මුදුනෙහි රාජමාලිගය ආදී ප්‍රධාන ගොඩනැඟිලිවල අතිවිශිෂ්ට අන්දමින් චිත්‍ර කර්මාන්තය කැරෙන්නට ඇත. මේ කියැවෙන විශාල සංඛ්‍යාව අනුව ලලනා රූප පර්වත බඳෙහි පමණක් සිතුවම් කළා විය නොහැක. උචිතානුචිත අයුරින් සමස්ත සීගිරි ඉදිකිරීම පුරා මේ සිතුවම් විසිර තිබෙන්නට ඇතැයි සිතීම වඩාත් සාධාරණ සේ පෙනේ. කුරුටු ගී ලියූවන් පැමිණෙන කාලය වන විට මේ ඉදිකිරීම් හා සිතුවම් විනාශ ව තුබුණේ නම් අඩු තරමින් ඔවුන් ඒවායේ නටබුන් හෝ දකින්නට ඇත. එසේ නො වේ නම් “පන්සියයක් ලලනා රූ” සීගිරියේ තුබුණේ යැයි යන්න එවක වන විට ජනප්‍රවාද ගත ව තිබෙන්නට ඇත. අනෙක් අතට ඔවුන් ගී ලියා තිබෙන්නේ කැටපත් පවුර සමීපයේ තමනට පෙනෙන ලලනා රූ ගැන ය.
සීගිරි ලලනාවන්ගේ විවිධත්වය ගැන විමසන කල අද පෙනෙන්නට නැති සිතුවම්
ගැන සැලැකීම ද ඉතා ම අවශ්‍ය ය. 84 වැනි කුරුටු ගීයෙන් කියැවෙන්නේ වීණාවක් වයමින් සිටින ලලනාවක දැක්වෙන සිතුවමක් ගැන ය. මේ සිතුවම අද දැක ගැනීමට නැත. විවිධ අරමුණු ඇති ව මේ ලලනාවන් සිතුවම් කරන්නට ඇති බවට මෙය නිදසුනකි. වීණාවක් වයමින් සිටින ඒ ලලනාව සමීපයේ ගී ගයන, රඟන, වෙනත් වාද්‍ය භාණ්ඩ වයන ලලනා රූප ද සිත්තම් කර තිබෙන්නට ඇතැයි සිතීමට ඉඩ තිබේ. විනෝද සංදර්ශන අවස්ථාවක් නිරූපිත සිතුවමක එන එක් ලලනා රුවක් ගැන මොහු කියනවා විය හැකි යි. 119 වැනි කුරුටු ගීයෙන් සපුමලක් අතින් ගෙන සිටින ලලනාවක ගැන කියැවෙ යි. මේ සිතුවම ද හඳුනාගෙන නැත. 355 වැනි කුරුටු ගීයෙන් කියැවෙන්නේ මල්දම් රැගෙන එන ලලනාවන් දෙදෙනෙකු ගැන යි. 19 වැනි ගීයෙන් ද කියන්නේ වීණාවක් ගත් ලලනාවක ගැන ය. මල් අතින් ගෙන සිටින ලලනාවන්, රන්වනුන් හා මේවනුන් ලෙස කුරුටු ගීයෙන් කියැවෙන්නේ කැටපත් පවුර නුදුරේ පෙනෙන ලලනාවන් ගැන පමණ ද? නො එසේ නම් සමස්තය ම ඒ කියැවෙන ලක්ෂණ ඇතුව සිතුවම් වී තුබුණේ ද? පෙනෙන්නට තිබෙන ලලනා රූවල ද ඇත්තේ මේ වර්ණ දෙක ය; අතින් ගෙන සිටින්නේ මල් ය. හිස හා අත් පමණක් ඉතිරි කෙරෙමින් බොහෝ දුරට විනාශ ව ඇති සිතුවමක් ද දක්නට ලැබේ. මේ සිතුවමින් දැක්වෙන්නේ පිරිමියෙකු බව බොහෝ දුරට අනුමාන කළ හැක. එසේ නො වේ නම් අඩු තරමින් තලතුනා ගැහැනියක වත් විය යුතු ය. (මින් දැක්වෙන්නේ රාජසභා ස්ත්‍රීන් භාර ව සිටි දුක්ගන්නාරාළ දැයි ආචාර්ය නන්දදේව විජේසේකර මහතා සැක පළ කර යි) මෙය පිරිමි රුවක් නම් සීගිරි සිතුවම් අතර පිරිමි රූප ද තුබුණු බව සැලැකිය යුතු වේ. එසේ නම් සිත්තරුන් විවිධ අවස්ථා නිරූපණය කෙරෙමින් සිතුවම් ඇඳ ඇති බව තවදුරටත් තහවුරු වේ. කුරුටු ගීයේ වර්ණනාවට ලක්වන්නේ ඔවුන්ගේ සිත් ඇඳ බැඳගත් ලලනා රූ පමණ ය. යන්තමින් හෝ සාධක හමුවන මේ අප්‍රකට සිතුවම් පිළිබඳ සලකද්දී අද කිසිසේත් තොරතුරක් හමු නො වන එකල එහි තුබුණා යැයි කියැවෙන අධිකතර වූ (පන්සියයක්?) සිතුවම් කුමන කුමන අයුරින් නිරූපණය කෙරිණි දැයි යනු අනුමාන කිරීමට ද අපහසු කරුණක් බව පෙනේ. කෙසේ නමුත් ඒ සියල්ල විවිධත්වයෙන් යුතු වන්නට ඇති බව සිතීමට කරුණු තිබේ. සීගිරිය බැලීමට පැමිණි ජනයාගේ ක්‍රියාකාරකම් නිසා ද සිතුවම් මැකී ගිය බව හැඟවෙන කුරුටු ගී දෙකක් ද හමු වේ. මේ ගීවලින් කියැවෙන පරිදි මිනිසුන්ගේ අතපතගෑම් හේතුවෙන් සිතුවම් මැකී යාම ඉතා ම ස්වාභාවික ය. එසේ නම් ඒ කියැවෙන සිතුවම් ජනයාට පහසුවෙන් අතපෙවිය හැකි තැනක තිබෙන්නට ඇත. අද ඉතිරි ව ඇති සිතුවම් කිහිපය ඇත්තේ ඉතා අපහසුවෙන් ළඟා විය යුතු තැනක ය. එකල ද මෙතැනට පහසුවෙන් ළඟා විය හැකි මඟක් නො වී ද? ඒ හේතුවෙන් ම මේ සිතුවම් කිහිපය නිරුපද්‍රිත වී ද? මෙය වඩාත් ඉස්මතු කළ යුත්තේ එම ගීවලින් කියැවෙන දේ සිදු විය හැකි සම්භාවිතාව ඉතා ඉහළ මට්ටමක ඇති හෙයිනි. එම ගී මෙසේ ය;
“මෙහි තුබූ මෙ සිත්තම සිතු සිතු සෙයි බලයි එත
බිතු තම අත ගැසු දොසින් එහි නොලද (වි දිගැස්ස)න්”
(කුරුටු ගී 676)
“(ඇවිද්) මෙබලයි යත සිත්තම සිත් ග(න්)නෙනත
එහි ගැසු දනන් බැස බැස අතින් මෙ නොමඩිමින් බසු”
(කුරුටු ගී 677)
සීගිරි ලලනා සිතුවම් අරමුණු අතින් විවිධත්වයක් ගන්නා බව විමැසිල්ලෙන් බලන කල අවබෝධ කරගැනීම අපහසු නො වේ.මේ සිතුවම් ප්‍රධාන වසයෙන් දෙකොටසකට බෙදා දැක්විය හැක. යුගල සිතුවම් හා තනි සිතුවම් යනුවෙනි.
යුගල සිතුවම්
ස්ත්‍රීන් දෙදෙනෙකු බැගින් දැක්වෙන සිතුවම් හතරක් අපට හඳුනාගත හැක. මේඝ වර්ණ ලලනාවක මල් බඳුනක් දෝතින් ගෙන ඈ ඉදිරියෙන් සිටින රන්වන් ලලනාවකට පිළිගන්වන අයුරක් දැක්වෙන සිතුවම වඩාත් ශාන්ත භාවයක් ප්‍රකාශ කරන්නකි. මේඝවර්ණ ලලනාව රූමත් බවින් යුත් නමුදු රන්වන් ලලනාව ඈට වඩා රූමත් හා සුකොමළ අයුරින් සිතුවම් කොට තිබේ. දෙදෙනාගේ මා හැඟීම් ප්‍රකාශනයෙහි ඒකත්වයක් දක්නා ලැබේ. රන්වන් ලලනාව රජ බිසොවකත් මේවන් ලලනාව ඇගේ පරිවාර ස්ත්‍රියකත් විය යුතු ය. රන්වන් ලිය, මේවන් ලිය අතෙහි ඇති මල් බඳුනින් මල් ගෙන තබන හෝ විසුරුවන අයුරක් ප්‍රකාශිත ය. ඒ මල් තබන්නේ පූජාසනයක ද විසුරුවන්නේ කොතැනට ද යනු අනුමාන කිරීම අපහසු ය. සමස්ත රචනයෙහි ප්‍රකාශිත නිසංසල ශාන්ත භාවය අනුව ඔවුන් පූජා කරන හෝ සම්මාන දක්වන වස්තුව කෙරෙහි බැතිමත් හැඟීමෙන් පසුවන බව පැහැදිලි ය.
වමතින් ගත් මහනෙල් මලක පෙති දකුණතින් පුබුදුවන රන්වන් ලලනාවක හා දකුණතින් උරය තෙක් ඔසවාගත් මල් බඳුනක් ගෙන ඈ පසු පසින් එන මේඝ වර්ණ ලලනාවක දැක්වෙන තවත් යුගල සිතුවමකි. ඔවුන් දෙදෙනා ගමනක නියුතු වන බව පෙනේ. බිසොවක විය යුතු රන්වන් ලලනාව වඩාත් සුකොමළ අයුරින් චිත්‍රිත අතර ඈ පසු පසින් එන මේවන් ලලනාව සේවිකාවක විය යුතුයි. ශාන්ත නිසංසල භාවයක් ඔවුන් වෙතින් දිස්වේ. මල් ඉවත දමන අයුරක් නො දැක්වෙන අතර කිසියම් ප්‍රයෝජන පිණිස ඒවා ගෙන යන විලාසයක් දැකිය හැකි යි. එය පූජා පිණිස වීමට ඇති ඉඩ වැඩි ය. මහනෙල්, නෙළුම් ආදී මල් කැකුළු අතින් පුබුදුවා පූජා පිණිස තබනු අද වුව ද දැකගත හැකි දෙයකි. මෙම ලලනාවන් දෙදෙනාගේ මුහුණුවලින් භක්තිමත් හැඟීමක් ප්‍රකාශිත ය. පිදුරංගල විහාරය වඳින්නට නො වේ වා, කුමන හෝ පූජාමය අරමුණක් වෙනුවෙන් මල් ගෙන යන අවස්ථාවක් මෙයින් නිරූපණය කැරෙන බව පෙනේ.
තවත් යුගල සිතුවමකින් දැක්වෙන්නේ වම් අතෙහි අත්ල මත තබාගෙන සිටින මල් දකුණතින් එකිනෙක ගෙන විසුරුවමින් යන රන්වන් ලලනාවකුත් (=බිසොවක) දකුණතින් කිසියම් මංජුසාවක් වැනි දෙයක් ගෙන එය උරය මට්ටමට ඔසවාගෙන ඈ පසු පසින් එන තවත් මේඝ වර්ණ ලලනාවකුත් (=සේවිකාවක) ය. පිරිපුන් අඟපසඟෙන් යුතු ව දක්වා තිබෙන බිසොවගේ මුහුණ පියකරු හැඟීමකින් යුතු අතර සේවිකාව මඳක් රළු අයුරකින් දක්වා තිබේ. බිසොවගේ දකුණු අතෙහි නටුවෙන් ගෙන සිටින මලක් දක්වා ඇති අතර ඇගේ වම් උරයට ඉහළිනුත් දකුණු අතට පහළිනුත් පෙර ඈ විසින් විසුරුවන ලද මල් දෙකක් බිම වැටෙන අයුරු දක්වා තිබේ. ඇගේ ශරීර පිහිටුම අනුව ඈ තරමක් කඩිසර ව ඇවිද යන අයුරක් පෙනේ. එසේ ම ඈ පසු පසින් එන සේවිකාවගේ ගමන ඉතා මන්දගාමී නොහොත් ඈ නැවතී බලනවා විය යුතු යි. කුමක් දැයි තවමත් නිසි ලෙස හඳුනාගෙන නැති ඈ අතෙහි වන දෙය මංජුසාවක් බව සිතිය හැක. රෙදි, පන්, බට පතුරු, වේවැල් ආදී කුමන හෝ සැහැල්ලු අමුද්‍රව්‍යයකින් නිමවා ඇතැයි සිතිය හැකි එය විවෘත කිරීමට හා වසා තැබීමට හැකි ලෙස කොටස් දෙකකින් යුතු ය. එහි මැදින් දිවෙන තිරස් රේඛාවෙන් පියන් දෙකෙහි වෙන්වීම දැක්වෙන බවත් එම තිරස් රේඛාව කැපී යන සේ දෙපළකින් යොදා ඇති කෙටි සිරස් රේඛා දෙකෙන් එහි අඟුරෑලක් නොහොත් අසවුවක් අයුරින් ක්‍රියා කරන බැම්මක් දැක්වෙන බවත් පෙනේ. එහි පියනේ උඩු පැත්ත කවාකාර මෝස්තරයකින් අලංකාර කොට තිබේ. මෙය මල් බඳුනක් විය නොහැක. අනෙක් සිතුවම්වල දැක්වෙන සියලු මල් බඳුන් විවෘත අයුරින් දක්වා ඇත. සේවිකාව මේ ගෙන එන්නේ බිසොවගේ පලඳනා ආදී සුළු සුළු උපකරණ බහා ඇති ගමන් මංජුසාවක් විය හැක. සමස්ත රචනාව දෙස බැලූ විට පෙනී යන්නේ කෙළිදෙළෙන් හැසිරෙන බිසොවකුත් ඇගේ පසු පස එන (ඈ භාරව සිටින?) සේවිකාවකුත් මින් නිරූපණය කැරෙන බව යි. එමෙන් ම බිසොවගේ උපකරණ ද අතින් ගෙන ඈ පසු පස එන සේවිකාව බිසොවගේ කෙළිමත් හැසිරීම් දෙස කිසියම් සඟවාගන්නා ලද නොසතුටු බවකින් බලා සිටින අයුරක් හැඟේ. ඒ ස්වකීය වගකීම (=බිසොවගේ රැකවරණය) පිළිබඳ බරපතළ හැඟීමක් ඇති ව ය. සේවිකාව වැඩිහිටි වයසේ පසුවන අයුරින් දක්වා තිබීමෙන් මෙය තවදුරටත් සාධාරණ සේ පෙනේ.
තරමක් දුරට විනාශ වී ඇති තවත් යුගල සිතුවමකි. සුකොමළ අඟපසඟ ආදියෙන් දැක්වෙන රන්වන් ලලනාව බිසොවක බව පෙනේ. මලක් ගත් දකුණත උර මට්ටම තෙක් ඔසවාගෙන සිටින ඈ මුහුණ ඉහළට හරවාගෙන සිටි යි. ඈ අත ඇති කුසුම ඉවත හෙළීමට ආසන්න බව පෙනේ. ඇගේ පසුපසින් සිටින මේඝ වර්ණ ස්ත්‍රියගේ සිතුවම තරමක් දුරට විනාශ වී ඇතත් ඈ අතෙහි ඇඟිලිතුඩින් මල් ගෙන සිටිනු දැකගත හැක. මැය බිසොවගේ පරිවාරිකාවක බව පැහැදිලි ය. බිසොවගේ මුහුණින් පෙනෙන්නේ සංයමයකින් යුතු ප්‍රීතිමත් හැඟීමකි. සමස්ත රචනය කිසියම් නිසල සුන්දරත්වයකින් යුතු වේ.
මේ යුගල සිතුවම් හතර පිළිබඳ සලකන කල පළමු ව විස්තර කළ සිතුවම් දෙකෙන් කිසියම් පූජාමය අවස්ථාවක පසුවන ස්ත්‍රීන් නිරූපණය කිරීම අරමුණු කරන්නට ඇති බවත් ඊළඟ සිතුවම් දෙකින් උයනක ආදී ස්ථානයක සරමින් ප්‍රීතිමත් අවස්ථාවක පසුවන ස්ත්‍රීන් නිරූපණය කිරීම අරමුණු කරන්නට ඇති බවත් අපගේ අදහස යි. රජ බිසොවුන්ගේ ජීවිතයේ යම් යම් අවස්ථා මේවායින් ප්‍රකාශ කළා විය යුතු යි. මෙම ස්ත්‍රීන් බිසොවුන් හා පරිවාරිකාවන් හෝ සේවිකාවන් ලෙස වෙන් කරගැනීම ඉතා පැහැදිලි ය. දෙදෙනෙකු දැක්වෙන මෙම සිතුවම්වල රන්වන් පැහැයෙන් හා වඩා සුකොමළ අයුරින් දැක්වෙන්නේ එක් ලලනාවකි. අනෙක් ලලනාව මේඝ වර්ණයෙන් හා මඳක් රූමත් බවින් අඩු කොට (අනෙක් ලලනාවට සාපේක්ෂ ව) නිරූපණය කොට තිබේ. මෙහි අරමුණ පැහැදිලි ලෙස ම ස්ත්‍රීන් දෙදෙනා වෙන් කොට දැක්වීම බව පෙනේ. වර්ණ අනුව සලකන කල ද වර්ණ භේදය එකල සැලැකී ද නැද්ද යනු අපැහැදිලි වුව ද එහි අරමුණ බෙදා දැක්වීම ය. එසේ ද වුවත් පරිවාරිකාව හෝ සේවිකාව පහල මට්ටමේ මෙහෙකාරියක නො වන බව අවධාරණය කට යුතු යි. ඈ ද සර්වාභරණින් සැරැසී වංශවත් අයුරින් පෙනී සිටි යි. ඔවුන් දෙදෙනා අතර වෙනස එක් ලලනාවක බිසොවකත් අනෙක් ලලනාව ඇගේ සහයිකාව වීමත් ය.
තනි සිතුවම්
තනි තනි ස්ත්‍රියක බැගින් දැක්වෙන ලලනා රූ හයක් හඳුනාගත හැකි යි. පියකරු අඟපසඟින් යුතු ව මනා ව සිතුවම් කරන ලද රන්වන් ලලනාවක් වම් අතින් මල් තුනකින් යුතු මල් පොකුරක් ගෙන පපු පෙදෙස තෙක් ඔසවාගන්නා ලද දකුණතේ දබරැඟිල්ලෙනුත් මහපටැඟිල්ලෙනුත් ගත් අරලිය මලක සුවඳ ආඝ්‍රාණය කිරීමට සැරැසී සිටින්නාක් මෙන් ඒ වෙත යොමු වූ මුහුණින් සිටින්නී ය. ඈ කල්පනාවක ගිලී ගියාක් වැන්න. මේ සමස්ත රචනය නිස්කලංකත්වයෙන් හෙබියේ ය. ඇගේ රූප ස්වභාවය දිව්‍යමය ප්‍රභාවයකින් යුතු ය. මෙවැනි තවත් ලලනා රුවක් හමු වේ. වලාවකින් මතු වී සිටින ඈ රන්වන් ය. අඟපසඟ සිහින් සුකොමළ අයුරින් දක්වා තිබේ. පපු පෙදෙස උසට නඟාගෙන ඇති දකුණතින් (විසුරු වීම සඳහා?) ගත් මල් හෝ වෙනයම් දෙයකි. වම් අත ද ඊට සමාන ලෙස පිහිටුවා ඇති අතර එහි කිසිවක් නො වේ. මුහුණේ ආලෝකවත් බවක් පැනෙන අතර මුවෙහි සිහින් සිනාවක ලකුණු තිබේ. මේ සිතුවම් දෙක ම මනා චමත්කාරයකින් හෙබියේ දිව්‍යමය අයුරින් දිස්වේ. අප්සරාවන් හෝ වෙනයම් දිව්‍යාංගනාවන් අරමුණු කොට මේ සිතුවම් කරන්නට ඇති බව සිතිය හැක.
ඉහත දෙවනු ව කී ලලනා රුව සමීපයේ ම තවත් මේඝවර්ණ ලලනා රුවකි. ඇගේ ඉඟ පෙදෙස ඉතා සිහින් ලෙස සිතුවම් කොට තිබේ. ඈ රූමත් බවින් හෙබි ය. දකුණු අත බාහුවෙන් පහතට හෙළා වැලමිටින් යළි ඉහළට ඔසවා ඇඟිලි දිගහළ අත්ල උඩු අතට හිටින සේ වළලුකරින් නවාගෙන සිටින අයුරින් පිහිටුවා තිබේ. වම් අත පහතට හෙළා වැලමිටින් මඳක් නවා අත්ල උඩු අතට හිටින සේ උකුළ සමීපයෙන් තබාගෙන සිටින ලෙස පිහිටුවා තිබේ. ඈ වම් බාහුව දෙසින් මුහුණ හරවාගෙන (පිටුපස?) බලා සිටි යි. ඇගේ මේ ඉරියවුව නර්තන ලීලාවක් ද නො එසේ නම් ඉදිරියට අත පා පසු පස හැරී පසු පසින් පැමිණෙන කිසිවෙකු කැඳවන අභිනයක් ද යනු පැහැදිලි නැත. එසේ කැඳවන්නේ නම් ඒ ඉහත කී මෑ සමීපයේ සිටින අනෙක් ලලනාව ද? (නන්දදේව විජේසේකර මහතා මේ සිතුවම් දෙක ද යුගල සිතුවමක් ලෙස සලක යි) කෙසේ වෙතත් ඇගේ මුහුණේ පිළිබිඹු වන්නේ සිතුවිල්ලෙහි ගිලුණු ස්වරූපයකි. මෙවැනි චිත්තාපර ස්වභාවයෙන් පසු වන තවත් ලලනා රුවකි. එම සිතුවම මඳක් විනාශ වී ඇති නමුත් වැඩි කොටස පැහැදිලි ය. ඈ දකුණු අතේ මහපටැඟිල්ලෙන් හා දබරැඟිල්ලෙන් අරලිය මලක් නැටුවෙන් අල්ලාගෙන සිටි යි. වම් අතින් ගෙන සිටින්නේ මහනෙල් කැකුළකි. ඇගේ මුහුණේ යම් මලානික බවක් පෙනේ. මේ සිතුවමින් අපේක්ෂා කරන්නට ඇත්තේ හුදෙකලා අවස්ථාවක දී කිසිවක් කල්පනා කරමින් සිටින රාජ ස්ත්‍රියක විය නොහැකි ද?
තවත් සිතුවම් දෙකකින් දැක්වෙන්නේ බොහෝ කොට සමාන ඉරියවුවකින් සිටින රන්වන් ලලනාවක හා මේවන් ලලනාවකි. දෙදෙනා ම වැලමිටින් එසවුණු දකුණු අතින් මල් විසුරුවන අතර වම් අත අත්ල උඩු අතට හිටින ලෙස ඉඟ අසලින් තබාගෙන සිටිති. මේවන් ලලනාවගේ වම් අත්ල මත මහනෙල් මලක් ද වේ. දෙදෙනා ම වම් බාහුව දෙසින් මුහුණ ඉවත හරවාගෙන සිටිති. මේ දෙදෙනා ඔවුන්ගේ අත් එල්ල වී ඇති දෙස තිබෙන කිසියම් වස්තුවකට පුෂ්පෝපහාර දක්වන අතර වේදනාත්මක හැඟීමකින් පීඩිත ව මුහුණු ඉවතට හරවා ගන්නා අයුරක් මින් දැක්වෙන බව නන්දදේව විජේසේකර මහතා අනුමාන කර යි. (ඔහු තව දුරටත් කියන්නේ එම වස්තුව මෘත දේහයක් යනු යි) නිසංසලත්වයක් රූප
දෙකෙහි ම ගැප් වී තිබෙන අතර දුක්බරිත හැඟීමක් මුහුණින් පළවන සෙයක් දැකිය හැක. ඔවුන් කුසුම් විසුරුවන බව සැබෑ ය. එහෙත් එය කුමක් සඳහා ද යනු නිශ්චිත නැත. චිත්ත පීඩාව හෝ වේදනාත්මක බැල්ම මෘත දේහයක් දැකීමෙන් ද යනු ස්ථිර නැත. මින් නිරූපණය කැරෙන්නේ රජ බිසොවුන් හෝ වෙනත් රාජසභා ස්ත්‍රීන් බව කිය හැක. එහෙත් ඒ මෘත දේහයකට පුෂ්පෝපහාර කැරෙමින් යම් චිත්තාපර ස්වභාවයකින් පසු වීමක් ද යනු සැක සහිත ය. එසේ ද වුවත් කිසියම් දුක්මුසු ස්වභාවයකින් පසුවන ස්ත්‍රීන් අරමුණු කොට මේ සිතුවම් ඇන්දා වන්නට පුළුවන. එය විරහා දුකින් මැලැවී අතැති කුසුම් විසුරුවමින් ඉවත බලා සිටින ලලනාවකට වුව ද සමීප කළ හැක.
මේ ලලනා සිතුවම් සමූහය එක ම අරමුණක් වෙනුවෙන් නිරූපිත යැයි නිගමනය කිරීම නුසුදුසු බව වටහා ගැනීම දැන් අපට අපහසු නො වේ. විවිධ අරමුණු ඇති දක්ෂ ශිල්පීන් රැසකගේ අතින් කලා රසාස්වාදය පිණිස විවිධ අයුරින් සිතුවම් වූ ලලනා රූ සමූහයක් ලෙස අප මේ සිතුවම් දෙස බැලිය යුතු යැයි මම සිතමි. නො එසේ ව එක් එක් සාධක පදනම් කොටගෙන, “මේ සිතුවම් මඟින් නිරූපණය වන්නේ මේ මේ ආකාරයේ ලලනාවන් ය” යනාදී ලෙස නිගමනය කිරීම දුෂ්කර ය. එය සාධාරණ ද නො වන බව පැහැදිලි ය. අද අවිද්‍යමාන සිතුවම් අතර එබඳු තවත් දහසක් අනුමානයන්ට තුඩු දෙන සිතුවම් තව කොපමණ තිබෙන්නට ඇද්ද? ඒ අනුව බලතත් මේ සීමිත සිතුවම් ප්‍රමාණය කිසිදු මතයක් ස්ථිර කිරීමට තරම් ප්‍රමාණවත් නො වන බව පෙනේ.
චන්දන ඉලන්දාරිගේ