1980 දශකයේ පොල්ගහවෙල දොඹේමඩ කුඩාගම පල්ලිය ප්‍රසිද්ධියට පත්වූයේ යාක්ෂාවේශ සුවකිරීමේ මෙහෙයන් සඳහාය. කැමිලස් ජයමාන්න පියතුමා එම සත්කාරයට ප්‍රසිද්ධියට පත්වූ අතර රටේ බොහෝ පෙදෙස්වලින් පිරිස් තම යක්ෂ දෝෂ සුවපත් කරගැනීමට කුඩාගමට පැමිණියහ.
අපගේ සිත්සතන්හි හා සංස්කෘතින්වල පැළපදියම් වූ ප්‍රස්තුත ගවේෂණය කර අමුතුම නිර්මාණාත්මක පසුබිමක් මතුකරන ජයන්ත චන්ද්‍රසිරි නවතම සිනමා නිර්මාණයට තේමාව ලෙස යොදාගෙන ඇත්තේ කුඩාගම පල්ලියේ ඒ කතාවයි. එහෙත් ඔහු එය නිර්මාණයක් ලෙස ඉදිරිපත් කරන්නේ පල්ලියකට හෝ ආගමකට පමණක් සිමාවූ තේමාවක් ලෙස නොව කාගේත් මනසේ ගැඹුරට බලපාන අතිශය පෞද්ගලික මනෝ ස්වරෑපයක් විග්‍රහ කරන ආකාරයටය.
සංස්කෘත භාෂාවෙන් “ඝර” යනු නිවස නැතහොත් ඝරයයි. සරප යනු සර්පයාය. ඝර සරප යනු නිවසේ වසන සර්පයා යන අරුතින් ගතහැකිය. චිත්‍රපටයේ අධ්‍යක්ෂවරයා එම අරුත විග්‍රහ කර ඇත්තේ කළු කුමාරයා වශයෙනි. “ගැහැනුන්ගේ සිත් පිරිමින්ගේ ආදරයෙන් පිරී පවතින තුරු ගැහැනිය තනි නොවේ. ගැහැනිය තනි වන තැන… කළු කුමාර බැල්ම වැටේ” යන තේමාව මේ චිත්‍රපටයේ දිවයයි. එය සිනමානුරෑපීව ඉදිරිපත් කිරීම සඳහා ජයන්ත කදිම සිනමා ව්‍යාකරණයක් භාවිතා කරයි.
වර්තමාන සමාජයේ බහුලව ආදරය බිඳවැටීම් දක්නට නැත. විවිධාකාර හේතු නිසා ආදරය බිඳවැටුණු විට විශ්වාසය හිස්වූ විට එම ගෙදරට ඇතුළුවන්නේ සර්පයායි. නැතහොත් යක්ෂයාය. ඊට පසු එම නිවස ව්‍යසනවලින් පිරුණු තැනක් බවට පත්වෙයි.
සිනමා පටය ඇරඹෙන්නේ යක්ෂ බන්ධනවලින් යුක්ත රෝගීන් දෙදෙනෙක් රැගෙන හාස්කම් සහිත පල්ලිය වෙත යන වාහන දෙකකිනි. එක් වාහනයක සිටින රූමත් ද්‍රවිඩ තරුණිය (විද්‍යා) හා අනෙක් වාහනයේ යන සඳරැස් නම් තරුණයාගේ දෑස් එකිනෙක ගැටේ. සඳරැස් මෙම පල්ලියට යන්නේ නම් හිතවතකුගේ උදව්වටය. ඊට පසු සඳරුස්ගේ සිත නිතරම හොයන්නේ විද්‍යාවය. ඇය යක්ෂ දිෂ්ටියට ලක්වීම නිසා සුවය පතා මෙහි රුගෙන ආ තරැණියකි. මොවුන් දෙදෙනාගේ ඉඟිබිඟි සහිතව මතුපිටින් සරල රමණීය පෙම්පුවතක් සේ දිවයන චිත්‍රපටය ඇතුළතින් ස්පර්ශ කරන්නේ මිනිස් සිතේ ගූඪ ස්වභාවයයි. හදවතින් හුදෙකලා වූ තරුණියන්ගේ සිතේ අරක් ගන්නා කළු කුමාරයාගේ ආත්මයයි. විටින් විට කළු කුමාරයා ද ප්‍රේක්ෂක දෘෂ්‍ය පථයට පැමිණේ.
සඳරුස් සහ විද්‍යා අතර ප්‍රේමයක් හටගනී. විද්‍යා කළු කුමාර බන්ධනයෙන් සුවපත් වේ. එහෙත් එවකට දුප්පත් තරැණයෙක් වන සඳරැස්ට උගත් ද්‍රවිඩ විද්‍යාගේ පවුලට සම්බන්ධ වීමට ඉඩ නොලැබේ. විද්‍යා පිටරට යැවීමට ඔහුගේ මාපියෝ කටයුතු කරති. ඊට පසු අපට හමුවන්නේ වර්තමානයයි. සඳරැස් එදිරිසිංහ මනෝවිද්‍යාව පිළිබඳ සරසවි ආචාර්යවරයෙකි. ඔහුගේ බිරිය ප්‍රින්කි චිත්‍ර ශිල්පිනියකි. ප්‍රින්කි එක්තරා අවස්ථාවක කළු කුමාර දෘෂ්ටියට ග්‍රහණය වේ. එයට හේතුවන්නේ දුරබැහැර දියඇල්ලක් බැලීමට සඳරුස් හා මිතුරැ නඩයක් සමඟ ගිය චාරිකාවකදී ප්‍රින්කිගේ සිතේ සඳරුස් ගැන සැකයක් ඇති වී මානසිකව හුදකලාවීමය. ඊට පසු ප්‍රින්කි විකාර ලෙස චිත්‍ර අඳින්නට පටන් ගනී.
ප්‍රින්කිගේ මනෝව්‍යාධියට පිහිට පතා යන්නේ ප්‍රකට මනෝවිද්‍යා වෛද්‍යවරියක වෙතටය. පසුදිනෙක සඳරැස්ට හමුවන ඇය පිටරට ගොස් සිට ලංකාවට පැමිණි විද්‍යාය. විද්‍යා සහ සඳරුස්ගේ හමුව අනුවේදනීය ලෙස ඉදිරිපත් කිරීමට අධ්‍යක්ෂවරයා උත්සාහ දරයි. ඒ අතර මානසිකව හුදකලාවූ තවත් තරුණියක් කුළු කුමාර බිල්ලට යටත්වේ.
මේ සියුම් මානසික හැඩතලය කදිම සිනමා කෝණවලින් ආකර්ශණීය ලෙස ඉදිරිපත් කිරීමට ජයන්ත චන්ද්‍රසිරි හා ඔහුගේ සහායකයන් සමත් වී තිබේ. කළු කුමාරයා ලෙස රඟන ජැක්සන් ඇන්තනී මුහුණේ අභිනය හා ශරීරයේ අංගචලනවලින් මායාමය චරිතයට එළඹීමට දරන උත්සාහය අගය කළ යුතුය. සඳරුස්ගේ තරැණ විය නිරෑපණය කරන දෙව්නක හේරත්ගේ සහ විද්‍යාගේ තරුණ විය නිරූපණය කරන කාවින්ද්‍යා අධිකාරීගේ රංගන කෞශල්‍යය උකහාගෙන තම නිර්මාණය සරසාගැනීමට අධ්‍යක්ෂවරයා සමත් වී තිබේ.
ආචාර්ය සඳරැස් ලෙස කමල් අද්දරආරච්චි අපූරු රංගනයක යෙදේ. සංගීතා වීරරත්න විද්‍යා ලෙස මනා නිරෑපණයක යෙදේ. ජයන්තගේ දක්ෂතාව නම් සුළු චරිත රඟපාන නළු නිළියන් පවා මනාව හසුරුවාගෙන ඉඳහිට උපහාසාත්මක බවද ජනිත වන ආකාරයට ඉදිරිපත් කිරීමයි. මෙහි මනෝවිකාරවලින් යුක්ත පිරිසගේ හැසිරීම සිනමාත්මකව ඉදිරිපත් කිරීමට ඔහු සමත් වී ඇත. ඒ අතරට මෙය යක්ෂයන්ගේ බලය පෙන්වන අද්භූත කතාවක් කරනු වෙනුවට මානසික ශක්තිය මතුකරන අනුවේදනීය ප්‍රේම කතාවක් කිරීමට තිරරචනයේ දී උත්සාහ දරා තිබේ. ශ්‍රියන්ත මෙන්ඩිස්, කුසුම් රේණු, යශෝධා විමලධර්ම, වසන්ත විට්චච්චි, අමීෂා කාවින්දි, ජයනාත් බෝදාහන්දි ආදී නළුනිළි පිරිසම තම දායකත්වය චිත්‍රපටයට එක්කරති.
ජයන්තගේ මහරජ ගැමුණු අසාර්ථක චිත්‍රපටයක් වන අතර (සල්ලි හෙව්වත්) ඔහුගේ ඊට කලින් නිර්මාණ වූ අග්නිදාහය හා සමනළ සංධ්වනියට වඩා ඝරසරප ඉදිරියෙන් සිටී. මිත්‍යා විශ්වාසවලට වඩා මිනිසාගේ හදවතේ හැඟීම් ප්‍රබල බව මින් ඒත්තුගැන්වේ.
චිත්‍රපටයේ උද්වේගකර අවස්ථා මතුකිරීමට චින්තක ජයකොඩිගේ සංගීතය ද උපකාරි වේ. ප්‍රභාත් රෝෂාන්ගේ කැමරාකරණය ද මෙහිදී අභියෝග ජයගැනීමට ඉවහල් වන පරිදි යොදාගෙන ඇත. වේගවත් ධාවනයක් සහිත චිත්‍රපටයට සංස්කරණය ද විශාල තල්ලුවක් දෙයි. මෙහි සංස්කරණය ඩිලාන් ගුණවර්ධනගෙනි. ජයන්තගේ මහරජ ගැමුණු හි තිබූ දෘෂ්‍ය ප්‍රයෝග හා සසඳන කල්හි ඝරසරප දෘෂ්‍ය ප්‍රයෝග ඉහළ මට්ටමක පවතී. මෙහි දෘෂ්‍ය ප්‍රයෝග නිර්මාණය කර ඇත්තේ අනුජ බාසුරු තිවංකය. කලා අධ්‍යක්ෂණය පියතිස්ස අතුකෝරලය. ඝරසරප පෙම්වතුන්ට මෙන්ම වැඩිහිටියන්ට ද මනස පිළිබඳව හිතන්න පොළඹවන නිර්මාණයකි.
කුසුම්සිරි